ක්‍රිකට්‌ විසුරුවන්න සූදානමක්‌ ! - 'කැබිනෙට්‌ටුවේදී' ක්‍රීඩා ඇමැතිගෙන් ක්‍රිකට්‌ 'ලොක්‌කන්ට' රතු එළියක්‌

views 228 2017-12-07 03:15:00 news

ක්‍රිකට්‌ දියුණු කිරීම සඳහා සකස්‌ කර ඇති සැලැස්‌ම කෙසේ හෝ ක්‍රියාත්මක කරන බවත් ඊට ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය බාධා එල්ල වුවහොත් එය විසුරුවා හැර හෝ අවශ්‍ය තීන්දු ක්‍රියාත්මක කරන බවත් කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සාමාජිකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර හා අරවින්ද සිල්වා ඇතුළු ප්‍රවීණයන් සමඟ තමා සාකච්ඡා කර ක්‍රිකට්‌ දියුණු කිරීමට සැලැස්‌මක්‌ සකස්‌ කළ බවද දැනටමත්a එහි පියවර කිහිපයක්‌ ආරම්භ කර ඇති බවද ඊයේ (06 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.

ගමෙන් සුදුසු ක්‍රීඩකයන් තෝරා ගැනීමට පළාත් හතරක ක්‍රීඩා සංගම් පිහිටුවා ඇති බවද එයින් ලබා ගන්නා දක්‌ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත සංචිතයක්‌ ඇති කිරීමට පියවර ගන්නා බවද කීය.

එමෙන්ම ක්‍රිකට්‌ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන බව කී ඇමැතිවරයා පාලක මණ්‌ඩල නිලවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට ඇති ඡන්ද 145 ඉදිරියේදී 75 කට පමණ අඩු කිරීමට පියවර ගන්නා බවද කීය.

සමහර ක්‍රිකට්‌ සමාජවල ඡන්ද බලාපොරොත්තුවෙන් ක්‍රිකට්‌ සම්බන්ධ තීරණ ගැනීමට ක්‍රිකට්‌ ආයතනයට බලපෑම් එල්ල වන බවද ඡන්ද සංඛ්‍යාව අඩු කිරීමෙන් මේ බලපෑම් නැතිව සෘජුව ක්‍රියා කිරීමට ක්‍රිකට්‌ ආයතනයට හැකි වන බවද කීය.

තමාට ක්‍රිකට්‌ නැංවීමට අවස්‌ථාව හා කාලය ලබාදෙන ලෙසද ඇමැතිවරයා ඉල්ලා සිටියේය.

Courtesy : divaina.com

පුවත්

Recent Post