රහසේම කහ පිට කල රේගු නිළධාරීන් දෙදෙනා කොටු

views 1047 2020-09-19 01:49:00 news

නීති විරෝධීව මෙරටට රැගෙන ආ කහ කිලෝ 33,000 ක් සහ උඳු කිලෝ 3,000 ක් අඩංගු බහාලූම් 03 ක් රේගුවෙන් පිට කිරීමේ සිද්ධියට අදාළව රේගු  නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදී ගබඩා සංකීර්ණයක තිබියදී මෙම ද්‍රව්‍ය සොයා ගැණුනා. ඒ, එම ගබඩාවේ අඩි 40 ක පමණ දිගකින් යුත් බහාලූම් 03 ක මෙම කහ තොගය සගවා තිබියදීයි.

එම කහ තොගය සහ අනෙකුත් ද්‍රව්‍ය ඩුබායි රාජ්‍යයේ සිට මීට දින 03 කට පමණ පෙර මෙරටට ගෙන්වා ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙකු බ්ලූමැන්ඩල් පොලීසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබුණා. එම කහ සහ උඳු තොගය රේගුවෙන් පිට කිරීමට අදාළව රේගු නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන්ගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම් හමුවේයි. මට්ටක්කුලිය ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු එම භාණ්ඩ ආනයනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර හලාවත මෝය ආසන්නයේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගත් කහ තොගය බෝට්ටුවකින් ගොඩ බිමට ගෙන ආ බව කියන සැකකරුවෙකු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සොයා ගැණුනු එම කහ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 40 ක් පමණ වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අදාළ සැකකරු ඊයේ හලාවත පොලීසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැණුනා. බෝට්ටුවක පටවා තිබූ ගෝනි 21 ක මෙම කහ තොගය අසුරා තිබුණා. වැටලීම සිදු කරන විට බෝට්ටුව තුළ කිසිවෙකු සිට නොමැති අතර එම බෝට්ටුව හලාවත ජයබිම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් බවටයි අනාවරණ වී ඇත්තේ.  

මේ වන විට කහ ආනයනය කිරීමට ආණ්ඩුව අවසර ලබා නොදෙන අතර දේශීය ගොවීන් කහ වගාව සඳහා දිරිමත් කිරීම එහි අරමුණයි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසුවේ 2021 වන විට ශ‍්‍රී ලංකාව කහ වලින් ස්වයංපෝෂිත වන බවයි. මේ වන විටත් හෙක්ටයාර් 1500ක පමණ කහ වගා කර තිබෙනවා. මෙරට වසරක කහ පරිභෝජනය මෙටි‍්‍රක් ටොන් 7500ක. 2019 දි මෙරටදී නිෂ්පාදනය කළේ කහ ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 1200ක් පමණයි. සෙසු අවශ්‍යතාව සපුරාගනු ගැනීම සඳහා රුපියල් මිලියන 1200ක් වැය කර 2019 වසරේදී ආනයනය කළ කහ ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 5382ක්.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post