ස්වීඩනය සහ සත්කාරක රුසියාව පරාජය කරමින් එංගලන්තය සමග ක්‍රොඑශියාව අවසන් පූර්ව වටයට

views 89 2018-07-08 10:06:00 sport

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෙරළිකාර ස්වීඩන කණ්ඩායමත් සමග පැවැති තුන්වන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ගෝල 2 ට 0 ක් පහසු ජයක් ලබා ගනිමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගන්නට ප්‍රබල එංගලන්ත කණ්ඩායම සමත් විය.
තරගය පැවැත්වුණේ රුසියාවේ සාමාරා ක්‍රීඩාංගණයේදී ය.

1962 වසරට පසුව ලෝක කුසලානයකට එක්වූ අත්දැකීම් අඩුම එංගලන්ත ලෝක කුසලාන සංචිතය හමුවේ තරගයේ ආරම්භයේ සිටම ස්වීඩනය දැඩි පීඩනයකට ලක්විය.

එංගලන්තයේ හැශ්ලි යං යොමු කළ පන්දුව දැල වෙතට යොමු කරමින් සිය කණ්ඩායමට පළමු ගෝලය එක් කිරීමට හැරී මැගුවයර් සමත් වුණේ තරගයේ 30 වන මිනිත්තුවේදී ය.

ප්‍රතීවාදී ස්වීඩන කණ්ඩායමට එම අර්ධයේදී කිසිඳු ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමිවුණේ නැහැ.

ඒ, අනුව තරගයේ පළමු අර්ධය නිමාවුණේ ගෝල 1 ට 0 ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටිමිනි.

එංගලන්ත ක්‍රීඩක ඩිලේ අලි තරගයේ 59 වැනි මිනිත්තුවේදී සිය කණ්ඩායමට දෙවන ගෝලය එක් කීරීමට සමත් විය.

ස්විඩනයේ රොබින් ඔසෙන් සහ වික්ටර් ලින්ඩ්ලොෆ් සිය කණ්ඩායමට ගෝලයක් එක් කිරිමට උත්සාහ කළද එංගලන්ත ක්‍රීඩකයින් එයට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

ඒ, අනුව ගෝල 2 ට 0 ක් ලෙස ස්වීඩනය පරාජය කරමින් වසර 28 කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සමත් විය.

1966 වසරේ එංගලන්තයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී පළමු වරට ලෝක කුසලානය දිනාගත් එංගලන්තයට නැවතත් අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට අවස්ථාවක් හිමිවුනේ 1990 වසරේ පමණි.

ඉන් අනතුරුව නැවතත් 2006 වර්ෂයේ ඩේවිඩ් බෙකම්ගේ නායකත්වයෙන් යුතුව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් එංගලන්තය මෙවර උපරිම දක්ෂතා දක්වමින් නැවතත් අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

මේ අතර සත්කාරක රුසියාවට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගය දඬුවම් පහර 4 ට 3 ක් ලෙස ජය ගනිමින් ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසීමට ක්‍රොඑශියාව සමත් විය.

සෝචි හි ෆිශ්ට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගැනිණි.

ෆිෂ්ට් ක්‍රීඩාංගණයේ සිටි රුසියානු ප්‍රේක්ෂකයින්ට බලාපොරොත්තුවක් ගෙන එමින් රුසියාවට පළමු ගෝලය එක් කිරීමට ඩෙනිස් චෙරිශෙව් සමත් වුණේ, තරගයේ 31 වන මිනිත්තුවේදී ය.

නමුත් ඉන් මිනිත්තු 8 කට පසු ක්‍රියාත්මක වූ ක්‍රොඑශියාවේ ඇන්ඩ්‍රේජ් ක්‍රැමරික් සිය කණ්ඩායමට පළමු ගෝලය එක් කළේ, තරගයේ උණුසුම තවත් වැඩි කරමිනි.

ඒ, අනුව කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් ලබා සිටියදී තරගයේ පළමු අර්ධය නිමාවට පත්විය.

තරගයේ දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට අවස්ථාවක් හිමිනොවුණු අතර ඒ අනුව තරගයේ තීරණය ලබා දීමට අතිරේක කාලයක් විනිසුරුවන් ලෙසින් ලබා දුන්නා.

නමුත් කිසිවෙකු නොසීතී ලෙස දෙපිලම එම අතිරේක කාලේයේදී එක් ගෝලය බැගින් වාර්ථා කලේ තරගයේ තීරණය දඬුවම් පහර වෙත භාර කරමිනි.

රුසියාවේ ෆිෂ්ට් ක්‍රීඩාංගණයට රැස්ව සිටි සත්කාරක රුසියානු ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු සුන් කරමින් සත්කාරක රුසියාවට සාර්ථක කර ගැනීමට හැකිවූයේ දඬුවම් පහර 3 ක් පමණි.

ක්‍රොඑශියාව දඬුවම් පහර 4 ක් සාර්ථක කරගත් අතර ඒ අනුව අර්ධ අවසන් පූර්ව තරගයේදී සත්කාරක රුසියාව පරාජය කරමින් ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රොඑශියාව සමත් විය.

(under the courtesy of newsfirst.lk web)

පුවත්

Recent Post