පොලිස්පති නීතිය නමනවා නොවෙයි නීතිය පලනවා..- පිටිදුවේ සිරිධම්ම හිමි පොලිස් මූලස්ථානය වටලා විරෝධතාවකට සැරසේ..

views 4590 2017-04-21 02:33:00 news

අපරාධ කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමාධිපති සිරි සමන්තභද්‍ර (පිටිදුවේ සිරිධම්ම) හිමියන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේනයක් පහතින් පලවෙයි.

මාධ්‍ය නිවේදනය!

(අපරාධ කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම)

2017 02 26 ඉරු දින පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේ ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කර තිබූ ධර්ම දේශනාව මැර භික්ෂුන් හා ඔවුන්ගේ වචනය අනුව ගිය ගිහි පිරිස විසින් ගල්මුල්, කුණු බිත්තර හා රතිඥ්ඥා යොදා ඉතා සාහසික අන්දමින් කඩාකප්පල් කලේ පිළියන්දල පොලිස් ස්ථානාධිපති තුමා හා ඔහුගේ කාර්ය මණ්ඩලය 15ක් පමණ පිරිස ඉදිරියේය. පිළියන්දල ප්‍රදේශවාසීන් අපව පිළියන්දල නගරයට වැඩම කරවුයේ යුද්ධයක් සඳහා නොව ධර්ම දෙශ්නාවකටය. නමුත් රටෙහි නීතිය හා සාමය රැකීමට පත් කොට, “ මහජනතාවට ඉතා සුහදශීලී සේවාවක් ඉටු කර දෙන්නෙමු”. කියා පොලිස් ස්ථානය ඇතුලතම මහා බෝඩ් ලැල්ලක් ප්‍රදර්ශනය කොට ඇති මෙම නිලධාරින්ගේ ඇස් පනාපිටම ධර්ම දේශක ස්වාමින්වහන්සේට හා පැමිණි සැදැහැවතුන් හට ගල්මුල් , කුණු බිත්තර හා රතිඥ්ඥා එල්ල කරමින් රටෙහි ආගමික සංහිඳියාව අමු අමුවේ කෙලෙසන විට, මේ කිසිවක් නොදැක්කා මෙන් සිටි පිළියන්දල පොලිස් ස්තානාධිපති සාරානාත් සමරකෝන් මහතා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම මහත් ආදර්ශයකි. අප මෙම සහාසික ක්‍රියාව පිළිබඳව 2017- 02-27 දින පිළියන්දල පොලිස් ස්ථානයේ පැමිණිලි අංක GCIB-103-356 යටතේ පැමිණිලි කළ ද අද වන විට ද මාස දෙකකට ආසන්න කාලයක් ගත වුව ද මේ සම්බන්ධයෙන් ඔවුන් කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. පසුව අප මේ පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලයට දැනුම් දුන්විට ඔවුන් විසින් මේ පිළිබඳව පොලිස් පතිතුමා වෙත දැනුම් දුන් බව පවසා ලිපියක් එවමින් ඇඟ බේරා ගත්හ. ජනාධිපති කාර්යාලයෙන්ද අප හට ලැබුනේ එවැනි ප්‍රතිචාරයකි. පසුව පොලිස් මුලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති තුමා හමුවී මෙම කරුණු ඉදිරිපත් කළ ද (පැමිණිලි අංක CIBD-165-05)  ඔවුන් පවසා සිටියේ ගල්කිස්ස නියෝජ්‍ය පොලිස් අධිකාරි චන්දන අතුකෝරල මහතා හමුවී වී මේ පිළිබඳව පැමිණිලි කරන ලෙසයි. අනතුරුව ගල්කිස්ස නියෝජ්‍ය පොලිස් අධිකාරි චන්දන අතුකෝරල මහතා හමුවී ගල්කිස්ස පොලිස් ස්ථානයේද පැමිණිල්ලක් ගොනුකොට කීපවතාවක්ම එම මහතා හට දුරකතනයෙන් දැනුම් දුන්නද මේ වන විටත් මෙම අපරාධය සම්බන්ධයෙන් කිසිඳු නීතිමය පියවරක් ගෙන නොමැත. එසේම පිළියන්දල පොලිස් ස්ථනාධිපතිවරයාට එරෙහිව මානව හිමිකම් කොමිසන් සභාවේ (පැමිණිලි අංක HRC -925-2017 ) පැමිණිලි කළ ද එතෙකින් හෝ කිසිඳු පියවරක් මේ සම්බන්ධව ගත් බවක් අපට පෙනෙන්නට නැත.

