ඉන්දීය ක්‍රීඩිකාවෝ 2021 ලෝක කුසලාන සුදුසුකම් ලබති ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරගාවලියක්

views 778 2020-04-20 09:11:00 sport

ලෝක කුසලාන තරග වරම් ලැබෙන අයි.සී.සී. කාන්තා එක්දින ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලි 3ක් කොවිඩ් වසංගතය හේතුවෙන් අතහැර දමමින් ඒ සඳහා එක්වී සිටින කණ්ඩායම් වෙත සම සමව ප්‍රසාද ලකුණු පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේය. ඒ අනුව ප්‍රසාද ලකුණු 23ක් ලැබූ ඉන්දීය පිල ලබන වසරේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය. ඉන්දීය පිල එසේ සුදුසුකම් ලැබූ පස්වැනි කණ්ඩායම වන අතර පාකිස්තානයට, බටහිර ඉන්දීය කොදෙව් පිලට සහ ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කළ යුතුව තිබේ.

ලබන වසරේ පෙබරවාරි මස 6 වැනිදා සිට මාර්තු මස 7 වැනිදා දක්වා නවසීලන්තයේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට මේ වනවිට ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය සුදුසුකම් ලබා සිටී.

ඉන්දීය පිල ඒ සඳහා සුදුසුකම් ලැබුවේ කාන්තා එක්දින ශූරතාවලිය පිළිබඳ අයි.සී.සී. තාක්ෂණික කමිටුව විසින් ගනු ලැබූ තීරණයක් අනුවය. කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියක් පසුව ඊළඟ තරගාවලිය දක්වා කාලය තුළ මේ ශූරතාවලිය පැවැත්වෙයි. එහිදී ඉදිරියෙන් පසුවන කණ්ඩායම් ලෝක කුසලාන තරගාවලියට අවස්ථාව ලබන අතර සෙසු කණ්ඩායම් සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කළ යුතුව තිබේ. මේ ශූරතාවලියේ තරගාවලි 3ක් කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හැර දැමීමට සිදුවී තිබිණි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගාවලිය, දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගාවලිය සහ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගාවලිය ඒ අතර තිබිණි.

එම තරගාවලි අවලංගු කිරීමෙන් පසුව අදාළ කණ්ඩායම් වෙත සම සමව ප්‍රසාද ලකුණු බෙදී යාමෙන් පසුව සමස්ත ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 37ක් ද, එංගලන්තය ප්‍රසාද ලකුණු 29ක් ද, දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 25ක් ද ලබා සිටින අතර ඉන්දීය පිල ප්‍රසාද ලකුණු 23ක් ලබා සිවුවැනි තැනට පත්විය. එහි පස්වැනි තැන පසුවන්නේ ප්‍රසාද ලකුණු 19ක් ලැබූ පාකිස්තාන පිලය. කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු 17ක් ලබා 6 වැනි තැන පසුවන නවසීලන්තය සත්කාරක රට බැවින් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීය. කාන්තා එක්දින ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි තැන පසුවන කොදෙව් පිල ලකුණු 13ක් ලබා සිටින අතර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 5ක් ලබා අටවැනි තැන පසුවෙයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමට සිදුවන අතර එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරගාවලිය ලබන ජූලි මස 3 සිට 19 දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ ද ශ්‍රී ලංකාවේදීය. රටවල් 5ක් දැනටමත් ලෝක කුසලාන තරගාවලියට එක්වී සිටින අතර ඊට ඇතුළත් වන ඉතිරි කණ්ඩායම් 3 සොයා ගැනීම මේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අරමුණ වී තිබේ. ශ්‍රී ලංකාව සමග පාකිස්තානය, කොදෙව් පිල, බංග්ලාදේශය, අයර්ලන්තය, තායිලන්තය, සිම්බාබ්වේ, පැපුවා නිව්ගිනියා, අමෙරිකාව සහ නෙදර්ලන්තය මේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය. කෙසේ වුවත් කොවිඩ් වසංගතය හේතුවෙන් තරගාවලිය නියමිත කාලයේ පැවැත්වීම අවිනිශ්චිතය.


පුවත්

Recent Post