අපේක්ෂා භංග වෙන පෙට් ස්කෑනරේ හතරබීරි කතාව

views 567 2018-05-16 03:08:00 news

මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගශීලීන්ගෙන් ලද පෙට් ස්කෑන් යන්ත්‍රයට අවශ්‍ය ඩයි වර්ගය නොමැති බැවින් එහි පෙට් ස්කෑන් සිදුකළ නොහැකි බව පිළිකා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු පවසති.

එම වෛද්‍යවරුන් පවසන්නේ පෙට් ස්කෑන් කිරීමට එෆ්.ඩී.ජී. නමැති ඩයි වර්ගය අවශ්‍ය බවයි. එහෙත් එම ඩයි වර්ගය මෙරට නොමැති බවත් එය ඉන්දියාවෙන් ගෙන්විය යුතු බවත් ඔවුහු කියති. 

එය ඉන්දියාවෙන් ගෙන්විය යුතු ආකාරය තමන් පැහැදිලි කර දුන්නද සෞඛ්‍ය අමාත්‍යංශය එය තවමත් ගෙන්වා නැති බව ඔවුහු පවසති.

මේ වන විට පෙට් ස්කෑන් කිරීම සම්බන්ධයෙන් පුහුණුවීම් කටයුතු සඳහා විදේශ ගතව සිටින පිරිස මෙරටට පැමිණි පසු වුවද මෙම ඩයි වර්ගය නොමැතිව පෙට් ස්කෑන් සිදුකිරීමට නොහැකි බව පිළිකා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු කියති. ඔවුන් පවසන්නේ සීටී ස්කෑන් කිරීමට පෙට් ස්කෑන් යන්ත්‍රයක් අවශ්‍ය නොමැති බවත් පෙට් ස්කෑන් යන්ත්‍රයෙන් පෙට් ස්කෑන් කිරීම කඩිනමින් සිදුවිය යුතු බවත්ය.

එමෙන්ම එම වෛද්‍යවරු වැඩිදුරටත් පැවැසුවේ කොළඹ ජාතික රෝහ‍ලේද මෙම ඩයි වර්ගය නොමැති බැවින් පෙට් ස්කෑන් යන්ත්‍රයක් අවුරුද්දක් තිස්සේ භාවිතයට නොගෙන තිබෙන බවයි. රජයේ රෝහල්වල පෙට් ස්කෑන් යන්ත්‍ර දෙකක් තිබියදී එය භාවිතයට නොගැනීම හේතුවෙන් රෝගීන්ට මුදල් ගෙවා පෙට් ස්කෑන් කටයුතු කර ගැනීමට සිදුවී ඇතැයි එම වෛද්‍යවරු පවසති.

පෙට් ස්කෑන් නතර වුණේ වෛද්‍යවරු නැති නිසා

මේ පිළිබඳව කළ විමසීමේදී මහරගම අපේක්ෂා රෝහ‍ලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විල්ෆ්‍රඩ් කුමාරසිංහ මහතා පැවැසුවේ පෙට් ස්කෑන් යන්ත්‍රයෙන් දැනට සී.ටී. ස්කෑන් සිදුකරන බවයි. එමෙන්ම දැනට පෙට් ස්කෑන් කිරීමට නොහැකි වී ඇත්තේ මේ සම්බන්ධව පුහුණුවීමට විදේශ ගත වූ පිරිස තවම මෙරටට නොපැමිණීම හේතුවෙන් බවද හෙතෙම කීය. 

ඔවුන් මෙරටට පැමිණීමෙන් පසු ජූලි මාසයේ සිට පෙට් ස්කෑන් කටයුතු ආරම්භ කරන බවද අධ්‍යක්ෂවරයා කියා සිටියේය. එමෙන්ම අධ්‍යක්ෂවරයා පැවැසුවේ පෙට් ස්කෑන් යන්ත්‍රයට අවශ්‍ය ඩයි වර්ගය මෙරට නොමැති බැවින් එය ඉන්දියාවෙන් ගෙන්විය යුතු බවත් දැනට එය ගෙන්වා නොමැති බවත්ය. ඩයි පිළිබඳ ප්‍රශ්නයක් නොමැති අතර මේ වන විට එම පෙට් ස්කෑන් යන්ත්‍රය මගින් සීටී ස්කෑන් 300ක් පමණ සිදුකර ඇති බවද ඒ මහතා කියා සිටියේය.

කොළඹ ජාතික රෝහ‍ලේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවැසුවේ ජාතික රෝහ‍ලේ පෙට් ස්කෑන් යන්ත්‍රය භාවිතයට ගන්නා බවත් පෙට් ස්කෑන් නොකරන බවත්ය. තවද ඩයි පිළිබඳව ගැටලුවක් නොමැති බවද හෙතෙම පැවැසීය.


(under the courtesy of srilankamirror.lk news web)

පුවත්

Recent Post