පොල් මිල ගැන පැමිණිලි රැසක් - රට පුරා වැටලීම්

views 1047 2020-09-28 01:07:00 news

වටප‍්‍රමාණය මත පොල් සදහා උපරිම මිලක් ප‍්‍රකාශයට පත් කළද එම මිලට මිලදී ගැනීමට පොල් වෙළද පොලේ අවම බවට පාරිභෝගිකයින් මැසිවිලි නගනවා.

නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ ඉකුත් සතියේ පැවති මිල ගණන්වලට ආසන්න මිල ගණන්වලින් ඇතැම් ප‍්‍රදේශවල තවමත් පොල් අළෙවි වන බවයි. ඉකුත් සමයේ මෙරට පොල් ගෙඩියක මිල රුපියල් 100 ත් 120 ත් දක්වා ඉහළ ගියා.

කෙසේවෙතත් මේ වනවිට පොල් මිල රුපියල් 65 ත් 85 ත් අතර මිලක් දක්වා අඩු වී ඇති බවයි නෙත් නිවුස් කළ වෙළද පොල චාරිකාවකදී දැක ගත හැකි වුණේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් විමසීමක් කළා. එහි ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ පාරිභෝගිකයින්ගෙන් දිගින් දිගටම පොල් මිල සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් ඇති බවයි.

ඒ හේතුවෙන් අද සිට දීප ව්‍යාප්ත මට්ටමින් වැටලීම් දැනටමත් ආරම්භ කර ඇති බවයි ඔහු කියාසිටියේ. කිසිඳු නිෂ්පාදකයෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් පනවා ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට පොල් අලෙවි කිරීම සිදු නොකළ යුතු බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පැවසුවා.

කෙසේවෙතත් පොල් සදහා වටප‍්‍රමාණය මත පාලන මිලක් පැනවීම සම්බන්ධයෙන් විපක්‍ෂය දැඩි විරෝධයක් පළ කරනවා.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසුවේ පොල් මිල සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ජනතාවට සත්‍ය හෙළි කළ යුතු බවයි. ගැසට් පත‍්‍රයක් නිකුත් කළ පමණින් ජනතාවට සහන දීමට රජයට හැකියාවක් නොමැති බවයි පොළොන්නරුව ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්‍ෂ නායකවරයා පැවසුවේ.

කෙසේවෙතත් ආණ්ඩුව පවසන්නේ පොල් පමණක් නොව ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ද පහල දමන බවයි.

ඉකුත් සෙනසුරාදා සිට කි‍්‍රයාත්තමක වන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වට ප‍්‍රමාණය අනුව පොල් සඳහා පාලන මිලක් නියම කරනු ලැබුවා.

ඒ අනුව වටප‍්‍රමාණය අගල් 12 කට අඩු පොල් සඳහා ගෙඩියක් රුපියල් 60 ක් වන ලෙස උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. වටප‍්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් සඳහා ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිල ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත්තේ රුපියල් 65 ක්.

වටප‍්‍රමාණය අගල් 13 ට වැඩි පොල් සඳහා ගෙඩියක් රුපියල් 70 ක් වන පරිදි උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post