සංචාරක ආකර්ෂණයට ලක්වූ අපේ රටේ උණුදිය උල්පත්

views 2018-11-28 01:18:00 travel_New

අපේ රටේ විවිධ ප්‍රදේශවල ස්වාභාවික උණුදිය උල්පත් පිහිටා ඇත. මේවා දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වූ ඒවා වේ. ඔබත් යම් දිනෙක උණුදිය උල්පත් බලන්නට යාමට හෝ උණුදිය උල්පත් තිබෙන ප්‍රදේශ ආශ්‍රිතව සංචාරයක් කරනවා නම් ඔබේ දැන ගැනීම පිණිස අපේ රටේ උණුදිය උල්පත් කිහිපයක් පිහිටි ප්‍රදේශ සහ ඒ සඳහා මාර්ගය මෙහි දක්වමු.

කපුරැල්ල උණුදිය උල්පත

මහඔය සිට අම්පාර දෙසට යනවිට හමුවන 69 හන්දියෙන් මඩකළපුව දෙසට යන කැලෑ මාර්ගයේ සැතපුම් 8 පමණ ගියවිට ටැම්පිටිය ග්‍රාමය හමුවේ. එතැනින් දකුණට හැරී සැතපුම් 3 පමණ වනය තුළට ගියවිට මෙම උණුදිය උල්පත හමුවේ. මෙය උණුසුම අධිකම උණුදිය උල්පත් වලින් එකකි.

මහඔය උණුදිය උල්පත

මහියංගනය අම්පාර මාර්ගයේ හමුවන මහඔය නගරයේ සිට බුබුල පාරේ සැතපුම් 3 පමණ දුරින් සියඹලාගස් කණ්ඩිය ප්‍රදේශයේ මෙම උණුදිය උල්පත පිහිටයි. සංවර්ධනය කළ උණු දිය ළිං හතක් මෙහි දැකිය හැකිය. මෙයද අපේ රටේ උණුසුම අධික උණුදිය උල්පත්වලින් එකකි. නවාතැන් පහසුකම් සඳහා කුඩා ගෘහයක්ද මෙහි ඉදිකර ඇත.

පදියතලාවේ මරංගල සහ වහව උණුදිය උල්පත

මහියංගනයේ සිට දඹාන හරහා පදියතලාවට පැමිණ පදියතලාව තැපැල් කාර්යාලය ඉදිරිපසින් දිවෙන අතුරු මාර්ගයේ කි.මී. 12 පමණ යනවිට මරංගල උණුදිය උල්පත් හමුවේ. හැළිගල කඳු පාමුල වගුරු බිමක උල්පත් 17 කින් යුත් මෙම උණුදිය වගුරේ පසෙකින් නිරන්තරයෙන්ම උණු ජලය ගලායන නළ ළිඳක්ද දැකිය හැකිවේ.

මෙම උණුදිය උල්පත් ජලයෙන් ප්‍රදේශයේ විශාල කුඹුරු යායක්ම යල මහ කන්න දෙකෙහිම සරුවට අස්වද්දයි. වහව උණුදිය උල්පතද මීට කි.මී. 3ක් පමණ නුදුරින් මහවනයේ පිහිටා ඇත.

කින්නියා උණුදිය උල්පත

ත්‍රිකුණාමලයේ සිට අනුරාධපුරය දක්වා දිවෙන මාර්ගයේ ත්‍රිකුණාමලයේ සිට කි.මී. 8ක් පමණ දුරින් මෙම උණුදිය උල්පත පිහිටා තිබේ. මහ ඔය මෙන්ම මෙහිද සංවර්ධනය කළ උණු වතුර ළිං හතක් තිබිම

විශේෂත්වයකි. මෙහි එක් ළිඳක ජලය සාමාන්‍ය ජලය මෙන් සිසිල්ය. ඉතිරි ළිං හයේ ජලය සෙල්සියස් අංශක 38-42 දක්වා වේ.

රත්කිහිරිය උණුදිය උල්පත

ත්‍රිකුණාමලයේ ගෝමරන්කඩවල නගරයේ සිට කි.මී. 5ක් පමණ දුරින් රත්කිහිරිය පැරණි රජමහ විහාර භූමියේ මෙම උණුදිය ‍පොකුණ පිහිටා ඇත. යුද සමයෙන් පසු ආරක්ෂක අංශ විසින් ‍පොකුණක් ලෙස සංවර්ධනය කළ උණුදිය ‍පොකුණකි. වන්දනාකරුවන්ගේ ස්නානය සඳහා බහුලව ප්‍රයෝජනයට ගනි. රත්කිහිරිය ශාක මෙම ප්‍රදේශය අවට බහුලව දක්නට ලැබෙයි. මෙම උණුදිය උල්පත් මුහුදු මට්ටමෙන් අඩි 150ක් පමණ උසින් පිහිටයි.

ගල්වැව උණුදිය උල්පත

මඩකළපුව ‍පොළොන්නරුව මාර්ගයේ මනම්පිටිය පසුකළ පසු හමුවන දුම්රිය හරස් පාර අසලින් ගිනිකොන දිශාවට විහිදෙන අතුරු මාර්ගයේ කි.මී. 5ක් පමණ ගිය විට මෙම උණුදිය උල්පත හමුවේ. මුහුදු මට්ටමේ සිට අඩි 150ක් පමණ උසින් පිහිටි ප්‍රදේශයක උණුදිය උල්පත පිහිටයි.

කිවු‍ලේගම උණුදිය උල්පත

අම්පාර සියඹලාණ්ඩුව මාර්ගයේ ජයන්තිපුර වැවේ වැව් කණ්ඩිය දිගේ වඩිනාගල දෙසට ගමන් කරද්දී මෙම උණුදිය උල්පත හමුවේ. මුහුදු මට්ටමේ සිට අඩි 170ක් පමණ උසින් පිහිටා ඇත. මෙහි ජලයේ සාමාන්‍ය උෂ්ණත්වය 34ඛි කි.

මහව උණුදිය උල්පත

අම්පාර ඉගිනියාගල මාර්ගයේ හමුවන සේනානායක සමුද්‍රය ඉදිකිරීමේදී මහව උණුදිය උල්පත් එහි ජලයට යට වූ බව සඳහන්වේ.

මහපැලැස්ස උණුදිය උල්පත

සූරිය වැව ප්‍රදේශයට කී.මි. 6ක් පමණ දුරින්ද නෝනාගම බස් මාර්ගයේ ලියන්ගහතොට සිට කි.මී. 5ක් පමණ දුරින්ද කැලෑබද පෙදෙසක මෙම උණුදිය උල්පත පිහිටා ඇත. මෙහි ජලයෙන් නිරතුරුවම වායු බුබුළු පිටවෙනු දැකිය හැකිය. මුහුදු මට්ටමේ සිට අඩි 100ක් උස ගල් සහිත බිමක පිහිටා ඇත. මෙහි ජලයේ උෂ්ණත්වය 44ඛි කි. දකුණු පළාතට අයත් එකම උණුදිය උල්පතයි.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල