2017-18 වසරේදී ශ‍්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ අපනයන වලින් හතරෙන් එකකට, එමිරේට්ස් ස්කයිකාර්ගෝ දායක වෙයි

views 120 2018-10-28 05:08:00 business


2017-18 වසරේදී ශ‍්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ අපනයන වලින් හතරෙන් එකකට, එමිරේට්ස් ස්කයිකාර්ගෝ දායක වෙයි


නැවුම් මත්ස්‍ය අපනයනවල සිට මල් දක්වා ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන ලෝකය වෙත රැගෙන යාමට එමිරේට්ස් ස්කයිකාර්ගෝ සහාය වෙයි
 

එමිරේට්ස් ස්කයිකාර්ගෝ විසින් ලබාදෙන ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සේවාව හමුවේ ශ‍්‍රී ලංකාවේ ගුවන් අපනයන භාණ්ඩ කලට වේලාවට නැවුම් තත්ත්වයෙන් අදාළ ගමනාන්ත වෙත ප‍්‍රවාහනය කිරීමේ පහසුකම මෙරට බොහෝ අපනයන කරුවන්ට හිමිවී තිබේ.

සම්මානනීය ගුවන් සමාගමේ කොළඹ කාර්යාලය විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලට අනුව 2017-18 වසර තුළදී එමිරේට්ස් ස්කයිකාර්ගෝ අංශය විසින් කොළඹ සිට ටොන් 27,000 ක ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය කර ඇත. මෙහිදී, කැපී පෙනෙන්නේ මේ වසර තුළදී ශ‍්‍රී ලංකාව ගුවන් මගින් අපනයනය කළ ටොන් 118,000 ක් වන ගුවන් භාණ්ඩ ප‍්‍රමාණය සමග සැසඳීමේදී එමිරේට්ස් ස්කයිකාර්ගෝ අංශය විසින් සමස්ත ප‍්‍රමාණයෙන් 23% ක් අපනයනය කර තිබීමයි.

එමිරේට්ස් සමාගම විසින් සතියකට ගුවන් ගමන් වාර 28 ක් කොළඹ සිට සහ කොළඹට ක‍්‍රියාත්මක කරන අතර සෑම Boeing 777 ගුවන් යානයකම ටොන් 20 ක පමණ භාණ්ඩ ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය කරයි. මේ අනුව, ශ‍්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ ප‍්‍රවාහනයේ ප‍්‍රධානතම ගුවන් සමාගමක් ලෙස එමිරේට්ස් ස්කයිකාර්ගෝ කැපී පෙනෙන අතර මෙරට ජාතික ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දක්වයි.

අපනයන භාණ්ඩ

ආහාරයට ගන්නා මාළු, පළතුරු සහ එළවළු, මල් සහ අනිකුත් කැපූ පැලෑටි, නිමි ඇඳුම් ඇතුළු භාණ්ඩ වර්ග ගණනාවක් එමිරේට්ස් ස්කයිකාර්ගෝ විසින් ශ‍්‍රී ලංකාවේ සිට ලෝකය පුරා වෙළඳපොළවල් වෙත රැගෙන යයි.

ශ‍්‍රී ලංකාවේ සිට ගුවනින් අපනයනය කරන භාණ්ඩ වලින් සැලකිය යුතු කොටසක් කල්තබාගත නොහැකි නැවුම් තත්ත්වයෙන් වෙළඳපොළවල් වෙත යැවිය යුතු භාණ්ඩ ^perishables& වේ. මේ නිසාම, එමිරේට්ස් ස්කයිකාර්ගෝ විසින් මෙම භාණ්ඩ අපනයනය සඳහා විශේෂ ගුවන් ප‍්‍රවාහන විසඳුම් මාලාවක් නැවුම් ආකාරයෙන් භාණ්ඩ අපනයනය කිරීම සඳහා සකස් කර තිබෙන ‘එමිරේට්ස් ෆ්‍රෙෂ්’ වැඩසටහන මගින් ලබාදී තිබේ. ‘එමිරේට්ස් ෆ්‍රෙෂ්’ වැඩසටහන සඳහා එමිරේට්ස් සමාගමේ අති නවීන ගුවන් යානා 270 ක් ඉක්මවන යානා ඇණිය, ශක්තිමත් ක‍්‍රියාවලිය, පළපුරුදු කාර්ය මණ්ඩලය සහ සමාගමේ ඩුබායි මධ්‍යස්ථානයේ පිහිටි තාක්ෂණයෙන් ඉහළ ශීතාගාර දාම පහසුකම් තුළින් තව තවත් ශක්තිමත් වී ඇත.

 

නැවුම් මාළු සහ මුහුදු ආහාර

‘2017-18 මූල්‍ය වසරේදී එමිරේට්ස් ස්කයිකාර්ගෝ විසින් නැවුම් මාළු මෙටි‍්‍රක් ටොන් 7,500 කට වැඩි ප‍්‍රමාණයක් ලංකාවෙන් ප‍්‍රවාහනය කර තිබෙනවා. ඇමරිකාවට සහ යුරෝපයට මෙම වසරේදී ලංකාවෙන් අපනයනය කළ ආහාර සඳහා ගන්නා මාළු මෙටි‍්‍රක් ටොන් 17,500 ක ප‍්‍රමාණයෙන් මෙය 40%ක් පමණ වෙනවා.’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එමිරේට්ස් ස්කයිකාර්ගෝ කළමනාකරු කපිල සාන්තප‍්‍රිය මහතා පැවසීය. ‘කොළඹ සිට අප සිදුකරන ගුවන් ගමන් වාර ප‍්‍රමාණය සහ අපගේ ගෝලීය ජාලය ලංකාවේ මාළු සහ මුහුදු ආහාර අපනයන සඳහා සහයෝගය ලබාදෙනවා.’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය. මේ අනුව, එමිරේට්ස් ස්කයිකාර්ගෝ ඔස්සේ ලංකාවේ සිට බලයා, කුඩා ඉස්සන්, ඉස්සන්, කකුළුවන් සහ පොකිරිස්සන් ඇතුළු මත්ස්‍ය අපනයන එංගලන්තය, ප‍්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය සහ ඇමරිකාව යන රට වලට අපනයනය කරයි. ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කරන මාළුවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 250 කට ආසන්න වේ.



එළවළු සහ පළතුරු

මුහුදු ආහාර වලට අමතරව, පසුගිය මුල්‍ය වසරේදී එමිරේට්ස් ස්කයිකාර්ගෝ මගින් ශ‍්‍රී ලංකාවේ සිට එළවළු සහ පළතුරු මෙටි‍්‍රක් ටොන් 5000 ක් කොළඹ සිට ප‍්‍රවාහනය කර තිබේ. මෙම පළතුරු සහ එළවළු අතර කෙසෙල්, පැපොල්, අන්නාසි, මැන්ගුස්ටීන් (මැයි-සැප්තැම්බර්), රඹුටන් (මැයි-අගෝස්තු) වැනි පළතුරු, කරවිල, අමු මිරිස්, මුරුංගා, පතෝල සහ රතු ළුණු ඇතුළත් වේ. ශ‍්‍රී ලංකාවේ පළතුරු සහ එළවළු සඳහා ප‍්‍රධාන අපනයන වෙළඳපොළක් ලෙස මැද පෙරදිග කැපී පෙනේ. මීට අමතරව, මාලදිවයින, එංගලන්තය, ඉතාලිය, ප‍්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය සහ සීෂෙල්ස් රාජ්‍යය වෙත ශ‍්‍රී ලංකාවෙන් පළතුරු සහ එළවළු අපනයනය කරයි.

එමිරේට්ස් ස්කයිකාර්ගෝ පුළුල් බඳ සහිත මගී ගුවන් යානා 257 ක් සහ භාණ්ඩ ගුවන් යානා 14 ක් මගින් මෙහෙයුම් කටයුතු සිදුකරන ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් සේවාවයි. උෂ්ණත්වය සඳහා වඩාත් සංවේදී කල් තබාගැනීමට අපහසු භාණ්ඩ සහ ඖෂධ අපනයනයට අවශ්‍ය පුළුල් ශීතාගාර දාම පහසුකම් ඩුබායි හි, පිහිටි එමිරේට්ස් ස්කයිසෙන්ට‍්‍රල් පර්යන්ත තුළදී එමිරේට්ස් ස්කයිකාර්ගෝ විසින් ලබාදෙයි. අපනයන කරුවන්ගේ පහසුව සඳහා විශේෂ කර්මාන්ත අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය වන සුවිශේෂී ප‍්‍රවාහන විසඳුම් මාලාවක් එමිරේට්ස් ස්කයිකාර්ගෝ විසින් නිර්මාණය කර තිබේ. 2017-18 මුදල් වසර තුළදී එමිරේට්ස් ස්කයිකාර්ගෝ විසින් ලොව පුරා ගුවන් භාණ්ඩ මෙටි‍්‍රක් ටොන් මිලියන 2.6 කට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය කර ඇත.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post