අපි යමු අහස් ග‍ඟේ හුලං කපොල්ලට තේ යායක් මැදින් 

views 2017-09-25 10:57:00 travel_New

ආයුබෝවන් කිව්වා කට්ටියටම. කොහොමද සැප? සනීප?
අද අපි යන්න ලෑස්තිය “ලිප්ටන් සීට්” බලන්න. තවත් විදිහකින් කියනවනම් ලංකාවෙන් රට පටවන, සුද්දෝ එලව එලව හොය හොය බොන, ඉතාමත්ම රසවත් සුපිරි ගනයේ තද කළු තේ (black tea) නිෂ්පාදනය කරන ලංකාවේ හොඳම තේ වත්ත මැදින් ගොඩාක් උඩකට යන්න. එතන තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ නැරඹුම් ස්ථානයක් එහෙම නැත්නම් විව් පොයින්ට් (view point) එකක් එහෙමත් නැත්නම් පිල්කිංටන් පොයින්ට් (pilkington point) එකක්. ඒතන නම ලිප්ටන් සීට්. ලිප්ටන් කිව්වම කාටත් කොහොමත් මතක් වෙන්නේ තේ නේ. :)

මේ වතාවේ අපි හිතුවා ටිකක් උදෙන්ම ගමන යන්න. එක දවසේ ගමනක් වුනාට දුරත් වැඩියි. කිලෝ මීටර් 20කට වැඩිය මං හිතන්නේ එක දිගටම කන්ද. කොහොමත් අපි උදේ 9ට විතර බ්ලොගීල‍ගේ ගෙදරින් ගමන ආරම්භ කලා. බණ්ඩාරවෙල ස්ටේෂන් එකට උඩ පූනාගල පාරේ ටික දුරක් ඇවිල්ලා නායබැද්ද වත්ත පැත්තට හැරුණා. නායබැද්ද ෆැක්ටරි එකේ ගේට්ටුවෙන් ටිකට් එකකුත් ගන්න වෙනවා යන අයට. රුපියල් 50කට. ෆැක්ටරිය මැදින් කන්ද මුදුනට තමයි අපේ පාර තියෙන්නේ.

අපි ඉක්මනටම පාරවල් දෙක බෙදෙන තැනට ආවා. ඒතකියන්නේ නායබැද්ද කන්දේ ටවර්ස් වලටයි ලිප්ටන් සීට් එකටයි. අපරාදේ කියන්න බෑ අදත් මීදුම පිරිලා. සීතලේ බෑ. පුංචි බයකට තිබ්බේ ෆොටෝ කෑල්ලක් පැහැදිලිව ගන්න බැරිවෙයිදෝ කියන එක විතරයි. මෙදා පාර අපි ණයට සංඛ්යාංක කැමරාවකුත් යාලුවෙක්ගෙන් ඉල්ල ගත්තා.

මේ කියන තැනින් දකුණට හැරුණම අපි එක කන්දකින් තව කන්දකට මාරු වෙනවා. තව විදිහකින් කියනවානම් එත තේ ජාතියකින් තව තේ ජාතියකට මාරුවෙනවා. ඒ කියන්නේ නායබැද්ද වත්තෙන් දඹේතැන්න වත්තට.

දඹේතැන්න වත්ත ඇත්තටම ලස්සනයි. වෙලාවකට හිතෙනවා මේ ලංකාවද කියලා. ඒ තරම්ම ලස්සනට පිළිවෙලට ඒ වත්ත මේන්ටේන් කරනවා. කුණු ඩිංගක්වත් එහෙ මෙහෙ විසිකරලා නෑ. එහෙම නැතුව කොලිට් එක තියාගන්න බෑනේ. අනික මතකනේ මෙහේ මිනිස්සු පරිසරේට හරිම ආදරෙයි. ඒ මිනිස්සු ඉපදෙන්නේ මේ මීදුම මැ‍ද්දේ. පුංචිකාලේ සෙල්ලං කරන්නේ මේ මේ මීදුමකත් එක්ක තේ වතු මැද්දේ. රස්සාව‍ට කරන්නෙත් තේ ගස් එක්ක ඔට්ටු වෙන එක. මැරිලා යන්නෙත් මීදුම් හීතලේ. ඒකයි උන් මේවට එච්චර ආදරේ.

