විදෙස් ලේකම් එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතයි

views 185 2019-10-09 10:40:00 business

ශ්‍රී ලකාව නියෝජනය කරමින්, විශේෂ දූත පිරිසක් එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුවට පසුගිය දා එක්විය. මෙම දූත පිරිසේ නායකත්වය දරන ලද්දේ විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්, රවිනාථ පී. ආර්යසිංහ මහතා විසිනි.

එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව අමතමින් 2019 සැප්තැම්බර් 30 දින ඒ මහතා කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.

සභාපතිතුමණි,
මහ ලේකම්තුමණි,
සම්භාවණීය ප්‍රභූවරුනි,
ගෞරවනීය නියෝජිතවරුනි,
නෝනාවරුනි, මහත්වරුනි,

ශ්‍රී ලකාව නියෝජනය කරමින්, එක්සත් ජාතීන්ගේ 74 වන මහා සභා රැස්වීමට සහභාගීවීමට ලැබීම ගෞරවයකි. මෙම සභාවාරයට සහභාගීවීමට නොලැබීම ගැන ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් අතිශයින් කණගාටුවන බවද සැළකර සිටිනු කැමැත්තෙමි. පළමුවෙන්ම, එක්සත් ජාතීන්ගේ 74 වන මහා සභා රැස්වීම් වාරයේ සභාපතිතුමන් ලෙස පත්වූ මහාචාර්ය ටිජානි මුහම්මඩ්-බන්ඩේ උතුමාණන්ට මාගේ උණුසුම් සුභාසිංශන පිරිනැමීමට මට අවසර දෙනු මැණවි. මෙම උත්තරීතර සැසියෙහි ක්‍රියාදාමය සාර්ථක සමාප්තියක් කරා මෙහෙයවීමට එතුමාගේ දීර්ඝකාලීන පළපුරුද්ද නිසැකයෙන්ම හේතු පාදක වනු ඇත. එසේම පසුගිය සභාවාරයේ වැඩ කටයුතු සාර්ථකව නිම කිරීම සම්බන්ධයෙන් මාරියා ෆර්නැන්ඩා එස්පිනෝසා ගාසේස් මැතිණියටද ගෞරවපූර්වක ස්තුතිය පිරිනමනු කැමැත්තෙමි.

එක්සත් ජාතීන්ගේ අභිප්‍රායයන් සාක්ෂාත් කර ගැනීමෙහි ලා මහ ලේකම් අන්තෝනියෝ ගුතරෙස් මැතිතුමන් විසින් ලබා දෙන ලද විචක්ෂණශීලී නායකත්වය සහ දරන ලද අප්‍රතිහත ප්‍රයත්නයන් ශ්‍රී ලංකාවේ ඇගයීමට පාත්‍රවන බවද සළකනු මැණවි.

සම්මන්ත්‍රණ තේමාව

ගරු සභාපතිතුමණි,
අත්‍යන්ත දරිද්‍රතාවය පිටු දකිමින්, ගුණාත්මක අධ්‍යාපනය ප්‍රවේශය තහවුරු කරමින්, දේශගුණික විපර්යාසයන්ට ප්‍රතිචාරය දැක්වීමට උත්සුකවෙමින් සහ අන්තර්ගතය ප්‍රවර්ධනය කරමින් සාමයෙන් සහ සෞභාග්‍යයෙන් අනූන ලෝකයක්
නිර්මාණය කර ගැනීම සඳහා වෙහෙසන කාලසීමාවක, මහ සමුළුවේදී මෙම වසරේ විවාදයට ගැණෙන්නේ කාලීන හා සුවිශේෂී තේමාවකි. 2030 සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ පළමුවන සමාලෝචන චක්‍රය නිම වෙමින් පවතිද්දී, තිරසාර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමෙහි ලා සැළකියයුතු ප්‍රගතියක් අප විසින් අත්පත් කර ගෙන ඇති බව පැහැදිලිය. එතෙකුදු වුවත්, මෙකී ප්‍රතිලාභ ආපසු හරවමින්, සංවර්ධනය කරා යන අපගේ ගමන්මග අහුරාලීමේ තර්ජනයක් සහිතව දිනෙන් දින වර්ධනය වෙමින් පවතින විනාශකාරී දේශගුණික විපර්යාසයන්හි බලපෑම නිසා, සංවර්ධනය කරා යන ගමනේ අවසානය පෙනෙන මානයක නැත. දේශගුණය ආශ්‍රිත ගෝලීය ප්‍රත්‍යුත්ක්‍රමයන් උදෙසා ස්වකීය දැඩි කැපවීම ශ්‍රී ලංකාව යළි යළිත් සිහිපත් කරවයි. පසුගිය සතියේදී මෙම වේදිකාවෙහිදීම පැවැති දේශගුණික ක්‍රියාකාරිත්ව මුඵවේදී දෙන ලද පැහැදිලි පණිවුඩය - එනම් දේශගුණික හදිසි අවදානමක් අප දොරටුව අභියස බව - ශ්‍රී ලංකාව එකහෙළා පිළිගනී. අපගේ සාමූහික දේශපාලනමය අධීෂ්ඨානය තව තවත් දැඩි කර ගනිමින්,මෙම තත්ත්වය උදාවීම වළක්වාලීම පිණිස ගනු ලබන ගෝලීය ප්‍රයත්නයන් කඩිනම් කිරීම අප විසින් ගතයුතු වන අනුල්ලංඝනීය ක්‍රියාදාමයකි.

