ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වත්කම්-බැරකම් ප්‍රකාශ දීමට සූදානම්

views 91 2018-11-03 10:43:00 sport

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වාර්ෂික ආදායම දැක්වෙන වත්කම් - බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගනියි. මෙය සියලුම ක්‍රීඩා සංගම්වල ප්‍රධානීන්ටත් අදාළ කරන බව ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පවසයි. ක්‍රීඩාව හා ක්‍රීඩා පරිපාලනය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අල්ලස් හෝ දූෂණ පනතට අදාළව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන බව ද ඇමැතිවරයා පැවැසීය.

“අපේ ශ්‍රී ලංකා පිලේ ක්‍රිකට් ක්‍රීඩකයින් සියලු දෙනා කැමැති වුණා වාර්ෂිකව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න. අප රටක් ලෙස ආඩම්බර විය යුතුයි ඒ තීරණය පිළිබඳව. මොකද ක්‍රිකට් ක්‍රීඩා කරන කිසිදු රටක ක්‍රීඩකයකු මෙවැනි දෙයක් කර නෑ. මේ සම්බන්ධ දේ අනෙකුත් ක්‍රීඩා සංගම්වලට අදාළ කර ගැනීම උදෙසා නීති ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඒ නීති රාමුව සකස් කර ගැනීමට ඉදිරි දිනවල කටයුතු කරනවා” ඇමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තරග පාවාදීම් සම්බන්ධ සිදුවන ප්‍රචාරවලින් බලවත් කලකිරීමට පත්ව ඇතැයිද ඇමැතිවරයා පැවැසීය. “වැරදි නොකළ අය චෝදනාවලට ලක් කිරීම අසාධාරණයි. ඕනෑම කෙනෙකුට විරුද්ධව පරීක්ෂණයක් කළ හැකියි.

ඒ අය වැරදිකරුවකු ලෙස දඬුවම් කරනතුරු ඔවුන් නිදොස් අය. ඒ නිසා අයි. සී. සිය වැරදිකරුවකු ලෙස නම්කරන තුරු කිසිදු ක්‍රීඩකයකු අනුමාන කොට චෝදනා නොකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා” ඇමැතිවරයා සඳහන් කළේය.

යම් අයෙකු වරදක් කොට ඇත්නම් ඔවුන් හෙළි කිරීමට පසුබට නොවන බවද මුස්තාපා මහතා පැවැසීය.


dinamina

පුවත්

Recent Post