මේ තමයි අපි යන පාරට ඈත පේන හැටි.

විනාඩි දෙකයි එකදිගට. මෙන්න අපි දැන් දඹේතැන්න වත්තට පිවිසුනා.

මේ හරියෙන් තමයි වත්ත පටන් ගන්නේ. මේ වත්ත හරිම විශාලයි. ඩිවිෂන්ස් කිහිපයක්ම තියෙනවා. අපේ පාර දැන් දිග ඇරෙන්නේ බණ්ඩාරඑළිය ඩිවිෂන් එක දිහාවට. මේ හරිය වෙලාවකට ලොකු සානුවක් වගේ පේනවා. තවත් වෙලාවකට නිම්නයක් වගේ. මීදුම එක එක පැත්තට පෙරළි පෙරළි අපිව පිස්සු වට්වනවා. ස්වභාවධර්මයේ අපූරුතම චමත්කාරයන් අපි ඉස්සරහා මවනවා.

මේ බලන්න අපි යන පාරෙන් පහල පැත්තේ හපුතලේ පැත්තට වෙන්න තියෙන බෑවුම. එක දිගටම තේ යාය. පහල හරියේ ගමකුත් තව ෆැක්ටරි එකකුත් පේනවා නේද? අපිට පේනවා හරිනම් ඒතමයි දඹේතැන්න වත්තේ නැවුම් තේ දළු වලින් බ්ලැක් ටී හදාගන්න ෆැක්ටරිය.

මොනා පෙන්නන්නද? කිසි දෙයක් හරියට පේන්නේ නෑ. මීදුම…

පේන දේකට කියල තියෙන්නේ බෝඩ් ලෑල්ල විතරයි. එතනින් එහා මීදුම කොයි වෙලේ හරි අයින් වෙනකල් ඉන්න වෙනවා ඔයාලට මෙතන සුන්දරත්වය පෙන්නන්න. නැත්තං ආපු එකෙනුත් පලක් නෑ.

ටික ටික ඒ හරියේ මීදුම අඩු වෙන්න වුනා. එතකොට තමයි අපි දැක්කේ ටිකට් කඩන මනුස්සයෙක් එතන ඉන්න බව. රුපියල් 50ක් දුන්නට පාඩු නෑ. ලෝකේ කොහේද රුපියල් පනහනකට මෙච්චර සුන්දරත්වයක් අත්විඳින්න දෙන්නේ. මම ටිකට් එක ගන්න අතරේ අංකල් එකක් පොඩි චැට් එකකුත් දැම්මා. බ්ලොගී ඒ අතරේ පොටෝ දෙක තුනක් ගැහුවා.

ඒ අංකල් අපිට වට පිටාවේ පේන දේවල් ගැනත් ගොඩක් දේ කියලා දුන්නා. දොලහට ඩියුටි ඕෆ් වෙන නිසා මනුස්සයා යන්න ගියාට මම උපරිම ප්‍රයෝජන අරගෙන හැම දේම අහගත්තා.