ගරු සභාපතිතුමණි,
ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි ඇතිවන ඍජු බලපෑම ඇතුළුව, මෙකී දේශගුණික විපර්යාසයන් කරන කොට ගෙන ඇතිවන අභියෝග සමුදායය, අනපේක්ෂිත සහ සැළසුම්කිරීමෙන් තොර අස්ථානගතවීම්වලට මග පාදනු ලබයි. දේශගුණික
විපර්යාසයන්ගෙන් උත්සන්නවී, අසාමාන්‍ය ලෙස ප්‍රවාහගත වන සාධක කරන කොට ගෙන පුද්ගලයින් සහ ප්‍රජාවන් කෙරෙහි නිශ්චිත වශයෙන්ම නිෂේධනාත්මක පීඩනයක් ඇතිවන හෙයින්, අනිච්ඡානුගතව ස්වකීය සුපුරුදු වාසභූමි හැරයාමට සිදුවනඅතර, මෙහි ප්‍රතිඵලය වන්නේ මහා පරිමාණයේ ජනතා සංක්‍රමණයකි. ගෝලීය සංක්‍රමණා’ශිත ගෝලීය සංශ්ලිෂ්ඨ සම්මුතියක් - එනම්: ආරක්ෂාකාරී, නියමානුකූළ, ක්‍රමික සහ වගකීමෙන් යුත් ආකාරයකට සංක්‍රමණය පාලනය කිරීම සඳහා ඉච්ඡානුගත ක්‍රියාරාමුවක් - ගිවිස ගෙන ඇති හෙයින්, අප විසින් එය වහ වහා ක්‍රියාත්මක කිරීම සහතික වීමට කාලය දැන් එළඹ ඇත.

දේශගුණික විපර්යාශය නිසා දරිද්‍රතාවය නම් ගෝලීය සංසිද්ධිය තවදුරටත් උග්‍රවී ඇති අතර, එය මානවා’භිමානය පරිහානියට ලක් කරමින්, 2030 සංවර්ධන වැඩ සටහනෙහි ඉලක්කගත අරමුණු සාක්ෂාත් කර ගැනීමෙහිලා මුහුණපෑමට සිදුව ඇති විශාලතම අභියෝගයන්ගෙන් එකක් බවටද පත්ව ඇත. දරිද්‍රතාවය පිටු දැකීමේ ජාත්‍යන්තර පරිශ්‍රමයන්ට කැපවී සිටින ශ්‍රී ලංකාව, 72/233 යෝජනා සම්මුතිය යටතේ “ දරිද්‍රතාවය පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ තෙවන දශකය: 2018-2027 ” ප්‍රකාශය සාදරයෙන් පිළිගනී. දරිද්‍රතාවය පිටුදැකීම වූ කළී දශක ගණනාවක ශ්‍රී ලාංකීය සංවර්ධන උපාය මාර්ගයන්හි හදබැඳගත් ව්‍යායාමයකි.

ගරු සභාපතිතුමණි,
ගුණාත්මක අධ්‍යාපනය, සාමාජීය ප්‍රගතියේ සහ ආර්ථික බලගැන්වීමෙහි දොරගුළු විවෘත කර දෙයි. ගුණාත්මක අධ්‍යාපනය වූ කළී දරිද්‍රතාවය පිටුදැකීමේ සහ ප්‍රගතිය සාක්ෂාත් කර ගැනීමේ අතිශයින් වටිනා ක්‍රමෝපායයක් බව ශ්‍රී ලංකාවේ පිළිගැනීමයි. සහශ්‍රතා සංවර්ධන ඉලක්ක සහ තිරසාර සංවර්ධන ඉලක්ක හඳුන්වාදීමට දශක ගණාවකට පෙර, ප්‍රාථමික සහ ද්විතීයන මටටමේ සාර්වත්‍රික සහ නිදහස් අධ්‍යාපනය ලබා දීමේ දිගු කාලයක් තිස්සේ නොනැසී පවත්නා ප්‍රතිපත්තියකට 1954 වර්ෂයේ සිට අපි අනුගතව සිටින්නෙමු. සෑම පංතියකම ජනතාවන්ට ගුණත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට ඇති අවකාශය මෙම ප්‍රතිපත්තියෙන් සහතික කර ඇති අතර, එකී උත්සාහයන් පල දරා ඇත. අද, ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය 92% ක අනුපාතයක පවතින අතර, එය ලෝකයේ උච්චතම සාක්ෂරතාවයන්ගෙන් එකකි.

බහුපාර්ශ්වීයකරණයෙහි ලා පවතින අභියෝගය.

ගරු සභාපතිතුමණි,
නිෂේධාත්මක ප්‍රවණතාවයන් ප්‍රතිභ්‍රමණය කරලීම පිණිස අප විසින් මෙකී ප්‍රයත්නයන්හිලා නොපසුබටව ක්‍රියා කරන අතර, මෑතක සිට බහුපාර්ශ්වීයකරණයට එල්ල වී ඇති අභියෝග උත්සන්න වීම හමුවේ ගෝලීය අභියෝගවලට අවධානය යොමු කීරීමේ අපගේ හැකියාව අඩපණ වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබන වසරේදී ස්වකීය 75 වන සංවත්සරයට එළඹෙන අතර, ස්වකීය සාමාජික රටවල් හා සමග නිමග්නවීම ඇතුළුව එහි සාර්ථකත්වයන් හා අසාර්ථකත්වයන් ඇගයීමකට ලක් කිරීමට මෙය කදිම අවස්ථාවකි. දශක හතකට අධික කාලයක් තිස්සේ විශ්වාසය සහ සමානාත්මතාවය මත පදනම්ව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සාමාජික රටවල් අතර පෝෂණය වූ සහයෝගිතාවය අනතුරේ හෙළීමට හෝ වරණීය දේශපාලන න්‍යායපත්‍රයන් මත පදනම්ව, කිසිවෙකුටත් වගවීමක් නොමැති ක්‍රියාධරයන් විසින් පැහැර ගැනීමකට භාජනය වීමටද ඉඩ නොතැබිය යුතුවේ. ගෝලීය දේශපාලන ක්‍රියාදාම ආශ්‍රිත ස්වභාවයන්හි විපර්යාශයන් සමග, විශේෂයෙන්ම කිසියම් හෝ රාජ්‍යයකට නොගැණෙන ක්‍රියාධරයන් ඉස්මතුවීමත් සමග, අත්‍යාවශ්‍යකව ගෘහස්ත කාරණා සම්බන්ධයෙන් ඒ ඒ සාමාජික රාජ්‍යයන් විසින් ගනු ලබන තීරණයන්ට ප්‍රමුඛතාවය ලබාදීම සහ ගරු කිරීම, ස්වාධිපත්‍යයෙන් යුත් සාමාජික රාජ්‍යයන්ගෙන් සමන්විත සහ ප්‍රේරිත සංවිධානයක් ලෙස, වැදගත් වේ.

මෙකී සන්දර්භයේදී, එක්සත් ජාතීන්ගේ මුඛ්‍ය විචාරණ සහ ප්‍රතිපත්ති සම්පාදන අංගය ලෙස තවදුරටත් ක්‍රියාත්මක වන බවට සහතික වීම පිණිස, එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීමෙහි කටයුතු, එහි පුනර්ජීවන ක්‍රියාදාමය ඔස්සේ ශක්තිමත් කිරීමෙහි ලා අපගේ දෘඩෝත්සාහය අතිශයින් වැදගත් වෙයි. එම නිසා, නිහින ස්වාර්ථයන් සහිත ස්ථිතීන් විසින් නොමග යවනු ලැබීමෙන් වැළකී සිටීම එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මකකරවන්නන් මත පැවරී ඇති වගකීමකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ක්‍රියාකාරකම් නිරන්තරයෙන් එහි සාමාජික රාජ්‍යයන් විසින් මෙහෙයවනු ලැබිය යුතු හෙයින්, යෝග්‍ය හා වලංගු උපදේශණ ක්‍රියාදාමයකින් තොරව තීන්දු තීරණ ගැනීමෙන් වැළකී සිටීමද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කළ යුතු වේ. එසේ කිරීමට අපොහොසත්වීමෙන් මෙම උත්තරීතර ආයතනය අපවාදයට භාජනයවීමත්, එයින් නියෝජනය වන සාරධර්මම නිෂේධය වනවාත් මෙන්ම, සාමාජික රාජ්‍යයන් විසින් තබා ඇති විශ්වාසය පළුදුවී, එක්සත් ජාතීන් හා සමග පවතින සහයෝගිතාවයද අනතුරෙහි හෙළෙනු ඇත.

ගරු සභාපතිතුමණි,
අවිහරණයෙහි ලා ශ්‍රී ලංකාවේ කැපවීම නොසැලී පවතී. ගෝලීය අවි පාලනය, අවිහරණය සහ අවි ප්‍රගුණනය නොකිරීමේ රෙජීමයන් මුහුණ පානා අභියෝගයන්
ඉහළයාමට සමගාමීව, අවිහරණය පිළිබඳ සම්මන්ත්‍රණයේ කේන්ද්‍රීය භූමිකාව ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව පිළි ගනු ලබන අතර, එහි පැවරුම්භාරය යටතේ ප්‍රමාණවත් ලෙස ප්‍රමන්ත්‍රණයෙහි යෙදීම යළි ආරම්භ කරන ලෙසද ඉල්ලා සිටිනු ලැබේ. අවිහරණය පිළිබඳ සම්මන්ත්‍රණයේ ශ්‍රී ලාංකීය සභාපතිත්වය යටතේ 2018 අගෝස්තු මාසයේදී සම්මත කර ගන්නා ලද සීඩී/2119 දරන තීරණය මගින්, විවිධවූ මතිමතාන්තර ඒකාබද්ධ කරලීමෙහි ලා මධ්‍යස්ථ දායකත්වයක් සැලසුන අතර, කඩිනමින් ප්‍රමන්ත්‍රණ ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කරවීම සිදුවිය.

මෙම ක්‍රියාදාමය අඛණ්ඩ පවත්වා ගෙන යාමේ වටිනාකම අපි දකිමු. මෙයට අතිරේකව, මෑත අතීතයේදී, ඔටාවා ප්‍රඥප්තිය ඇතුළු අවිහරණ සම්මුති ගණනාවකට ශ්‍රී ලංකාව විසින් එකඟවන ලදී. එසේම, යම් යම් න්‍යෂ්ටික නොවන
ආයුධ මෙන්ම පොකුරු යුද්ධෝපකරණ පිළිබඳ සම්මුති පිළිබඳ රාජ්‍ය පාර්ශ්ව රැස්වීම් කිහිපයක සභාපතිත්වයද ශ්‍රී ලංකාව විසින දරන ලදී. අවි ප්‍රගුණනය නොකීරීමේ ප්‍රඥප්තිය බලගැන්වීමේ 50 වන සංවත්වරය ලබන වර්ෂයේදී යෙදෙන හෙයින්, සාමාජික රාජ්‍යයන්ට ස්වකීය බැඳීම් සම්බන්ධ කරුණු කාරණා එළිදැක්විමේ අවස්ථාව, 2020 -අවි ප්‍රගුණනය නොකීරීමේ ප්‍රඥප්ති සමාලෝචන රැස්වීමේදී උදාවෙයි.

1960 වර්ෂයේ සිටම, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොංගෝඅයිවරි කෝස්ට්, හයිටි, ලෙබනන්, ලයිබීරියා, මාලි, දකුණු සුඩානය, ටිමෝරය සහ බටහිර සහරාවෙහි සේවයේ යෙදෙමින් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ප්‍රයත්නයන්ට දායක වෙමින්, ගෝලීය සාමය සහ ආරක්ෂාව කෙරෙහි ස්වකීය කැපවීම ශ්‍රී ලංකාව මැනවින් ප්‍රදර්ශණය කර ඇත. වඩාත් ආරක්ෂාකාරී සහ සාමකාමී ලෝකයක් උදෙසා තම දායකත්වය ඉහළ නැංවීමට අප අපේක්ෂා කරන අතරම, දීර්ඝ කාලයක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සාම
සාධනය සඳහා කෙරෙණ අපගේ දායකත්වයට බාධා නොපැමිණිය වියයුතු වේ. ත්‍රස්තවාදී කණ්ඩායම් හා සමග අඩු වැඩි වශයෙන් ඇතිවූ ආරාවුල් සම්බන්ධයෙන් මෑත අතීතයේදී ශ්‍රී ලංකාව ලත් අත්දැකීම් සැළකිල්ලට ගැනීමේදී, ශ්‍රී ලංකාව විසින් යවන ලද සාම සාධනයෙහි සහ මානුෂීය සහය සැපයීමේ සෑමඅංශයකම අධිකතර වෘත්තීමය පළපුරුද්ද ඇති බල ඇණිවලට ගුණාත්මක වශයෙන් සමවීමට හැකිකම ඇත්තේ රටවල් ස්වල්පයකට පමණකි. ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් කෘතඥතාවය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා අතර, 2005 වසරේදී හයිටි රාජ්‍යයේදී කෝපරල් එම්.විජේසිංහ සහ මෙම වසර ආරම්භයේදී මාලි රාජ්‍යයේදී කපිතාන් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම සහ කෝපරල් එස්.එස්.විජේකුමාර යන සොල්දාදුවන් විසින් කරන ලද ජීවිත පරිත්‍යාගය විශේෂයෙන් සිහිපත් කරමි.

