හිරු එළිය සහ සමුදුරු සිසිල එකසේ විදගත හැකි මීගමුවේ වෙරළ උයන

views 2018-05-02 11:17:00 travel_New

ශ්‍රී ලංකාවේ සංචාරක කලාප අතරින් මීගමුවට හිමිවන්නේ මුල්තැනක්. හිරු එළිය සමඟ මුසු වූ මුහුදු සුළඟ සිත්සේ විඳගතහැකි වෙරළ තීරයක් ලෙස මීගමුවේ 'වෙරළ උද්‍යානය' දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද අවධානයටත්, ආදරයටත් ලක්වන තැනක්.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ධීවර කලාපයක් වන මීගමුවේ කොටසක් ධීවර කර්මාන්තය නිසා පිරිසිදු බවින් අඩුබවක් පැවතියද මෙම වෙරළ උද්‍යාන ප්‍රදේශය ඊට හාත්පසින්ම වෙනස් බව කිව යුතුයි.

මීගමුවේ සංචාරක හෝටල් සහ නවාතැන්පොළවල් සියගණනකින් යුතු මීගමුව සංචාරක කලාපය ඇසුරෙහි තිබීම නිසා මෙහි පිරිසිදු බව කෙරෙහි බොහෝ දෙනෙක් දැඩි සේ සැලකිලිමත් වෙනවා. අගනුවර සිට පැමිණෙන ඔබට මීගමුව පෙරියමුල්ල හන්දියේ වර්ණ ආලෝක සංඥා ළඟින් වමට හැරී පෝරුතොට පාර ඔස්සේ මෙම සුන්දර කලාපයට පහසුවෙන් පිවිසිය හැකියි.මෙහිදී කුඩා දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා විශේෂ පහසුකම් සලසා ඇති අතර ආහාර පාන ඇතුළු ඔබට අවශ්‍ය බොහෝ දේවල් ‍මිලදීගත හැකි සංචාරක වෙළඳ කුටි රැසකින් ද මෙම වෙරළ උද්‍යානය සමන්විතයි.

දහවල් කාලය කෙසේ හෝ හිමිදිරියේ හෝ සන්ධ්‍යා යාමයේදී මෙහි පිවිසෙන ඔබට නිවර්තන කලාපීය  මුහුදු වෙරළක සැබෑ සුන්දරත්වය කදිමට විදගතහැකි මෙම ඉසව්ව මුල්කොට ඇති දුටුගැමුණු පුරාවෘත්තය හා සම්බන්ධ රසවත් ජනකතාවක් ද මෙහි දී සිහිපත් කළ යුතුයි. ඒ දුටුගැමුණු කුමරු බිහිවීමට පෙර විහාර මහා දේවීයට ඇති වූ දැවැන්ත මීවදයක් වැලදීමේ දොල දුක සපීරීම සඳහා සොයාගත් මීවදය මේ ආශ්‍රිතව තිබූ බවට එදා මෙදා තුර පැවැති රසවත් ජනකතාවයි. ඒ අනුව මලින්ම මීගොමුව ලෙස හැඳින්වූ මෙය පසුව මී‍ගමුව වූ බවයි පැවසෙන්නේ.
ඊට අමතරව මීගමුවට ඉංග්‍රීසියෙන් නිගම්බු යනුවෙන් යෙදීම සම්බන්ධයෙන් එහි ධීවර ජනතාව අතර අදටත් පවතින රසවත් ප්‍රවාදයක් තිබෙනවා. ඒ කතාවට අනුව දහඅටවන සියවසේ අගභාගයේ කොළඹ යටත් කරගත් ඉංග්‍රීසි ජාතිකයින් මීගමු වෙරළට පැමිණි විට ඔවුන්ගේ හැඩරුව සහ හැසිරීම දුටු එම ප්‍රදේශයේ සුනඛයන් දිගටහරහට බුරන්නට පටන්ගෙන තිබෙනවා. ඒ ගැන තැකීමක් නොකළ ඉංග්‍රීසින් මේ පළාතට කියන නම කුමක් දැයි ඇසූ විට ඒ අසන්නේ බල්ලන් බල්ලන් බිරීමට හේතුව යැයි සිතූ මීගමු වැසියන් 'නිකම් බුරන්නේ; නිකම් බුරන්නේ'  යැයි කී බවත් ඉන් පසු එය ගමේ නම යැයි සිතූ ඉංග්‍රීසිහූ එය නිගම්බු යනුවෙන් හැඳින්වූ බවටත් රසවත් ප්‍රවාදයක් තිබෙනවා. ඒ කෙසේ හෝ සිංහල, දෙමළ , මුස්ලිම්, බොදු, කිතුණු, ඉස්ලාම්, හින්දු ආදී පිරිස් පවුල් පිටින් පැමිණ රිසිසේ විවේක සුවය විදින මෙම මීගමුවේ වෙරළ උද්‍යානය ඔබගේත් විවේකය ගත කිරීමට කදිම පාරාදීසයක් බව නොකියාම බැහැ.


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල