අවතාර ගැලපෙන කළපුවේ දවසක්

views 2017-11-10 11:16:00 travel_New

හිරුගෙ රුස් වලාකුළු මත පරාවර්තනය වී වලාකුළු අග්ගිස්ස රිදී පාට රේන්දවලින් දිලිසුන ඒ උදෑසන අපි හිටියෙ ඔරුවක. අපි ඔරුවට නැගුණේ කලපු යාත්‍රාවක යාත්‍රා අත්දැකීම විඳගන්න. රාත්‍රියේ THANGALLA VILLA LANGOON හි ගත කළ අපි එදා උදේම තංගල්ල මුහුදෙන් නාලා ඊළඟට ආවේ මැඩිල්ල කළපුවට. පැය දෙකකටත් වැඩි කාලයක් අපි හෙමින් සීරුවේ හබල් ගගා කළපු දියත් එක්ක හරඹ කරන ඔරුවෙ නැගලා මඩිල්ල කළපුවේ වටේ අපේ යාත්‍රාව පටන් ගත්තා. walk 111 එක්ක අද අපි ඔයාව එක්ක යන්නෙ ඔරුවෙන් කලපු යාත්‍රාවක්...

උදේ 6.00 වෙද්දී ආවොත් හිතේ හැටියට කුරුල්ලන් බලන්න පුළුවන් කීව නිසා අපි උදේම ආවා මැඩිල්ල කළපුව ඉස්මත්තට. අපිට කලපු දියේ යාත්‍රා කරන්න ඔරුව දුන්නෙ ප්‍රදීප්. ඔරුවෙන් කලපු යාත්‍රාවට අකමැති කෙනෙක් ඉන්නවනම් කයැක් වර්ගයේ බෝට්ටු වුණත් තියෙනවා. Single, Double, Family මේ ඕනෑම කයැක් වර්ගයේ කයැක් එකක් ඔයාට වෙන්කරගන්න පුළුවන්. අපිට ඕන වුණේ ඔරුවෙන් යන්න නිසා අපි අපේ ගමන ඔරුවෙන් පටන් ගත්තා.

මැඩිල්ල කළපුව දිගේ රුකව කළපුව තෙක් යන්න පුළුවන්. මැඩිල්ල කළපුවේ ඉඳන් රුකව කළපුවට තියෙන්නෙ කිලෝමීටර් හයක විතර දුරක්. මැඩිල්ල කළපුවේ ඉඳන් රුකව බලා යද්දී එක තැනක ගල් බැම්මක් දාලා පාරක් හදලා තිබුණත් එතැනින් ඔරුව හරි බෝට්ටුව හරි එගොඩ කර ගත්තම රුකවට යන්න පුළුවන් පැය එකහමාරක විතර කාලයකින්. කළපුව අවට සාරෙට වැරණිය, හීන් කඩොල්, මහ කඩොල්, තිල්ලන්, මඩ වැනි ශාඛ වර්ග වැවී තියෙනවා. මේ අතරින් තිල්ලන් කියන්නේ හරිම භයානක නපුරෙක්. තිල්ලන් කිරි ඇස්වලට වැටුණොත් ඇස් අන්ධ වෙන්න වුණත් පුළුවන්. මූණේ කිරි ටිකක් නැත්නම් නිකම් කොළ ටිකක් ගෑ වුණත් මුළු මුණෙම විස බිබිලි නගින්න පුළුවන් කියලා තමා තිල්ලන් ගැන දන්න උදවිය නම් කියන්නේ.

ඒ වගේම තිලාපියා, උගුඩුවා, ගොඩයා, වේක්කයෝ පැටවු අදටත් හිටු කියලා මෙහි උන්නත් පරව් වගේ ඉස්සර හිටපු මාළු විශේෂ බොහොමයක් දැන් මෙහි නෑ. ඒත් අපි නම කියන්න දන්නෙ නැති රිදී පාට පුංචිම පුංචි මාළුන් විශේෂයක් අපි කළපුව දිගේ යද්දී කැලතෙන දිය රුල්ලක් රුල්ලක් ගානේ මුතු ඇට අහුරක් වගේ වතුර යටින් මතු වෙවී උඩ පැන්නා. උදේ 6.45 වගේ වෙද්දී නැත්නම් හවස 6.30 වගේ වෙද්දී මේ කළපු තීරය කුරුලු පාරාදීසයක්. අතු පතර විදාහළ කොළපාට ගස් හරියට සුදු සළුවකින් වැහුවා වගේ ගස වසාගෙන කොක්කු ලගිනවා. 

