යාල වනෝද්යානය-රුහුණු ජාතික වනෝද්‍යානය

views 2017-11-13 10:17:00 travel_New

තෙරක්‌ නොපෙනෙන මහ මුහුදෙන්ද, සුන්දර මැණික්‌ ගගෙන් හා කුඹුක්‌කන් ඔයෙන්ද මායිම් වෙලා තියෙන  රුහුණු ජාතික වනෝද්‍යානය හෙවත් යාල වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටි වනෝද්‍යාන අතරින් අග්‍රගන්‍ය වනෝද්‍යානයක්. කොටස්‌ 5 කින් යුත් යාල වනෝද්‍යානය ප්‍රමාණයෙන් හෙක්‌ටයාර 126786 ක් වෙනවා.


ශ්‍රී ලංකාවේ පැරණිතම ජාතික වනෝද්‍යාන දෙකෙන් එකකි. යාල වානෝද්යානය (Yala National Park
)1983 පෙබරවාරි මස 25 වැනි දින මෙය ප්‍රකාශයට පත් කරනු ලැබුවා. අප රටෙහි ප්‍රකටම වනෝද්‍යානය වන්නේ ද යාලයි. එසේම දේශ දේශාන්තරවල පවා ශ්‍රී ලංකාවෙ මෙම වනෝද්‍යානය ඉතා හොදින් ප්‍රකටව පවතිනව.යාල වනාන්තරය 1900 පමණ සිට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දඩයමි බිමක් ලෙස භාවිතයට ගැණිනි.එය 1900 දි දඩයමි රක්ෂිතයක් ලෙස නමි කොට ඇත. 1908 දි මෙය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබුවා. පසුව යාල වානාන්තරය කලාප පහකට බෙදා එහි කලාප අංක එක කොටස 1938 පෙබරවාරි මස 25 වැනි දින මෙය ජාතික වනෝද්‍යානයක් බවට නීතියෙන් උසස් කරනු ලැබුවා.පසුව ඉතිරි කලාප හතර ද යාල වානෝද්‍යානයට අනුබද්ධව ප්‍රකාශයට පත්කරනු ලැබුවා. උද්‍යානය තුළ දැඩි ස්වභාවික රක්ෂිතයක් ද වෙනවා.

දකුණු හා ඌව පළාත් වලට අයත්ව හම්බන්තොට, මොණරාගල යන දිස්‌ත්‍රික්‌ක වලට මායිම්ව පිහිටා ඇති යාල ඉතා සශ්‍රික පරිසර පද්ධතියකින් හා සුවිසල් ජෛව විවිධත්වයකින් පිරි වනාන්තරයක්.

ගමන් මාර්ග 
කොළඹ රත්නපුර පැල්මඩුල්ල ඇඹිලිපිටිය නෝනාගම හම්බන්තොට වීරවිල තිස්‌සමහාරාම හරහා යාලට එන්න පුළුවන්.මේ සඳහා ද කිලෝ මීටර් 290 ක දුරක්‌ ගත වෙනවා.

කොළඹ රත්නපුර පැල්මඩුල්ල උඩවලව තණමල්විල , පන්නෙගමුව හන්දිය හරහා තිස්‌ස මහාරාමයට පැමිණ එතැනින් යාල වනෝද්‍යානයට පමිනේන්නෙත් පුළුවන්.මේ සඳහා වන දුර කිලෝමීටර් 270 ක්.

කොළඹ බලංගොඩ කල්තොට කතරගම තිස්‌සමහාරාමය හරහා යාලට පැමිණෙන්න පුළුවන්.

නුවරඑළිය සිට වැලිමඩ ඇල්ල වැල්ලවාය, තණමල්විල පන්නේගමුව හන්දිය හරහා තිස්‌සමහාරාමයට පැමිණ යාලට පැමිණෙන්න පුළුවන්. මේ සඳහා වන දුර කිලෝමීටර් 203 කි.

මහනුවර සිට මොණරාගල බිබිල බුත්තල කතරගම තිස්‌සමහාරාමය හරහා යාලට පැමිණෙන්න පුළුවන්.මේ සඳහා වන දුර කිලෝ මීටර් 213 කි.