මෙරටෙහි දේශපාලාන හෙන්චයියන්ගේ අතකොලු වෙමින් දිනෙන් දින පිරිහෙන පොලිසියේ හා නීතියේ  නැවුණු කොඳු ඇට කෙලින් කිරීමට තවමත් මෙරටෙහි පොලිස්පතිතුමා හට නොහැකි වී ඇත. විපක්ෂයක සිටින යමෙකු, දේශපාලන වාසිය තකා සිරගත කිරීමට නොපසුබටවන මෙම පොලීසිය හා දේශපාලඥයන් හට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබියදීත් මේවන විටත් අන්තර්ජාලය ඔස්සේ ලක්ෂ ගණනක් නරඹා ඇති (Link) මෙවැනි කඩාකප්පල් කාරී ක්‍රියාවක් වැලක්වීමට මන්දෝත්සාහී වුයේ එයින් තම පසුම්බියට කිසිඳු වාසියක් නොවන නිසාය. ඕනෑම තැනක සාධාරණයක් යුක්තියක් සිදුවන්නේ එම ස්ථානයේ සිටින පාලකයාගේ ඍජු නායකත්වය හේතුවෙනි. නමුත් මේ රටෙහි ජනාධිපති වරයා, අග්‍රාමාත්‍යවරයා, බුද්ධශාසන අමාත්‍යවරයා මෙන්ම පොලිස්පතිවරයාගේ ද  එවැනි නායකත්වයක් නොමැති කමේ ප්‍රතිපල අද භුක්ති විඳින්නෙ රටෙහි ජනතාවය. ධර්ම දේශනාව කඩාකප්පල් කිරීම , පහර දීම , රජයේ පොදු දේපල විනාශ කිරීම හා සඟ සතු බාණ්ඩ පැහර ගැනීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන් ලෙස මහරගම දොලේකනත්ත, සිරි තිසරණ ධර්මායතනයේ ඇඹිලිපිටියේ රතනජෝති, හොන්නන්තර පිළියන්දල ශ්‍රී විජයනන්දනාරාමාධිපති හල්පිටගම යසස්සි, පිළියන්දල මාකන්දන සංකල්ප විහාරාධිපති උග්ගොඩ දම්මින්ද යන හිමි වරුන් හා මෙම මැර භික්ෂුන් සමග පැමිණි පිලියන්දල නගරාසන්නයේ වෙසෙන අප ආරාමය සතු දෙලක්‍ෂ හයදාහක් වටිනා කැමරාව පැහැරගත් ලේක්හවුස් ආයතනයේ ප්‍රවාහන අංශයේ සේවයේ නියතු වසන්ත ලොකුගේ යන, නම් සඳහන් මෙම කඩාකප්පල් කරුවන්ගේ සියලු විස්තර පොලිසිය වෙත ලබාදුන්නද මේවන විටත් පිළියන්දල පොලිස් ස්ථනාධිපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලය තවමත් කිසිඳු නීතිමය පියවරක් ගෙන නොමැත.