මෙතනට ලංකාවේ නොපෙනෙන කෙලවරක් නෑ. එක පැත්තකින් බදුල්ල බණ්ඩාරවෙල දියතලාව පැත්ත. ඊට එහායින් පස්සර යි නමුණුකුළ කඳු පන්තියයි. තවත් පැත්තකින් නුවරඑළිය, කොටින්ම කියනවා නම් නුවරඑළිය ටවුන් එක, රේස් කෝස් එක පවා පේනවා. අනිත් පැත්තෙන් වැල්ලවාය තණමල්විල ඇඹිලිපිටිය හරහා හම්බන්තොටට යනකම්ම පේනවා. චන්ද්‍රිකා වැව ගජරාමෙට පේනවා. උඩවලව අභය භූමිය තියෙන හරිය, එතනින් එහා ඈත කෙලවරේ ක්ෂිතිජය වෙනකං පේනවා. හම්බන්තොටින් එහා මුහුදත් පේනවා ඇති. ඒත් පැහැදිලි නෑ. ඇයි තව පැත්තකින් ලංකාවේ උසම කන්ද පිදුරුතලාගල, ශ්‍රීපාදය (සමනල කන්ද) මේ හැමදේම පේනවා. කඳු නිසා ඒ මායිමෙන් එහා නොපෙනෙන හන්දා මිසක මෙතනට නොපෙනෙන ඉමක් නෑ. ඒකයි මෙතනට පිල්කිංටන් පොයින්ට් එකක් කියන්නේ. එහෙම නැත්නම් විව් පොයින්ට් එකක් කියලත් කියනවා. එච්චරකට බලන්න දේවල් මෙතන තියනවා. ලංකාවේ සංචාරකයෝ එනවා අඩුයි මෙතනට. වැඩි හරියක් පිටරැටියෝ ඇවිත් මේ සුන්දරත්වය විඳගෙන යනවා.

මේ දැනුත් එක්කෙනෙක් ආවා. මගේ වයසේ වගේ සුද්දා බෝයි කෙනෙක්. තව අපේ උන් දෙන්නෙක් තමයි ගයිඩ් කරලා තියෙන්නේ. කොල්ලගේ කකුල් දෙකම අප්සට්. ඇවිදින්නෙත් හරිම අමුතුවට. ඩිෆරන්ට්ලි ඒබල්ඩ් කෙනෙක්. මම කරේ මෙතනට ආපු ගමන් මේ ලස්සන දැක්කගමන් හතර අතේ පොටෝ ගහපු එක. ඒත් ඒ කොල්ලා කරේ අයිනේ ගාඩි ගලක වාඩිවෙලා පොතක් කියවන්න ගත්ත එක :) සුද්දෝ ගන්නේ මාර ආතල්. අම්මපා අපිට එහෙම දෙයක් කරන්න හිතුනේ නෑනේ. පොත පොත කියවද්දී මායි බ්ලොගීයි එයා දිහා බලන් හිටියා. විනාඩි 15යි. එයා යන්න ගියා.

මෙන්න ටිකක් මීදුම අඩු වුනාම ලිප්ටන් සීට් එක පේන හැටි, ඊටත් ටිකක් උස අට්ටාලයක ඉඳලා. මේ අට්ටාලය ගැන පස්සේ කියන්නම්. ඉස්සෙල්ලා පිංතූර ටික බලලාම ඉමු.

ඔය සුදුපාට බැම්මකින් වට කරලා තියෙන හරිය තමයි ලිප්ටන් සීට් කියන්නේ. වම් පැත්තෙන් පහල තනිකර පාතාලේ. ඒ තියන්නේත් තේ වතු. දකුණු පැත්තේ එක දිගට තේ යාය. හැබැයි එච්චර පාතාලයක් නෑ. ඊට අමතරම මේක නියම හුලං කපොල්ලක්. සරුංගලයක් වුනත් යවතෑකි හම්බංතොට දිහාට. තව පිංතූර ගන්න දැම්ම විදිහක් නෑ. ඒ නිසා මීදුම අඩුවෙනකං මං මෙතන ඉතිහාසේ කෙටියෙන් කියන්නංකෝ. කට්ටිය එහෙනං හරිබරි ගැහිලා වාඩි වෙන්නකෝ ඔය කැරකෙන පුටුවේ 😉

