ඔබාමා ගෙන් අනතුරු ඇඟවීමක්!

views 297 2017-12-28 01:24:00 world

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා විසින් වගකීම් විරහිතව සමාජ මාධ්‍ය ජාලය භාවිතා කරනු ලැබීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඒ, බ්‍රිතාන්‍ය රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් පස්වැන්නා වන හැරී කුමරු ගේ ආරාධිත සංස්කාරකත්වය යටතේ 'රේඩියෝ - 4' චැනලයේ පැවැත්වූ 'ටුඩේ' (Today) වැඩසටහන අතරතුරේදීය.

සමාජ මාධ්‍ය අවභාවිතය මගින් වැරදි තොරතුරු සමාජගත කෙරෙන අතර සමාජ සාරධර්ම විනාශ කෙරෙන බව ඔබාමා මහතා පෙන්වා දුන්නේය.

මහජනයා ඉලක්ක කර ගනිමින් පණිවුඩ නිකුත් කිරීමේ දී සමාජ නායකත්වයේ සිටින්නන් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුව ඇතැයි ඔහු සඳහන් කළේය.

"සමාජ නායකත්වයේ ඉන්න අපි සියලු දෙනාට අන්තර්ජාලයේ පොදු අවකාශයක් නිර්මාණය කර ගත හැකි මාවත් සොයාගත යුතු වෙනවා. අන්තර්ජාලය මගින් සිදු කෙරෙන එක් අනතුරක් වන්නේ මිනිසුන්ට වෙනස් වෙනස් යථාර්තයන් පැවැත්ම. පවතින අගතීන් යළි බල ගැන්වීම සඳහා ඔවුන්ට තොරතුරු විකෘති කරන්න පුළුවන් කම තියෙනවා" බරක් ඔබාමා හැරී කුමරාට පිළිතුරු දෙමින් විග්‍රහයක නිරත විය.

ජනාධිපති බරක් ඔබාමා ගේ අනුප්‍රාප්තිකයා වන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද 'ට්විටර්' පණිවුඩ කීපයක්ම පසුගිය අවධියේ සමාජ ආන්දෝලනයට ලක් වූ නමුත් මෙම වැඩසටහන අතරතුරේදී ඔබාමා විසින් කිසිදු විටක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නමින් සඳහන් කළේ නැත.

මෙම වැඩසටහන සඳහා හැරී කුමරු ගේ පියා වන චාර්ල්ස් කුමරු ද සහභාගී වූ අතර, යුද හමුදාව, මානසික සෞඛ්‍යය, තරුණයන් අපරාධවලට යොමුවීම සහ දේශගුණ විපර්යාසයන් වැනි මාතෘකා සාකච්ඡාවට බඳුන් විය.

(under the courtesy of srilankamirror.lk news web)

පුවත්

Recent Post