සිවුකොන් පාපන්දු තරගාවලියක් ලබන මාසයේ ලංකාවේදී

views 228 2017-02-23 10:33:00 sport

ශ්‍රී ලංකාව, ජපානය, භූතානය හා නේපාලය යන රටවල අවුරුදු 16න් පහළ සිවුකොන් පාපන්දු ශූරතාවලියක් එළැඹෙන මාර්තු මස 11වැනිදා සිට 14වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය දියත් කර ඇති "ක්‍රීඩාවට හෙටක්" යන තේමාව යටතේ පවත්වනු ලබන මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ තුරඟ තරග පිටියේදී පවත්වනු ලබන අතර, සෑම දිනකම පළමු තරගය පස්වරු 5.00ටත්, දෙවැනි තරගය රාත්‍රි 7.00ටත් පැවැත්වෙන බවද පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

ජපානයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන මෙම ශූරතාවලියේදී මාර්තු 11වැනිදා පස්වරු 5.00ට නේපාලය හා භූතානයත්, එදිනම රාත්‍රි 7.00ට ශ්‍රී ලංකාව හා ජපානයත් තරග වදින අතර, 12 වැනිදා පස්වරු 5.00ට ශ්‍රී ලංකාව හා භූතානය අතරත්, එදිනම රාත්‍රි 7.00ට ජපානය නේපාලය සමඟිනුත් තරග වැදීමට නියමිතව ඇත.

තවද මාර්තු 14වැනිදා පස්වරු 5.00ට භූතානය ජපානය සමඟත් රාත්‍රි 7.00ට ශ්‍රී ලංකාව නේපාලය සමඟිනුත් තරග වැදීමට නියමිතව තිබේ.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා සහ ශ්‍රී ලංකා-ජපාන තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් යුසුකි තනාකා යන මහත්වරුද එක්ව සිටියහ.

mawbima.lk

පුවත්

Recent Post