අතීතයේදී රුහුණු රාජධානියට අයත් වූ මෙහි ජනාවාස තිබී තියෙනවා.12 වන සියවසෙන් පසු රුහුණු රාජධානිය බිඳ වැටීම නිසා මෙම පෙදෙස වන ගහනයෙන් පිරී ගියා. ඉංග්‍රීසින්ගේ පාලන සමයේදී මෙම භූමිය දඩයම් බිමක්‌ බවට පත් වුනා. යාල වනෝද්‍යානය හරහා මැණික්‌ ගඟ ගලා බසින අතර උද්‍යානය තුළ පලටුපාන වැව, තලපලා වැව, හීන් වැව බූතව වැව මහා සීලව වැව යන ප්‍රධාන වැව් පිහිටා තිබෙනවා.යාල වනෝද්‍යානයේ දැකගතහැකි පරිසර පද්ධති අතර වනාන්තරය, ජලාශ, සහ කලපු ප්‍රධාන වෙයි. වියළි කලාපීය මෝසම් වනාන්තර පද්ධතියක්‌ හිමි යාල වනෝද්‍යානයේ කටුපඳුරු ලඳු කැළෑ කඩොලාන වෙරළ බඩ ශාක හා තැනිතලා තෘණ බිම් ආදිය ද වෙයි. මැණික්‌ ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ ගංගාශ්‍රිත වැසි වනාන්තර ස්‌වභාවයක්‌ දක්‌නට ලැබෙනවා.

ශාක විශේෂ 280 ක්‌ පමණ දක්‌නට ලැබෙන මෙහි බුරුත මිල්ල, පලු දිවුල් වීර කොහොඹ කුඹුක්‌ සියඹලා හල්මිල්ල රණවරා යනාදී ශාක රාශියක්‌ වෙනවා.

ඉතා ඉහළ සත්ත්ව විවිධත්වයක්‌ දක්‌නට ලැබෙන යාල වනෝද්‍යානයේ ක්‌ෂිරපායි සත්ත්ව විශේෂ 42 ක්‌ වාර්තා වෙනවා. මෙයින් කොටියා, වලහා, ගෝනා, තිත්මුවා වල් මීහරක්‌, උණ හපුළුවා, නරියා, මීමින්නා වල් ඌරා, මෙන්ම රිලවා, මුගටියා වැනි සත්ත්ව විශේෂ ගණනාවක්‌ දක්‌නට ලැබෙනවා. වනෝද්‍යානය ආශ්‍රිත මුහුදු තීරයේ තල්මසුන් විශේෂ කීපයක්‌ ද වාර්තා වෙනවා.

වනෝද්‍යානය තුළින් වාර්තාවන පක්‌ෂි විශේෂ ගණන 282 කි. මෙම පක්‌ෂීන් අතර පක්‌ෂි විශේෂ 07 ක්‌ ශ්‍රී ලංකාවට ආවේනිකයි. හබන් කුකුළා වලි කුකුළා ගිරා මලිත්තා වන රතු මල් කොහා අළු කෑදැත්තා මල් කොට්‌ටෝරුවා මොනරා පක්‌ෂීන් අතර ප්‍රධාන තැනක්‌ ගන්නවා. ශ්‍රී ලංකාවෙන් හමුවන ඉතාමත් දුර්ලභ පක්‌ෂියකු වන බුතව කලපු ප්‍රදේශයේ පමණක්‌ දැකිය හැකි ශ්‍රී ලංකාවේ උසම පක්‌ෂියා වන අලි මානාවා වගේම ශ්‍රී ලංකාවේ විශාලම පක්‌ෂියා වන බහුරු මානාවා ද සංචාරක පක්‌ෂීන් වන සියක්‌කාරයින් කුඩා මුහුදු ළිහිණියන්, කහ හැලපෙන්දා අවිච්චියා වැනි පක්‌ෂි විශේෂ 90 ක්‌ පමණ යාල වනෝද්‍යානය තුළින් දැකගත ගන්න පුළුවන්.

උරග විශේෂ 48 ක්‌ පමණ වාර්තාවන යාල වනෝද්‍යානයේ යක්‌ හූනා, හුඹස්‌ හූනා ,පිනුම් කටුස්‌සා ,පොදු සිකනලා, කොට පිඹුරා මුදු කරවලා වැනි උරගයන් අතර පිඹුරු දත් , පොළොං විශේෂ ගණනාවක්‌ ද වාර්තාවෙනවා.
කළපු හා ජලාශ ආශ්‍රිතව ඉබ්බන් විශේෂ 03 ක්‌ මෙන්ම මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ කැස්‌බෑ විශේෂ 05 ක්‌ වාර්තාවෙනවා.

