ජපානයේ තීරණයකට එරෙහිවූ වැසියන්

views 769 2019-08-03 11:47:00 world

දකුණු කොරියාව සම්බන්ධයෙන් ජපානය ගත් තීරණයකට එරෙහිව සෝල් අගනුවරදී විරෝධතාවක් පැවැත්වුණි.

විරෝධතාව පැවැත්වුණේ අගනුවර පිහිටි ජපාන තානාපති කාර්යාලය ඉදිරිපිටයි.

ජපානය සමග වෙළඳාම් කිරීමේදී ප්‍රතිලාභ භුක්ති විඳීමට හැකි වූ රටවල් ලැයිස්තුවෙන් දකුණු කොරියාව ඉවත් කිරීමට ජපාන රජය තීරණය කර තිබේ.

ජපානයේ එම තීරණය සම්බන්ධයෙන් දකුණු කොරියාව සිය විරෝධය පළකර ඇති අතර ඊට එරෙහිව විරෝධතාවක් සෝල් අගනුවරදී සංවිධාන කර තිබුණි.

විරෝධතාව පැවැත්වුණේ දකුණු කොරියාවේ සෝල් අගනුවර පිහිටි ජපාන තානාපති කාර්යාලය ඉදිරිපිටයි.

ඊට 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගී වූ අතර ජපානයට විරෝධය පළ කරන වදන් සහිත පුවරු ඔසවාගෙන සටන් පාඨ කියමින් ඔවුන් විරෝධතාවට සහභාගී වුණි.

දකුණු කොරියාවට එරෙහි ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වමින් ජපානය සමග පවතින බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමේ ගිවිසුමෙන් ඉවත් වන ලෙස මෙහිදී විරෝධතාකරුවන් දකුණු කොරියානු ජනාධිපති  මුන් ජේ-ඉන් ගෙන් ඉල්ලා සිටියේය.

උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන සැළකිල්ලට ගෙන එළඹුණු එම ගිවිසුම සෑම වසරකම අගෝස්තු මාසයේදී ස්වයංක්‍රීයව අලුත් කෙරෙන බව සඳහන්ය.

අපනයන පාලන සහන ලැයිස්තුවෙන් දකුණු කොරියාව ඉවත් කිරීමට ජපාන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණේ පසුගියදායි.

එමෙන්ම එළඹෙන අගෝස්තු 28 වැනිදා සිට එය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මේ අතර ජපානයට එහි ප්‍රතිවිපාක භුක්ති විඳීමට සිදුවනු ඇති බවට දකුණු කොරියානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.

එමෙන්ම ඔහු ගෝලීය සැපයුම් දාමය අඩපණ කරන බව පවසමින් ජපානයේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළේය.

අමෙරිකාවේ මිත්‍ර රටවල් ලෙස සැළකෙන දකුණු කොරියාව සහ ජපානය අතර සබඳතා පසුගිය වසරේ සිට පිරිහීමට ලක්වුණි.

දෙවන ලෝක යුද සමයේ කොරියානු වැසියන් බලහත්කාරයෙන්  වහල් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් පවතින මතභේද නිරාකරණය කර ගැනීම සඳහා වන්දි මුදලක් ප්‍රදානය කරන ලෙස දකුණු කොරියාව ජපානයට නියෝග කිරීම  ඊට හේතු වූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post