හමුදාවේ සියලු අංශ කාන්තාවන්ට විවෘත වෙයි

views 401 2018-10-28 05:37:00 world

බ්‍රිතාන්‍ය හමුදාවේ සියලුම අංශ සඳහා මේ වනවිට කාන්තාවන්ට දොරගුළු විවර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාන්තාවන්ට බ්‍රිතාන්‍ය හමුදාවේ ඕනෑම කාර්යයක් සඳහා අයැදුම් කිරීමට පළමු වරට අවස්ථාව හිමිව ඇතැයි එරට ආරක්ෂක ලේකම් පවසා තිබේ.

ආරක්ෂක ලේකම් ගැවින් විලියම්සන් නිවේදනය කළේ, විශේෂ ගුවන් සේවය (SAS)වැනි විශේෂ හමුදා ඒකක ඇතුළු සටන් පෙරමුණේ සියලු ම කාර්යයන් කාන්තාවන් සඳහා විවෘත කර ඇති බවයි.

පළමු වරට "ස්ත්‍රී පුරුෂ භාවය නොව හැකියාවන් පමණක් සැලකිල්ලට ගෙන ආරක්ෂක හමුදාවන්ට බඳවා ගැනීමේ" තීන්දු ගනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය හමුදාවේ සටන් පෙරමුණු ප්‍රහාරක ඒකක තුළ සේවය කිරීම සඳහා කාන්තාවන් වෙත පනවා තිබූ තහනම 2016 වසරේදී ඉවත් කෙරුණි.

කාන්තාවන් සඳහා සිය දොරගුළු විවෘත කළ පළමු යුද හමුදා ඒකකය වූයේ, බ්‍රිතාන්‍ය හමුදාවේ යුද ටැංකි මෙහෙයුම්වල නිරත රාජකීය සන්නද්ධ බලඇණියයි.

එම පියවර ගනු ලැබුවේ 2016 වසරේ නොවැම්බර් මාසයේදීයි.

එතැන් පටන් කාන්තාවන් 35 දෙනෙකු පමණ රාජකීය සන්නද්ධ බලඇණියේ සේවය කර හෝ ඒ සඳහා පුහුණු කර තිබේ.

යුද පෙරමුණුවල කාර්යයන්, කාන්තාවන්ට විවෘත කිරීම අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

'රෝයල් මැරීන්' සහ පාබල හමුදා ඒකක සඳහා අයැදුම් කිරීමට දැනට අවස්ථාව හිමි වන්නේ, බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කරන කාන්තාවන්ට පමණයි.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post