විස්මිත පුහුණුකරු හතුරුසිංහ වහාම කොළඹ කැදවයි

views 664 2019-03-14 05:36:00 news

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබන චන්දික හතුරුසිංහ මහතාව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අවධානය යොමු කර තිබේ. ඒ අනුව එක්දින තරගාවලියෙන් පසු දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ස්ටීව් රික්සන් මහතා කටයුතු කිරීමට නියමිතව තිබේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගෙන් ‘දිනමිණ’ කරන ලද විමසීමකදී, ලබන 16 වැනිදා කේප්ටවුන්හිදී පැවැත්වෙන එක්දින තරගයෙන් අනතුරුව හතුරුසිංහ මහතාට නැවතත් ලංකාවට පැමිණෙන ලෙස උපදෙස් ලබා දී තිබෙන බව සඳහන් කර සිටියේය.

හතුරුසිංහ මහතාගේ යටතේ ශ්‍රී ලංකා පිල අවසන් වසර එකහමාරකට අධික කාලයක් තරගවලට සහභාගි වුණද එහිදී පැහැදිළි ප්‍රගතියක් ලබා දීමට ඒ මහතාට නොහැකි විය. තරගාවලියක් දෙකක් හැරුණු කොට සෙසු සියලු තරග වලින් ශ්‍රී ලංකා පිල දැවැන්ත තරගාවලි පරාජයන් ලබද්දී වැඩි හතුරුසිංහගේ පුහුණුකාරීත්වය සම්බන්ධව දැඩි විවේචන එල්ල විය. එම විවේචනයන් එල්ල කරන ලද අය අතර හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ද සිටීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දිගින් දිගටම ලද අසාර්ථක භාවය හේතු කොට ගෙන හතුරුසිංහ මහතාව මෙරටට ගෙන්වීමට තීරණය කළේද යන්න කරන ලද විමසීමේදී, ලෝක කුසලාන තරගාවලිය තෙක්ම පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ හතුරුසිංහ වන බැවින් ඒ පිළිබඳව වූ සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණු කොට ඔහුව ගෙන්වා ගැනීමට හේතු වූ බව පැවැසීය.

“හදිසියේම ගෙන්න ගත්තා කියන එකෙන් එයාව පුහුණුකමෙන් අයින් කරනවා කියන එක කියවෙන්නේ නෑ. මේ තරගාවලිය අවසන් වුණාම එයා නිවාඩුවට ඔස්ට්‍රේලියාවට යන්න ඉන්නේ. ඊට පස්සේ ලෝක කුසලාන වෙනකම්ම අපිට තරග නෑ ක්‍රීඩා කරන්න. ඒක නිසා ලෝක කුසලාන තරගාවලිය ගැන එයත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මෙහෙම ගෙන්න ගත්තේ නැත්නම් අපිට වෙලාවක් නෑ එයත් එක්ක කතා කරන්න. අනික ඉතුරු වෙලා තියෙන්නේ විස්සයි-20 තරග නිසා ලොකු අවුලක් නෑ” යැයි වත්මක් ක්‍රිකට් සභාපතිවරයා පැවැසීය. කෙසේ වෙතත් මේ සම්බන්ධව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාවද දැනුවත් කළ බවද සභාපතිවරයා සඳහන් කර සිටියේය.

2018 වසරේ ආරම්භයේ සිට හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස වැඩ භාර ගනු ලැබීය. එදින සිට මේ දක්වා ශ්‍රී ලංකා පිල එක්දින තරග 23 කට සහභාගිවී ඇති නමුත්, ඉන් ජය ගැනීමට සමත්ව ඇත්තේ තරග 6 ක් පමණි.

මේ අතර විස්සයි-20 තරග සඳහා ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන ලද සුරංග ලක්මාල් යළි දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතව තිබෙන අතර, ආබාධයක් හේතුවෙන් මෙරටට පැමිණි කුසල් පෙරේරාගේ ස්ථානය සඳහා ලක්මාල්ව ආදේශ කර තිබේ.

(under the courtesy of lankacnews.com news web)

පුවත්

Recent Post