ප්‍රදේශවාසීන්ටත් ලොකු ගැටලුවක් ! ගම්පොළ ගුරුවරිය කාණුවට වැටුණු තැන යළිත් වරක්‌ දිසා විනිසුරුගේ පරීක්‍ෂාවට

views 2519 2019-10-12 10:47:00 news

දින අටක්‌ පුරා අතුරුදන්ව සිටි ගම්පොළ තරුණ පාසල් ගුරුවරියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ තීන්දුවෙන් පසු ගම්පොළ දිසා විනිසුරු ශ්‍රීනිත් විඡේසේකර මහතා ඇය ගමන් ගත් මාර්ගයේ පැති කාණුවට වැටුණා යෑයි සැකකරන ස්‌ථානය හා එම කාණුවේ ජලය වැටෙන ඇළ මාර්ගය පිළිබඳව යළිත් 10 වැනිදා සවස ස්‌ථානීය පරීක්‍ෂණයක්‌ සිදු කළේය.
 
මෙම ස්‌ථානය නිරීක්‍ෂණය කිරීමට ප්‍රථම දිසා විනිසුරුවරයා අධිකරණය තුළදී බොහෝ වෙලාවක්‌ මෙම ගුරුවරිය සම්බන්ධයෙන් මෙතෙක්‌ පොලිසිය සිදුකළ පරීක්‍ෂණවල ප්‍රගතිය සොයා බැලූ අතර ඒ සඳහා ගම්පොළ අපරාධ අංශ ස්‌ථානාධිපති පො. ප. කපිල බණ්‌ඩර මහතා අධිකරණය වෙත කැඳවා තිබිණි.
 
 සෙව්වන්දි නිසංසලා රත්නායක නමැති 27 හැවිරිදි මෙම ගුරුවරිය පාසල නිම වී නිවස වෙත එමින් සිටියදී පසුගිය ඔක්‌තෝබර් පළමු වැනිදා සවස නිවසට ආසන්නයේදී අතුරුදන් වූවාය.
 
 නිවස ආසන්නයේ ඇති අධ්‍යාපන ආයතනයක සී. සී. ටී. වී. කැමරාවක ඇය නිවසට එන අයුරු සටහන්ව තිබූ අතර ඉන් දින අටකට පසු ඇගේ සිරුර වික්‌ටෝරියා ජලාශයේ හාරගම ප්‍රදේශයේ ජලයේ රැඳී තිබියදී ධීවරයකු දැක ඒ පිළිබඳව තලාතුඔය පොලිසිය වෙත දන්වා තිබිණි.
 
 ඒ අනුව ගම්පොළ කීරපන ප්‍රදේශයේ පැති කාණුවකට වැටී එයින් ඇළකටත් ඉන් පසුව මහවැලි ගඟටත් වැටුණු ඇගේ සිරුර දොළුව, ගෙලිඔය, පේරාදෙණිය, ගැටඹේ, මහනුවර, කටුගස්‌තොට, කුණ්‌ඩසාලේ, පොල්ගොල්ල ජලාශයේ සිට තලාතුඔය දක්‌වා කිලෝමීටර් 40 කට අධික ප්‍රමාණයක්‌ ගසාගෙන යැම ප්‍රදේශවාසීන්ට මහත් ගැටලුවක්‌ වී ඇත.
 
 ඇගේ සිරුර සොයාගන්නා අවස්‌ථාවේ ඇගේ සාරියේ කොටසක්‌ හැට්‌ටය හා යට ඇඳුම් මෙන්ම ඇය පැළඳ සිටි පවුම් තුනක්‌ වූ රන් මාලය ද සිරුරේ තිබී සොයාගෙන තිබිණි. පසුගිය නව වැනි දින ඇගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සිදුකළ මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සිව සුබ්‍රමනියම් මහතා ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක්‌ දී සිරුරේ කොටස්‌ රස පරීක්‍ෂකවරයා වෙත යෑවීමට කටයුතු කළේය.
 
 ගම්පොළ මහෙස්‌ත්‍රාත්වරයා ඇය නිවසට යන අවස්‌ථාවේ ඇගේ රුව තිබූ සී. සී. ටී. වී. කැමරා දර්ශන සටහන් වූ ස්‌ථානය ද පරීක්‍ෂාවට ලක්‌ කළ අතර ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු ද ලබාගත්තේය.
 
 නව වැනි දින මහනුවර මහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සිදුකිරීමෙන් පසු දේහය ගම්පොළ කීරපන ඇගේ ගමට රැගෙනැවිත් එදිනම සවස ගම්පොළ පොදු සුසාන භූමියේදී ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව මිහිදන් කරන ලදී.


(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post