චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට - තවත් 40ක් වෛරසය ඇති වුහාන් නගරයේ

views 866 2020-01-25 03:16:00 news

චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් පිරිසක් යළි මෙරටට එවීමට මේවනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. බීජිං අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු පිළිබඳ ප්‍රධානී ඇලෙක්සි ගුණසේකර පැවසුවේ මෙලෙස ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන්නේ නව කොරෝනා වෛරසය මෙතෙක් ව්‍යාප්ත වී නොමැති ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයින් බවයි.

" මේ වන විට ෂෙන්ගු සහ පියැන්ජිං යන නගර දෙකක සිටින සරසවි සිසුන් 40 දෙනෙක් පමණ යලි ශ්‍රී ලංකාවට යන්න අවශ්‍ය බව කියා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන විදෙස් ගමන් බලපත්‍ර අපි එක් රැස් කරගෙන යනවා.  පියැන්ජිං ඉන්න සිසුන්ට බේජිං හරහා ලංකාවට යන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකා ගුවන් සේවයේ යානාවල ආසන වෙන් කර ගැනීම අපොහොසත් වුනොත් එතන ගැටලුවක් ඇති වෙනවා. එමෙන්ම සිචුවාන් ප්‍රාන්තයේ සිටින ලාංකික සිසුන්ට සෘජු ගුවන් ගමනක් තියෙන්නේ ලංකාවට. නමුත් මේ වෙනකොට මේ දිනවල ගුවන් ප්‍රවේශ පත්‍රවල මිල ගණන් ඉහළ යාම නිසා එවැනි පිරිවැයක් දරන්න පුළුවන් අයට ලංකාවට යන්න හැකියාව තියෙනවා. අපි ඒ අයට කියලා තියෙනවා ආරක්ෂා සහිතව නිවෙස් තුලටම වෙලා ඉන්න කියලා. මොකද ඒ ප්‍රාන්තය මේ වෙනකොට කොරෝනා වෛරසයෙන් ලොකුවට බලපෑම් එල්ලවෙලා නැහැ" ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු පිළිබඳ ප්‍රධානී ඇලෙක්සි ගුණසේකර  සඳහන් කර සිටියා.

කෙසේවෙතත් වෛරසය පැතිර යන උහාන් ප්‍රාන්තය තුළ ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු සිටින බව ඔහු ප්‍රකාශ කළා.

" මේ වෛරසය නිසා වැඩියෙන්ම හානියට පත්වෙලා තියෙන්නේ වුහාන් ප්‍රාන්තයයි. එහෙ අපේ ලංකාවේ සිසු සිසුවියන් වගේම පුද්ගලයින් 35-40ක් පමණ සිටිනවා. මේ අයට  දැන් අවශ්‍ය ලංකාවට එන්නයි. නමුත් චීන බලධාරීන් කිසිදු අයෙකුට නගරයට ඇතුල්වෙන්න හෝ නගරයෙන් පිටවෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපි මේ ගැන චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ජා කළා. එතැනදී එම නිලධාරීන් කියා සිටියා දැනට වුහාන් ප්‍රාන්තයේ සිටින ලාංකිකයින්ට තමන්ගේ නිවෙස් වලටම වෙලා ඉන්න කියලා. වුහාන් ප්‍රාන්තයේ ඉදලා ශ්‍රී ලංකාවට සෘජු ගුවන් සේවා නැහැ. ඒ වගේම ඒ නගරයේ ඉදලා වෙනත් නගරයකට යන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ තානාපති කාර්යාලයේ නිලධාරීන් වුහාන් නගරයේ සිටින ලාංකිකයින් සමග WeChat සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙලා ඒ අයගේ අවශ්‍යතාවයන් සොයා බලනවා" ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේවෙතත් චීනයේ සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට කිසිඳු තොරතුරක් අනාවරණ වී නොමැති බවයි බීජිං අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු පිළිබඳ ප්‍රධානී ඇලෙක්සි ගුණසේකර නෙත් නිවුස් වෙත පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post