සමනල විශේෂ 40 ක්‌ පමණ යාල වනෝද්‍යානයෙන් වාර්තාවන අතර සමනල් විශේෂ රාශියක්‌ දැක ගන්න පුළුවන්.



සංචාරක පහසුකම් 
දෙස්‌ විදෙස්‌ සංචාරකයින් අතර වඩාත් ප්‍රචලිත වූ යාල වනෝද්‍යානය පසුගිය වසර 30 ක්‌ පුරා පැවති යුධ වාතාවරණය නිසා අඩු වී ගියා.දැන් එවන් පසුබිමක්‌ දැන් ක්‍රියාත්මක නොවන නිසා උදෑසන 6 සිට සවස 4 දක්‌වා වූ කාලය තුළ යාල වනෝද්‍යානය තුළ සංචාරය කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය අවසර පත් උද්‍යානයේ ප්‍රධාන දොරටුවෙන් ලබාගන්න පුළුවන්.
වැඩි විස්‌තර අවශ්‍ය නම් මාලඹේ නුවර පාරේ පිහිටි වනජීවි සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් 011-2560380 යන දුරකථන අංකයෙන් හෝ ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාලයෙන් 047-2237545, සහ 047-2237332 විමසා දැනගත හැකියි. යාල වනෝද්‍යානයට එන දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයක්‌ හා උඩවලව ජාතික වනෝද්‍යානයත් නැරඹිය හැකි අතර එම ජාතික වනෝද්‍යාන දෙකේ ඇති සංචාරක නිවස ප්‍රයෝජනයට ගත හැකි බවද මෙහි සඳහන් කළ යුතුයි.

වනජීවි කලාපයකට ඇතුළු විමේදී ඊට පෙර ඒ පිළිබඳව දැනුවත්ව සිටීම අත්‍යවශ්‍යය පරිසරය දූෂණය කරන ප්ලාස්‌ටික්‌ පොළිතින් වැනි ද්‍රව්‍ය මෙන්ම ගිනිගන්නා ද්‍රව්‍ය සිගරට්‌ කොට වැනි දේ වනෝද්‍යානය තුළ ඉවත දැමීම නොකළ යුතුය.

සතුන්ට ලංවීම අනතුරුදායක බැවින් කල්පනාකාරි වෙන්න ඕන.

පක්‌ෂින් මෙන්ම වෙනත් සතුන් නැරඹීම සඳහා දෙනෙතියක්‌  භාවිත කිරීම වඩාත් සුදුසුයි.

සතුන්ගේ චර්යාවන් හරිහැටි බලා ගැනීමට නිහඬව සංචාරය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. වාහනවල නලා නාද කිරීම නොකළ යුතු දෙයක්. සතුන් දුටු විට කෑ ගැසීම අනවශ්‍ය කරදර පටලවා ගැනීමක්. මාර්ගෝපදේශකයකු විසින් දෙන උපදෙස්‌ පිළිපැදීම හා ඔහුගෙන් දැනුවත් වීම කළ යුතුම දෙයක්.

ගස්‌වල අතු කැඩීම, පැළ උදුරා ගැනීම වැනි පරිසර හානිකර දේ නොකිරීමට වග බලා ගන්න ඕන. එය දඬුවම් ලැබිය හැකි වරදක්.
පොළව මත හැම දෙයක්‌ම නෑකමින් එකිනෙක හා බැඳී පවතිනවා.. අපි දෙපා තබා සිටින්නේ අපේ මුතුන්මිත්තන්ගේ භෂ්මාවශේෂ මත කියල ඔබේ දරුවන්ට වටහා දෙන්න. මේ පොළව සාරවත් වී ඇත්තේ එයින් බව ද ඔවුන්ට වටහා දෙන්න. අපි ජීවත් වෙන මිහිතලය අපේ මාතාව බවත් මිනිසා මහ පොළවට කෙල ගැසුවහොත් ඔවුන් කෙල ගසන්නේ තමන්ටම බව ඔබේ දූ දරුවන්ට කියා දෙන්න. අප දන්නා එකම දෙය නම් මේ මහ පොළව මිනිසාට අයිති නැති බවයි. ඒත් මිනිසා මහ පොළවට අයිතිය. මේ සියල්ල එකට බැඳී ඇති දැල මිනිසා විසින් වියන ලද්දක්‌ නොවේ. ඔහු එහි නූල්පටක්‌ විතරයි .

උපුටා ගැනීම : sinhalamag.com


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල