දළදා වහන්සේටත් අපහාස කරමින් රහත් වූ ලෙස පෙනී සිටින සිරිධම්ම හිමි ගැන ජනපතිට ලිපියක්!

views 577 2017-10-12 03:58:00 news

දළදා වහන්සේටත් අපහාස කරමින් රහත් වූ ලෙස පෙනී සිටින සිරිධම්ම හිමි ගැන ජනපතිට ලිපියක්!
රහතන් වහන්සේ නමක් ලෙස පෙනී සිටින පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නැයි බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලයේ සම ලේකම්වරුන් වන ත්‍රිකුණාමලයේ ආනන්ද මහනායක හිමියන් සහ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් මෙම ඉල්ලීම කර ඇත.

පිටිදුවේ සිරිධම්ම හිමියන්, ශ්‍රී දළදා වහන්සේ ඌරු දතකට සමාන කරමින් සහ ලලාඨ ධාතූන් වහන්සේ සිප්පි කටුවක් යැයි හඳුන්වමින් කළ ප්‍රකාශයක් මේ දිනවල සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වන බව උන්වහන්සේලා යොමු කළ ලිපියෙන් දක්වා තිබේ.

එමෙන්ම උන්වහන්සේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන්ට අපහාස වන අයුරින් ද ප්‍රකාශ සිදුකර ඇති බව එමඟින් පෙන්වා දී තිබේ.

එබැවින් රාජ්‍ය නායකයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය පිළිබඳ වගකීම් ප්‍රකාරව, පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

එසේම කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත කඩිනමින් සම්මත කිරීම මගින් සම්බුද්ධ ශාසනය සහ සංඝ සමාජය සුරක්ෂිත කිරීමට කටයුතු කළ හැකි බවද අදාළ ලිපියේ සඳහන් වේ.

(under the courtesy of asianmirror news web)

පුවත්

Recent Post