ට්‍රම්ප්ගෙන් පුටින්ට තරවටුවක්

views 681 2019-06-29 05:34:00 world

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර හමුවක් ජපානයේදී සිදුවුණි.

එහිදී පුටින් වෙත හාස්‍යජනක තරවටුවකින් සංග්‍රහ කිරීමටත් අමෙරිකානු ජනාධිපතිවරයා අමතක කළේ නැත.

ගෝලීය ආර්ථිකය සම්බන්ධයෙන් අතිශය වැදගත් ජී 20 සමුලුව මේ වනවිට ජපානයේ දී පැවැත්වෙයි.

ඊට එක්වීම සදහා අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, රුසියාව ඇතුලු ආර්ථික දැවැන්තයන් රැසක් ජපානය වෙත පැමිණ සිටින අතර රාජ්‍ය නායකයන් අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡාද සිදුවන්නේ ඊට සමගාමීවයි.

එහි එක් ප්‍රධාන පෙළේ හමුවක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු නායක ව්ලැද්මීර් පුටින් අතර සිදුවුණි.

පසුගිය ජූලි මාසයේ දිනෙක පින්ලන්තයේ හෙල්සිංකි නුවරදී හමුවීමෙන් අනතුරුව නායකයන් එකිනෙකා හමුවූ පළමු අවස්ථාව මෙයයි.

ජපානයේ ඔසාකාහිදී පැවැති මෙම සාකච්ඡාව අතරතුර අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවැසුවේ රුසියානු නායකයා හමුවීමට ලැබීම තමන්ට මහත් ගෞරවයක් බවයි.

එහිදී මාධ්‍ය ඇසූ ප්‍රශ්නයක් අනුකරණය කළ ජනාධිපති ට්‍රම්ප්, ඉදිරි අමෙරිකානු මැතිවරණය සඳහා මැදහත් වෙන්න එපා, යනුවෙන් පුටින් වෙත හාස්‍යජනක තරවටුවක් කරන අයුරු විදෙස් මාධ්‍ය වල දැඩි අවධානයට ලක්වුණි.

ඊට ප්‍රතිචාර ලෙසින් නායකයන් දෙදෙනා සිනාසුණේ කාගේත් මුවගට සිනාවක් කැඳවමිනි.

යුක්‍රේනයට අයත්ව පැවැති ක්‍රිමියාව රුසියාව වෙත පවරා ගැනීමෙන් අනතුරුව අමෙරිකාව සහ රුසියාව අතර සබඳතා දැඩි සේ පළුදු වුණි.

එය ප්‍රසිද්ධයේ පිළිගැනීමට පවා දෙරටේ නායකයන් පසුබට වුණේ නැත.

රුසියාව මත දැඩි සම්බාධක පැනවීමට අමෙරිකාව කටයුතු කළේ පසුමිතුරුබවේ එක් පියවරක් ලෙසයි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post