දියකාවන් විශේෂ තුනක්, කිරල විශේෂ, උකුස්සන් විශේෂ වගේම පිළිහුඩු පවුලේ ලොකුම පිළිහුඩුවා හොට දිග ලස්සන හැඩකාරයා ඇතුළු තවත් කුරුලු විශේෂ ගණනාවක් ඔයාට මැඩිල්ල කළපුවේ සංචාරයක යෙදුනොත් දැක බලාගන්න පුළුවන්. ඒ වගේම උදේ එළිය වැටෙන වෙලාවට මොණරු වගේම වලි කුකුලොත් කලපුවේ සිරි අසිරි බලන්න එනවා. ආඩම්බරකාර මොණරාගේ දිලිසෙන ලස්සන නම් බලන්න ආසයි. සොබාදහමේ කවර දෙවඟන ඒ ආඩම්බරකාර කුරුල්ලා වෙනුවෙන් එච්චර නීල පච්ච පැහැසර පිල් කළඹක් නිමෙව්වද හිතෙනවා. දඬුලේනෝ වගේම වඳුරොත් මේ කලපු බිමේ පාරම්පරික පදිංචිකාරයෝ. හරක් රූන් පිටින් එගොඩ මෙගොඩ යන්නෙ කළපු දියේ බැහැගෙනමයි. කළපුවේ ගැඹුරුම තැන අඩි හයක් විතර වෙනවා. අනිත් තැන් අඩි තුන හතරකට වඩා ගැඹුරු නෑ. 

උදේම කබරයොත් එළි පහළියට එනවා. කබරයෝ හතළිහක් පනහක් විතර මේ කලපුවේ ඉන්නවා. ඒත් ඇඟ ගොරෝසු වුණාට උන්ගෙ හිත් එච්චර ගොරෝසු නැති පාටයි. අව්ව පොඩ්ඩක් සැරවෙන්න පටන් ගත්ත ගමන් කබරයෝ සිහිලස හොයාගෙන ගස් අස්සට ඇදෙනවා. ඒ වගේම කබරයා අලි කම්මැලියා. හවසට නින්ද හොයන නිදිකුම්බරයා. උදේට එළියට ඇදුනා. දවල්ට ගස් අස්සෙ රිංගුවා. හවසට බතලයා වගේ නිදාගත්තා. අපි යන වෙලාවෙ නම් කළපුවේ පුංචි දූපත් වගේ සැදී තිබුණ හැම ඉසව්වකම වගේ මේ කබරයෝ වැතිරිලා හිටියා. මැඩිල්ල කලපුවේ කිඹුලන් නෑ කියලා තමා කියන්නේ. ගංවතුරට කිඹුලන් ගසාගෙන ආවත් නොගැඹුරු කලපුව උන්ගෙ වාසයට හරියන්නෙ නැති නිසා උන් කළපුව අත්හැරලා යනවලු. 

තනියෙන් බෝට්ටුවේ නැගලා කළපුව වටේ යද්දී හිටපු ගමන් සුද්දියෝ බෝට්ටුව පෙරළගෙන තිබුණත් ඒ කාටවත් කිඹුල් නපුරන්ගෙන් කරදරයක් වෙලත් නෑලු. ඒ කියන්නේ අහල මායිමකවත් කිඹුලන් නෑලු. අනිත් එක හවස 6.30න් පස්සෙ සංචාරකයන් කළපු දියේ එක්ක යන්නෙත් නෑ. තනියෙන් ගිය සංචාරකයෙක් හවස 6.30වෙද්දී නාවොත් වුණේ මොකද බලන්නත් බෝට්ටු අයිතිකාරයෝ යනවලු. 

courtesy : saaravita.lk


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල