ෂාරුක් ඛාන්ට තැබූ බෝම්බය ගැන රන්ජන් නොකී කතාව ගම්මන්පිල හෙලි කරයි..

views 863 2020-01-26 08:46:00 news

ෂාරුක්ඛාන්ට එල්ල කළ බෝම්බ ප්‍රහාරය පිළිබඳව ගම්මන්පිලගෙන් අහන්නයි රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී මෙසේ අදහස් දැක්වීය.

අපේ හඬ පට හුට පට ගැන පොලීසියෙන් වුණු වැරැද්ද ගැන අධිකරණයෙන් උණු වැරදි ගැන මම ප්‍රසිද්ධියේ අදහස් දැක්වුවත් අපේ මන්ත්‍රිතුමන්ලාගේ මන්ත්‍රිතුමියන්ලාගේ පෞද්ගලිකත්වය පිළිබඳව මම කතා කරන්න උත්සාහ කළේ නෑ. නමුත් රන්ජන් රාමනායක මන්ත්‍රිතුමා පෙරේදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරන ගමන් කියනවා ශාරුක් ඛාන්ට බෝම්බ ගැහුවෙ කවුදැයි ගම්මන්පිල මහත්තයා ගෙන් අහන්න. ඒ ගම්මන්පිල මහත්තයා මේ මම කියලා මුළු රටම හිතලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සමහරු හිතලා තියෙන්නේ බෝම්බ ගැහුවෙ මමයි කියලා. මගෙන් අහන්න කියල කිව්වම සමහරු බෝම්බ ගැසුවේ මමයි කියලා හිතාගෙන අද සමාජ ජාලා මාධ්‍ය වල මේවා යනවා. ඒ නිසා අද මේ පිළිබඳව කතා කරන්න සිද්ධ වෙනවා. මම කියන්න කැමතියි රංජන් රාමනායක මන්ත්‍රිතුමා අවස්ථා කීපයකදීම ජනප්‍රිය නළුවා සම්මානය ලැබුණත් එතුමා හොඳම නළුවා සම්මානය ලැබුව නම් ලැබුවේ ජනවාරි 21 පාර්ලිමේන්තුව අමතලා කරපු කතාවෙන්. එදා එතුමා පෙන්නපු සුවිශේෂී රංගනය ඉතිහාසයේ කවදාවත් පෙන්වල නෑ. එතුමා ඒ කතාව තුළ පට්ටපල් බොරු හයක් කියනවා. ඊට අමතරව තමන්ගේ අසිලාචාර ජීවිතය නොහික්මුණු ජිවීතය සමාජයට හෙළි වීමෙන් ඇතිවෙච්ච අජුව වසා ගැනීමේ සුදු පිරුවටක් විදියට හොරු ඇල්ලීම කියන මායාව පාවිච්චි කරනවා.

ගරු මුලාසනාරූඩ මන්ත්‍රිතුමනි රන්ජන් රාමනායක හඬපට හරහා අල්ලපු හොරෙක් හෙළි වෙන්නේ නෑ. හොරෙක් අල්ලන්න ඔහු දරපු උත්සාහයක්වත් හෙළි වෙන්නේ නෑ. නමුත් මේ හඬ පට හරහා හෙළි වන්නේ අධිකරණයට පොලිසියට රාජ්‍ය යාන්ත්‍රණයට තමන්ගේ කනිෂ්ඨ මන්ත්‍රීධූරය භාවිතා කරමින් බලපෑම් කිරීමට ඔහු දරපු ඉතාම කැත උත්සාහය පමණයි. මෙහිදී ඇත්ත වීරයා කවුද? ඇත්ත වීරයෙකු ඉන්නවා. රන්ජන් රාමනායකගේ මන්ත්‍රිතුමාගේ සමිපතයෙක් මේ හඬ පට ටික සමාජගත කරන්න පොලිසියට භාර දෙන්න විශිෂ්ට තීන්දුවක් ගන්නවා. ඒ පුද්ගලයාගේ නමක් ගමක් අපි දන්නෙ නෑ. නමක් ගමක් නොදන්වා වුණත් එයා සැබෑම මනුස්සයෙක්, එයා විරුවෙක් Julian assange වගේ මහ අපරාධයක් රටට හෙළිකළ ලෝක විරුවෙක් විදියට අපි සලකන්න ඕන. පිලිම නෙලා නැති විරුවෙක් විදියට අපිට සලකන්න ඕන. මොකද ඒ විරුවාගේ හෙළි කිරීම නිසා තමයි යහපාලනය නමින් සිදුවුනු ජඩ පාලනය නිරුවත මේ ලෝකෙටම හෙළි කර ගන්න පුළුවන් වුණේ.

මේ හඬ පට හරහා හෙළිවන රන්ජන්ගේ වීර ක්‍රියා මොනවාද?

01. විපක්ෂයේ දේශපාලනඥයෙකු එක දවසකට හරි සිරගත කරන්නයි විනිසුරුවරයෙකුට බලපෑම් කිරීම.

02. පැමිණිලිකරුට තර්ජනාත්මකව දුරකථන ඇමතුමක් දීලා ඒ බව උසාවියට දැනුම් දීලා ඇප ලැබීමට නියමිත විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයෙකුට ඇප ලැබීම අහිමි කිරීමට කුමන්ත්‍රණය කිරීම.

03. තමන්ගෙ නඩුවක් තමන්ගේ වාසියට හරවා ගැනීම සඳහා ගල් අරක්කු බෝතලයක් තෝල්කමුදලි ට අල්ලසක් සේ ලබා දීම.

04. තමන්ගේ නඩුවක් තමන්ගේ වාසියට හරවා ගැනීම සඳහා විනිසුරුවරියට කතා කිරීම.

05. තමන්ට පක්ෂග්‍රාහී වුණු විනිසුරුවරියක ගේ කනිෂ්ඨතත්වය නොසලකා ඇයට අභියාචනාධිකරණය දක්වා උසස්වීමක් ලබාදීමට කුමන්ත්‍රණය කිරීම.

06. විපක්ෂයේ තවත් දේශපාලනඥයෙකුට මරණ දඬුවම ලබා දීම සඳහා පොලිසිය සහ විනිසුරුවරුන් සමග කුමන්ත්‍රණය කිරීම. පොලිස් විමර්ශන වලට බලපෑම් කිරීම. පොලිස් විමර්ශනවල රහස් ප්‍රගතිය පොලිස් නිලධාරීන්ගෙන් ලබාගෙන ප්‍රසිද්ධ කිරීම.

07. තම පෙම්වතියකට ණයක් ලබා දුන් ණය හිමියෙකුට තමන්ගේ කනිෂ්ඨ ඇමතිධූරය භාවිතා කර අයුතු බලපෑමක් කර ඒ ණය යළි නොඉල්ලන මෙන් තර්ජනය කිරීමට කටයුතු කිරීම.

හොරු අල්ලන එකක් මේ හඬ පට වලින් හෙළි වෙන්නේ නෑ.

මම නීතිඥයෙක්. පාර්ලිමේන්තුවේ විශාල ප්‍රමාණයක් නීතිඥයන් ඉන්නවා. මගේ සමකාලීනයන් අද විනිශ්චකාරවරුන් විදියට කටයුතු කරනවා. මගේ මිතුරන් සාදවලදී මල ගෙවල් වල දී මගුල් ගෙවල් වලදී හමු වෙනවා. අපි කතාකරන නඩුවල අපේ මිතුරා ඉදිරියේ නීතිඥ විදිහට පෙනී සිටිනවා. හැබැයි කවදාවත් පෞද්ගලිකව හමුවුනාම ජීවිතයේ එකම එක දවසක්වත් එකම එක නඩුවක් ගැන කවම කවදාවත් කතා කරලා නෑ.

අවසානවශයෙන් ගරු මුලාසනාරූඩ මන්ත්‍රිතුමනි, ශාරුක් ඛාන්ට එල්ල කළ බෝම්බ ප්‍රහාරය පිළිබඳ ගම්මන්පිල මහත්තයගෙන් අහන්න කියලා රංජන් රාමනායක මන්ත්‍රීතුමා මේ විසි එක් වෙනිදා ගරු සභාවේ දී ප්‍රකාශ කරා. මන්ත්‍රිතුමා එහෙම කිව්වට කවුරුහරි මගෙන් ඇහුවොත් මට උත්තර දෙන්න තියෙන්නෙත් මේ රටේ ඒ විෂය පිළිබඳ උනන්දුව දක්වන කවුරුත් දන්න ඕපාදූප කටකතා ටික පමණයි. ඊට වඩා වැඩි දෙයක් දන්නවනම් මා ගාව නිශ්චිත සාක්ෂි තියෙනවා නම් නිශ්චිත වූ විශ්වාසනීය තොරතුරක් මා ගාව තියෙනවා නම් කවුරුවත් අහන්න කලින් මම පොලිසියට ලබා දෙනවා. එහෙම නැත්නම් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරනවා. ඒ නිසා මොකක්ද මේ මන් දන්න කතාව කියලා ඇහුවට වැඩක් නැහැ මං දන්නෙත් මේ රටේ බොහෝ දෙනා දන්න ඕපාදූප වල්පල් ටික පමණයි.

– අරවින්ද අතුකෝරල

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post