ගරු සභාපතිතුමණි,
නැගෙණහිර ජෙරුසලම ඇතුළු නතු කර ගත් පලස්තීන සන්තක ප්‍රදේශයෙහි, නතු කර ගත් බටහිර ඉවුරු ප්‍රදේශය හරහා අඛණ්ඩව සිදුවන ජනපද ව්‍යාප්තිකරලීම නිසා ගේදොර කඩා බිඳහෙලීම් ඉහළ ගොස් ඇති අතර, එමගින් වර්ධනය වන අනුහානිකර තත්ත්වය ගැන ශ්‍රී ලංකාව තැවුලට පත්වෙයි.

පලස්තීනු ජනතාවට ස්වකීය සන්තක ප්‍රදේශයෙහි ස්වාභාවික සම්පත්වලට සහ එහි රාජ්‍යත්වයට නීත්‍යානුකළ සහ අහිමි කළ නොහෙන අයිතියක් ඇත යන ශ්‍රී ලංකාවේ අචල සහ ප්‍රතිපත්තිමය ස්ථාවරය යළිත් ප්‍රකාශ කර සිටින අතර, පලස්තීනු හා ඊශ්‍රායල යන දෙපාර්ශ්වීය ජනතාවගේ නීත්‍යානුකූළ සහ සංවේදනීය ආරක්ෂාව පිළිබඳ ගැටළු ගැන අපි තවදුරටත් අවධානයෙන් පසුවෙමු. මෙම සන්දර්භයේදී, රාජ්‍යත්වය සඳහා පලස්තීනු ජනතාව සතු අහිමි කළ නොහෙන අයිතිය සම්බන්ධයෙන් සම්මත කර ගන්නා ලද එක්සත් ජාතීන්ගේ මහා සභාරැස්වීම් යෝජනා සම්මතයන් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ සහ 1967 මායිම් පදනමින් දෙ-රාජ්‍ය විසඳුම සපුරා ගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකාව විසින් යළි යළිත් හුවා දක්වනු ලැබේ.

සංවර්ධනය සහ සාමය

ගරු සභාපතිතුමණි,

සාමයෙන් තොර සංවර්ධනයක් තිබිය නොහැකිය. සාමය වූ කළී, ස්ථායිතාවය, පරිපූරණත්වය සහ සාමාජීය- ආර්ථික වර්ධනය උදෙසා වන උත්ප්‍රේරකයකි. ‘ත්‍රස්තවාදයට විරුද්ධව සටන’ ජාත්‍යන්තර ගුමන ආප්ත ප්‍රකාශයක් වීමට බොහෝ කලකට පෙර, වසර 30 කට අධික කාලයක් තිස්සේ මාගේ රට බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් බරපතළ ලෙස පීඩාවට පත් රටවලින් එකක් විය. 2009 වසරේදී, ශ්‍රී ලංකාව විසින් ත්‍රස්තවාදය ජරාජයට පත් කිරීමෙන් පසු, දශයකට ආසන්න කාලයත් පුරා මෙතෙක් නොවූ විරූ ‘ සාම භාජ්‍යයක්’ අපි අත් වින්දෙමු.

කෙසේ වුවද, අප්‍රියෙල් මස 21 වන දින - පාස්කු ඉරිදා දින - ශ්‍රී ලංකාවේ සිදුවූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් මෙම සාමය සුණු විසුණු විය. අපගේ පුරවැසියන් සහ විදේශිකයින් 250 දෙනෙකුගේ ජීවිත එමගින් අහිමිවූ අතර, සිය ගණනක් තුවාල ලැබූහ. මෙය ඉරාකයෙහි සහ සිරියාවෙහි ඉස්ලාමික් ස්ටේට් සංවිධානයට පක්ෂපාතිත්වය ප්‍රකාශ කළාවූ සහ එමගින් පොළඹවන ලද්දාවූ අන්තවාදී ත්‍රස්තවාදීන් පිරිසකගේ ක්‍රියාවකි.

