"අරලියගහ මැදුරේ දී අධ්‍යක්ෂණය කර පාර්මේන්තුවේදී රඟ දක්වනවා" - ජනපතිගෙන් දැඩි විවේචනයක්

views 486 2019-06-26 12:30:00 news

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ කාරක සභාව හමුවට යාමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. එම විශේෂ කාරක සභාවෙන් තමන්ට කැඳවීමක් සිදුකර නොමැති බවද ජනාධිපතිවරයා කියාසිටියා.

ජනාධිපතිවරයා විශේෂ කාරක සභාව හමුවට ගෙන්වීමේ හැකියාවක් නොමැති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. මෙම විශේෂ කාරක සභාව දේශපාලන නාටකයක් බවත් එය අරලියගහ මන්දිරයේදී අධ්‍යක්‍ෂණය කර පාර්ලිමේන්තුවේදී රඟ දක්වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මෙම විශේෂ කාරක සභාව අද (26) පස්වරු දෙකට පාර්ලිමේන්තුවේදී යළි රැස්වීමට නියමිතයි. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අද විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතව තිබෙනවා.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වූවා. මාස 4 කින් පැවැත්වෙන ජනාධිපතිවරණයට කිසිදු පක්‍ෂයක් මෙතෙක් සිය අපේක්‍ෂකයන් නම් කර නොමැති බවත් සියළුම පක්‍ෂවල අභ්‍යන්තරයේ අර්බුද පවතින බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

වෙනත් දේශපාලන පක්‍ෂ අපේක්‍ෂකයන් නම් කර නොමැති බැවින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයටද ඒ සම්බන්ධයෙන් හදිසියක් නොමැති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ. සිය පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව මගින් ගන්නා තීන්දු අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් සිය තීරණය ගන්නා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රට දේශපාලනික වශයෙන් අස්ථාවර වූ බවත් එය ජනාධිපතිවරණයට පෙර හෝ පසුව අහෝසි කළ යුතු බවත් වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

සෝෆා හෝ අමෙරිකානු හමුදා මෙරටට ගොඩබසින ගිවිසුම්වලට තමන් විරුද්ධ බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ඒ පිළිබද කැබිනට් මණ්ඩලයේදීද තමන් පැහැදිලිව ප‍්‍රකාශ කර ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post