ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ රජයේ සහ පෞද්ගලික අංශයේ සැකකරුවන්ට වැඩ වරදියි

views 380 2019-05-15 08:30:00 news

පසුගියදා වයඹ පළාතේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් අතර රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.
එලෙස අත්අඩංගුවේ සිටින සහ ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා රජයේ සහ පෞද්ගලික අංශයේ සේවය කරනු ලබන පුද්ගලයින් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධවූ බවට දන්වමින් ඔවුන්ගේ රාජකාරී ස්ථාන වෙත පොලිසිය විසින් විශේෂ දැනුම් දීමක් සිදු කිරීමට නියමිතයි. එම පිරිස් වලට එරෙහිව ආයතනික මට්ටමින් විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස දැනුම් දෙන බව පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මෙහිදී ප්‍රකාශ කර සිටියා.
මෙලෙස ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් 78 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ හඳුනා ගැනීමේ කටයුතු වලදී එම පිරිස් අතර සිටින රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ. දැනට ලැබී ඇති වීඩියෝ පට අනුව ඉදිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරනු ලබන බව ඔහු මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා.
පසුගියදා ඇතිවූ මෙම තත්ත්වය පාලනය කිරීමට ත්‍රිවිධ හමුදාවට අමතරව පොලිසියේ නිලධාරීන් 5500ක් යෙදවීමට සිදුවූ බවත් එමගින් දෛනික පොලිස් රාජකාරී වලට පාඩුවක් වන බවට මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post