දැන් මෙරටෙහි ඕනෑම සොරෙකුට සොරකම් හා මැර ක්‍රියා සිදු කොට සුවසේ රටෙන් පැනගත හැකිය. මක්නිසාද අපරාධය සිදුවී මාසගණන් ගත වුව ද  පොලීසිය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ නැත. මෙරටෙහි ආණ්ඩු පක්‍ෂය හා පොලීසිය, විපක්ෂය අතින් ඇල්පෙනිත්තක් බිම වැටුන විගස ඊට එරෙහිව  නීතිමය පියවර ගැනීමට පුදුමාකාර උනන්දුවක් දක්වන අතර මෙරටෙහි නිරායුධ නිර්දේශපාලනික පුද්ගලයකුට, භික්ෂුවකට මෙවැනි අසාධාරණයක් සිදුවූ විට කිසි විටෙක ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරිමට පෙළඹෙන්නේ නැත. එසේනම් මේ රටෙහි පීඩිත පොදු ජනතාව හට කෙතරම් නම් අසාධාරණයක් මේ දේශපාලනික පොලිස් හෙන්චයියන් හරහා සිදුවනවා ඇත්ද?. පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිවරයාට බෝලය පාස් කරයි, නියෝජ්‍ය පොලිස්පති, ස්ථානාධිපති වරයාට බෝලය පාස් කරයි, නැවත ස්ථානාධිපති පොලිස්පතිවරයාට බෝලය පාස් කරයි. මේ ඇරුණු කොට මෙම පොලීසිය තුලන් සිදුවන යහපතක් අපට පෙනෙන්නට නොමැත. මීට ප්‍රධාන හේතුව ලෙස අප දකින්නේ රටෙහි පමණක් නොව සමස්ත පද්ධතීන් තුලම ඍජු නායකත්වයක් නොමැතිකම නිසා නීතිය පිරිහී  රට අරාජික වී ඇති බවය.

අනෙක් බරපතලම කරුණ නම් මෙරටෙහි බෞද්ධ භික්ෂුන් හට මෙවැනි අපරාද සිදුවන විට බුද්ධ ශාසන අමාත්‍යංශයේ ඇමති වරයා හා ලේකම් වරයාද මෙරටින් බුදු දහම අතුගෑවිලා යන තෙක්ම නිහඬව සිටීමය. 2017 02 28 දින මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සම්පුර්ණ තොරතුරු අප විසින් බුද්ධ ශාසන අමාත්‍යවරයාට හා ලේකම් වරයා වෙත රැගෙන ගොස් බාර දුන්නද , මේවන විටත් ඒ සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් අප වෙත් දන්වා නැත.  ආණ්ඩු පක්ෂයේ භික්ෂුවකට මෙවැනි විපතක් වූයේනම් ජනාධිපති ,අගමැති බුද්ධ ශාසන ඇමති මේ වනවිටත් කරුණු සොයා බලා කටයුතු කරන අතර නිර්දේශපාලනික භික්ෂුන්හට සිදුවන මෙවැනි අසාධාරණ සම්බන්ධයෙන් මොවුන්ගේ ප්‍රතිපත්තීන් වෙනස්ය. අප මෙරටෙහි පොලිස් පති වරයා හට දන්වන්නේ මේ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසය. එසේ නොවුවහොත් අප හටද සිදුවන්නේ පොලිස් මුලස්ථානය අසල සාමකාමී විරෝධතාවක නිරතවීමටය. රටෙහි සාමාන්‍ය ජනතාව තමුන්ට නීතියෙන් මෙවැනි පිහිටක් නොමැති කල නීතිය අතට ගෙන කටයුතු කිරීම නිවැරදි බව දැන් අපට ද හැඟී යන කරුණකි. ඇත්තෙන්ම පොලිස්පති තුමා ඇතුළු සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම නීතිය නවනවා නොව මේවනවිට නීතිය දෙපලු කොට ඇත.

අප මෙරටෙහි වගකිවයුතු සියලු මාධ්‍ය හට පවසන්නේ මේ පිළිබඳව මධ්‍යස්තව සොයා බලා රටෙහි පවතින පොදු නීතිය සියලු දෙනා හට ක්‍රියාත්මක කරන ලෙස මෙරටෙහි ජනාධිපතිතුමන් , අග්‍රාමාත්‍යතුමන් හා පොලිසිය හට මෙහි යථාස්වභාවය පෙන්වා දීමය. මෙලෙස යුක්තියේ සාධාරණත්වය නොලබන ලක්‍ෂ ගණනක නිහඬව අයුක්තියට හා අසාධාරණයට ලක්වන සියලු ජනයා වෙනුවෙන් ඔබතුමන්ලා තවදුරටත් මුනිවත නොරැක මෙහි යථාස්වභාවය සමාජයට එලි දක්වා මුළු සමාජයම නිවැරදි දිශානතියකට යොමු කිරීමට කටයුතු කරන මෙන් අප මෙම මාධ්‍ය නිවේදනය මගින් තවදුරටත් ලිඛිතව දන්වා සිටියි.

මෙවගට,
සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ

(under the courtesy of lankacnews news web)

පුවත්

Recent Post