මෙම ක්‍රියාව, රටෙහි බෙදුම්වාදී ත්‍රස්තවාදී අරගලය නිම කිරීමෙන් පසු අසීරුවෙන් යළිත් ගොඩ නංවන ලද්දාවූ සාමකාමී වාතාවරණය, සංහිඳියාව සහ සංවර්ධන ක්‍රියාදාමය අති මහත් උද්‍යෝගයෙන් ආරක්ෂා කර ගත් බහුත්වවාදී සමාජයට එල්ලවූ අභීයෝගයකි. රටෙහි සාමාජීය ව්‍යුහය විනාශ කිරීම පිණිස මෙම ත්‍රස්තවාදීන් විසින් දරණ ලද උත්සාහය නොතකා, අප ප්‍රජාවන් සහ නීතිය බලගැන්වීමේ බලධාරීන් අතර පැවැති ප්‍රත්‍යාස්ථිතිය සහ විශ්වාසය නිසා, පුරවැසියන් විසින්ම ප්‍රත්‍යාසන්න ප්‍රහාරයන් වළක්වා ලන ලද අතර, වරදකරුවන් නීතියේ රැහැනට අසු කර ගැනීමටද සහායවූහ. රැඩිකල්කරණයේ, අන්තවාදයේ හෝ ත්‍රස්තවාදයේ සාපයෙන් මුක්තවීමේ හැකියාවක් කිසියම් හෝ රටකට නොමැති බවද මෙම සිද්ධිය අපට සිහිපත් කරවයි. මෙකී ගෝලීය උවදුරුවලට විරුද්ධව සටන් කිරීමට අප සතු අධිෂ්ඨානය යළි යළීත් තහවුරු කරන අතර, හේතු පාදක වන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම පිණිස කටයුතු කරන ලෙස සියළු ජාතීන්ගෙන් ඉල්ලා සිටිමු.

පාස්කු ඉරිදා ප්‍රහාරය කොන්දේසි විරහිතව හෙළා දුටු, විවිධ අන්දමින් ශ්‍රී ලංකා රජයට සහයෝගය දැක්වූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්තුමන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවන්හි අපගේ හිතෛෂීන්ට අපගේ ස්තුතිය පළ කර සිටිමු.

ත්‍රස්තවාදය සහ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම

ගරු සභාපතිතුමනි,

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සිද්ධීයෙන් අප උගත් තවත් පාඩමක් වන්නේ, “ ත්‍රස්තවාදය විරුද්ධව සටන් කිරීම”, “ මානව අයිතිවාසිකම ආරක්ෂා කිරීම” සමග සමගාමීව කළ යුතු බවයි. එකක් අනෙක වෙනුවෙන් අත් හැර දැමිය නොහැක. එක් අන්තවාදයක් හෝ අනෙකක් කරා වෙනතකට හැරීයාම, සමාන අවස්ථාවන්හිදී දෙබිඩි පිළීවෙතක් අනුගමනය කිරීම සහ බොහෝ විට මෙම ගැටළු දේශපාලනීකරණය කිරීමෙහි නියැලෙන සමහර රාජ්‍යයන් සමග ගැටීමේදී, මෙම සුමට සමතුලිතතාවය නිරන්තරයෙන් ගිලිහී යන සුළු වේ.

පාස්කකු ඉරිදා දින ප්‍රචණ්ඩකාරී අන්තවාදයෙන් කුඵ ගන්වන ලද අභීයෝග ජය ගැනීමේ බරපතළ කාර්ය භාරය අප හමුවේ නිර්මාණය වි ඇති බව ජාතියක් ලෙස අප අත්දුටුවෙමු. තුලනාත්මකව ඉතා කෙටි කාල පරාසයක් තුළදී, පුරවැසියනගේ ආරක්ෂාව
තහවුරු කර, නීතිය හා සාමය සපථ කෙරිණ: සමස්තයක් වශයෙන් ජනතාව, ප්‍රජාවන් සහ සමාජයට යළිත් ආරක්ෂිත බව හැඟි යන අයුරු, ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම පිණිස එක් එක් ආයතන ස්වකීය භූමිකාවන්හි නියැලීමට තමන් විසින්ම අවශ්‍ය පියවර ගන්නා ලදී.

