"1980දී ශ්‍රී ලංකාවේ දරුවන් යුරෝපයට විකිණූ බේබී ෆාම්" යු‍රෝපයට විකිණූ ශ්‍රී ලාංකික දරුවන් දෙමාපියන් සොයන්න ඔබේ උදව් පතයි..

views 427 2017-09-23 10:28:00 news

ශ්‍රී ලංකාවේ සිට හදාවඩා ගැනීමට විදේශයන්ට අලෙවි කළ දරුවන් පිරිසක් සිය සැබැ දෙමව්පියන් සො‍යා ගැනීමට විශාල උත්සාහයක් දරනා සංවේදී සිදුවීමක් පිළිබදව වාර්තා වෙනවා.
ඒ අනුව යුරෝපා රටවල හදා වඩා ගැනීම පිණිස 1980 දශකයේ ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය දරුවන් පිරිසක් සිය සැබෑ දෙමාපියන් සොයාගැනීම සඳහා තම ජිව දත්ත ඇතුළත් "DNA බැංකුවක්" නෙදර්ලන්තයේ ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව සදහන්.

විශේෂයෙන්ම ඔවුන් හදා වඩා ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් ලබාදුන් ලියකියවිලි රැසක් ව්‍යාජ බැවින් සැබෑ දෙමාපියන් හඳුනාගැනීම අසීරු වී ඇති නිසා ඔවුන් මෙලෙස "DNA බැංකුවක්" ඇරඹීමට සුදානම් වන බවත් විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුනා.
සිය තොරතුරු ඇතුළත් DNA දත්ත ගබඩාවක් ගොඩනැගීම මගින් තම සැබෑ ශ්‍රී ලංකික දෙමාපියන් සොයා ගැනීම මෙන්ම තමන්ගේ සොයුරු සොයුරියන් නෙදර්ලන්තයේ සිටිනවා ද යන්නත් එමගින් සොයා ගත හැකි බව එලෙස ශ්‍රී ලාංකික දෙමව්පියන්ට දාව උපන් , හදා වඩා ගැනීම සඳහා යුරෝපයට ලබා දුන් දරුවන් විදෙස් මාධ්‍යයන් වලට පවසා තිබේ.

මෙම DNA බැංකුව ප්‍රථමයෙන්ම නෙදර්ලන්තයේ ස්ථාපිත කර ඉන්පසුව ඩෙන්මාර්කය, ස්වීඩනය, ජර්මනිය වැනි සෙසු යුරෝපා රටවලටත් මෙම DNA බැංකුව ව්‍යප්ත කර යුරෝපය පුරා සිටින ශ්‍රී ලාංකාවෙන් රැගෙන ආ දරුවන්ට සිය සැබැ දෙමව්පියන් සොයා දීම අරමුණයි.

1980-90 කාලවකවානුවේ ශ්‍රී ලංකාවේ දරුවන් 11,000ක් පමණ යුරෝපයට අළෙවි කර ඇති බව ඒ පිළිබඳව පර්යේෂණයක නියැලුණු නෙදර්ලන්ත මාධ්‍ය කණ්ඩායමක් සොයා ගෙන තිබේ. ඒ අතරින් දරුවන් 4,000ක් පමණ හදා වඩා ගැනීම සඳහා ලබාදී තිබෙන්නේ නෙදර්ලන්තයටය.

විශේෂයෙන්ම 1980 දශකයේදී සංවිධානාත්මක පිරිසක් ව්‍යාජ ලියකියවිලි නිර්මාණය කර දරුවන් අලෙවි කර තිබෙන අතර, එම දරුවන් දැන් නැවත සිය දෙමාපියන් සොයා බැලීමට පැමිණීමේදී විශාල මුදලක් ලබාගෙන ව්‍යාජ දෙමාපියන් ඔවුන්ට ඉදිරිපත් කර තිබෙන බව සිය පර්යේෂණයෙන් හෙළි වූ බව ද නෙදර්ලන්ත මාධ්‍ය කණ්ඩායම පවසයි.
1980 දශකයේ ශ්‍රී ලංකාවේ "බේබි ෆාම්" හෙවත් දරුවන් අලෙවි කරන මධ්‍යස්තාන තිබුණු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එම මාධ්‍ය කණ්ඩායමට තහවුරු කර තිබේ.
විශේෂයෙන්ම දෙපාර්ශයේම තොරතුරු ව්‍යාජ බැවින් ශ්‍රී ලංකාවේ දෙමාපියන් සහ එසේ හදා වඩා ගැනීම පිණිස ලබාදුන් දරුවන් යළි එක්කිරීම පිණිස දෙමාපියන්ගේ DNA පරීක්ෂණ සිදු කළ හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන්ට පවසා තිබේ.


(under the courtesy of nethfm news web)

පුවත්

Recent Post