එමනිසා, පශ්චාත් පාස්කු ඉරිදා ප්‍රහාර කාල පරාසය, ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කිරීම මෙන්ම මෑතකදී ශක්තිමත්කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන් වල ශක්තිය සහ දුර්වලතා නිශ්චය කෙරෙන සහ මානව අයිතිවාසිකම් ප්‍රමිතීන්ට අනුගතවීමේ ශ්‍රී ලංකා අධිෂ්ඨානය උරගා බැලෙන‘ ලිට්මස් පරීක්ෂණයක් ’ බව ඔප්පු විය. මෙම සන්දර්භයේදී, දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සළකා බැලෙමින් පවතින ප්‍රති-ත්‍රස්ත නීති කෙටුම්පත අධ්‍යයනය කිරීමට සහ යෝග්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම පිණිස, අමාත්‍ය මණ්ඩලය විසින්, විදේශ කටයුතු අමාත්‍ය, තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කර ඇත. ජාත්‍යන්තර වගකීම් සම්බන්ධයෙන් සවිඥානකව, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම, මායිම් ආරක්ෂාව, ත්‍රස්තවාදී කළහකාරීන් යළි පැමිණීම, ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව ක්‍රියා කිරීම වැනි ක්‍රියාදාම ආශ්‍රිතව, ත්‍රස්තවාදය මැඩලීම පිළිබඳව මෑතකදී සම්මත කර ගන්නා ලද ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මතයන්ට වඩාත් හොඳින් අනුගතවීමට අපට හැකිවන පරිදි, ගෘහස්ත නීති මාලාවන් සම්මත කරගැනීමට අදාල පාර්ශ්වයන් හා සමග සාකච්ඡාවල නියැලෙමින් සිටිමු. ප්‍රචණ්ඩකාරී අන්තවාදයට තුඩු දෙන රැඩිකල්වාදී මතවාදයන්ට ප්‍රතික්‍රීයව ක්‍රියා කිරීම පිණිස නීතිමය ප්‍රතිපාදන සහ නීතිය බලගැන්වීමේ යාන්ත්‍රණයන් නිර්මාණය කිරීම ඇතුළුව, ත්‍රස්තවාදීන් විසින් අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය තරල භාවිතයට ගැනීම සහ අවභාවිතය වළක්වාලීමේ ප්‍රයත්නයන්ද දියත්කර ඇත. මෙම සන්දර්භයෙහි ලා, තාරුණ්‍යයෙහි තීරණාත්මක මනෝ ධාරිතා ප්‍රවර්ධනය, ප්‍රජාවන් අතර බැඳීම් ශක්තිමත් කිරීම, සිවිල් වගකීම් පිළිබඳ සංවේදීතාවය ප්‍රගුණ කරවීම සහ, නීතිය බලගන්වන බලධාරීන්ගේ ඇස නොගැටෙන, ත්‍රස්තවාදය කුළු ගැන්වෙන සුළු අන්තවාදී මතවාදයන්වල බලපෑම සහ ආභාෂය අවම කිරීම පිණිස ප්‍රජා ප්‍රත්‍යාස්ථිය ගොඩ නැගීම අවශ්‍ය වෙයි. මේ සම්බන්ධයෙන්, ප්‍රචණ්ඩකාරී අන්තවාදය වළක්වාලීම පිණිස, දේශීය අන්තවාදී ක්‍රියාකාරීන්ට විරුද්ධව ප්‍රජාවන්ගේ භූමිකාව සහ ප්‍රත්‍යාස්ථිය අත්‍යාවශ්‍ය වේ.

පාලනයෙහි ලා අප සසල නොවිය යුතු බව පසුගිය පස් මස තුළ ප්‍රතිප්‍රාප්තිය අපට බල කර සිටී. අප ඇත්තවශයෙන්ම මෙම අභියෝග ජයගත යුතු නම්, ඒ සඳහා “ සමස්ත පාලන” ප්‍රවේශයක් සහිත එයට “ සමස්ත සමාජ” ප්‍රවේශයක් ඇතුළත් කර ගැනීම අප විසින් සිදු කළ යුතුව ඇත.

මානව අයිතිවාසිකම් සහ සංහිඳියාව

ගරු සභාපතිතුමණි,
අභ්‍යන්තරික සන්නද්ධ බෙදුම්වාදී අරගලය අවසන් කර දෙවන දශකයට පියවර නගන මේ මොහොතේදී, අපගේ රටට තිරසාර සාමය උදා කරවන්නාවූ සවිස්තරාත්මක ක්‍රියාදාමයක් හරහා අපල ජනතාවගේ මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිමු. අපගේ අධිකරණ ස්වාධීනත්වය මෙන්ම රාජ්‍ය සේවය ඇතුළු අපගේ ප්‍රජාතාන්ත්‍රික ආයතනයන්හි ප්‍රත්‍යාස්ථිය මෑතකදී ඇතිවූ සිද්ධින්ගෙන් යළි යළිත් තහවුරු වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි ජනතාව විසින් තබා ඇති විශ්වාසයද මෙම සිද්ධින් වලින් සහතික වී ඇති අතර, සංහිඳියාව සහ සදාතන සාමය කරා යන ගමනේදී රට ප්‍රගතියද අත්පත් කර ගෙන ඇත. මෙකී සන්දර්භයේදී, එකී අරගලයෙන් ප්‍රාදූර්භූත වූ විවිධාකාර තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ ලා සැළකිය යුතු ප්‍රගතියක් සාක්ෂාත් කර ගෙන ඇති බව සඳහන් කිරීමට සතුටු වෙමි. අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සහ හානිපූරණ කාර්යාලය දැන් මුළුමණින්ම ක්‍රියාත්මක වෙමින් පවතී. සත්‍යය සහ සංහිඳියාව පිළිබඳ කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමද අමාත්‍ය මණ්ඩලය විසින් සාකච්ඡා කෙරෙමින් පවතී. මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සහ මානව අයිතිවාසිකම් යාන්ත්‍රණයන් ඇතුළුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සමග වැඩදායී සහ අඛණ්ඩ ක්‍රියාකාරකම්හි නියැලීම ශ්‍රී ලංකාව විසින් පවත්වා ගෙන යනු ලැබේ. 2015 ස්ථාවර ආරාධනයෙන් පසු, විශේෂ ක්‍රියාපරිපාටි පැවරුම් දරන්නන් සහ ක්‍රියාකාරී මණ්ඩල 10 ක් ශ්‍රී ලංකාව වෙත ලැබී ඇත.

ස්වාධීන ආයතනද මේ සම්බන්ධයෙන් තීරණාත්මක භූමිකාවක නියැලී කටයුතු කරන අතර, 2018 මැයි මාසයේදී ජාතික මානව අයිතිවාසිකම් ආයතන පිළිබඳ ගෝලීය සංසදය විසින්, අපගේ මානව හිමිකම් කොමිෂන් සභාව යළිත් “ ඒ” ශ්‍රේණියට ප්‍රතීතනය කිරීමද අප ධෛර්යමත් කරවයි.

ගරු සභාපතිතුමණි,
මෙලෙස පියවරගැනීම, වසර 30 ක් තිස්සේ අරගලයකට මැදිව පීඩාවට පත්ව සිටි රටකට, සාමාන්‍ය කටයුත්තක් නොවන බවට ඔබතුමා එකඟ වනු ඇත. සාමකාමී, සාධාරණ සහ ප්‍රතිසන්ධානගත සමාජයක් ප්‍රවර්ධනය කිරීම හුදෙක් අරමුණක්ම පමණක් නොව, කිසිවෙකු හෝ මග නොහරිනු ලබන සංවර්ධනයක් උදෙසා වන තිරසාර සහ පරිපූර්ණ ප්‍රවේශයක මූලික අවශ්‍යතාවක්ද වේ.සෑම රටකටම තමන්ට උරුම වූ අද්විතීය පශ්චාත් අරගල තත්ත්වයන් ඇත. සංහිඳියාව සඳහා වන අපගේ ගමන් මග සැළසුම් කිරීමේදී එකිනෙකාගේ අත්දැකීම් වලින් පාඩම් උගත ගත හැකි අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විධිවිධානවලින් මාර්ගෝපදේශිතව, රටෙහි ජාතික යහපත සහ සියළුම ශ්‍රී ලාංකිකයින්ගේ සුබ සාධනය ආරක්ෂා කිරීම පිණිස නිර්මාණශීලි සහ ප්‍රයෝජ්‍යවාදී විසඳුම් සොයා ගැනීමටද අපි බැඳී සිටිමු.

සමාප්තිය
අවසාන වශයෙන්, නීතිය පදනම් කර ගත් ගෝලීය සාමයක් උදෙසා ශ්‍රී ලංකාවේ කැපවීම යළිත් හුවා දැක්වීමට කැමැත්තෙමි. බහුපාර්ශ්වීයකරණයෙහි සහ සහයෝගිතාවයෙහි භාවාර්ථය අපි අගය කරමු. මනුෂ්‍යත්වයට එරෙහිවූ අසංඛ්‍යාත අභියෝගයන් එල්ලෙහි වුවද, අපගේ සහ අපගේ අනාගත පරම්පරාවේ අභිවෘද්ධිය උදෙසා සාමූහික, නිර්මාණශීලි සහ සහයෝගී ආකාරයකට මෙම ගැටළුවලට මුහුණ දීමේ හැකියාව අපගේ ධාරිතාව තුළ පවතින බව මාගේ විශ්වාසයයි.

ඔබ සැමට ස්තුතියි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post