මෙතන හරියටම කියනවා නම් මුහුදුමට්ටමේ ඉඳලා මීටර් එක්දාස් නමසිය හැත්තෑවක් (1970m) උසයි. ඒකයි මෙතනට අර කලින් කියපු හැමදේම බොහෝම ලස්සනට පේන්නේ. ඉතිහාසේ ගොඩනැගෙන්නේ මෙන්න මේ විදිහට. ස්කොට්ලන්ත ඉංග්‍රීසි ජාතික තෝමස් ජේ. ලිප්ටන් (Sir Thomas J. Lipton) කියන සුදු ජාතිකයා ඉතිහාසගත සංචාරයක් තේ ඉතිහාසපොතේ ලකුණු කරමින් ලංකාවට ආවේ තේ බිස්නස් එකට අතගහන්න. දන්නවනේ ඉතිං සුද්දෝමනේ මේවැයේ මුල් නිර්මාතෘවරු. එතුමා ඕස්ට්‍රේලියාව හරහා ලංකාවට ආවේ එක්දාස් අටසිය අනූවේ (1890). ඒ කියන්නේ වයස අවුරුදු හතලිහේදී. ඒ ආවට පස්සේ ඌව පළාත පැතතට යන්න තමයි එතුමට ඕන වුනේ. එතුමා ඌවට ආවෙත් මුළු ලෝකෙම දන්න ලස්සනම සුන්දරතම පාරක. ඒ තමයි නොයේක් ආකාරයේ දේශගුණික කලාප කිහිපයක්ම පසුකරමින් බදුල්ල වෙනකං දුවන උඩරට දුම්රිය මාර්ගය. උඩරට කෝච්චි පාර කොච්චර ලස්සනද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ ගැන අපි වෙනම චාරිකාවකින් කියන්නං දවසක.

කොච්චියෙන් ඌවට ආපු ලිප්ටන් මහත්තයා ඌවේ ස්වභාවසෞන්දර්යය දැකලා පරිසරයට වශී වුනා. ඌවේ ලස්සන බලන්න නම් බස් එකේ ඇවිත් වැඩක් නෑ. කෝච්චියේම එන්න ඕන. ඒකත් තැන තැන බැහැ බැහැ එන්න තියෙනවා නම් අගෙයි. ඉතිං මේ ලස්සන බල බල ආපු ගමනෙදි මේ ලස්සන කඳු පංති, මීදුම ගලපු කඳු මුදුන් එතුමට මේ කඳු යාය තමන්ගේ කරගන්න අනුබල දුන්නා. ඒ අනුව එතුමා එක පයින්ම දඹේතැන්න තමන්ගේ කරගත්තා. මිලදී ගත්තා. වැඩ පටන් ගත්තා. වත්තේ ඉතිහාසේ සඳහන් වෙන විදිහට දඹේතැන්න තේ ෆැක්ටරියේ කුළුදුල්ම තේ දල්ල ඇඹරලා තියෙන්නේති ලිප්ටන් මහත්තයා යටතේ. සෙල්ලං නෑ, මේ ෆැක්ටේරිය තියෙන්නෙත් මුහුදු මට්ටමෙන් මීටර් එක්දාස් පන්සිය හැ‍ට හයක් උසින් :-0 අනිත් කාරනේ මේ ෆැක්ටේරිය තමයි ලෝකෙම ප්‍රසිද්ධ “උසස්ම තත්ත්වයේ ඌවේ පුංච් තේ කොලේ කළු තේ” (Uva high grown small leaf black tea of high quality) නිෂ්පාදකයා හැටියට. ලිප්ටන් මහත්තයා දස්සයා. එතුමගේ ගේම් එක තමයි මේතරං හොඳට නැගලා ගියේ. බලන්නකෝ එයාගේ පිංතූරයක්. මේ පිංතූරේ නම් හොයා ගත්තේ ඉන්‍ටර්නෙට් එකේ එතුමා ගැන තිබ්බ සටහනක. ඡායාරූපය කවුරුන් විසින් ගත්තු එකක්ද කියලා නම් තිබ්බේ නෑ. හැබැයි මං නෙමෙයි ඕං ගත්තේ.

කොහොමද? හැන්ඩි නේද? නියම වැඩකාරයා. මුලු ලෝකෙම මෙතුමා‍ව ආමන්ත්‍රණයකරේ සර් ටී (Sir Tea) කියලා.

එතකොට මෙතන කොහොමද ලිප්ටන් සීට් වුනේ? මතකයිනේ මෙතන මුහුදු මට්ටමේ ඉඳන් මීටර් එක්දාස් නමසිය හැත්තෑවක් උසයි. අනික වතුයායේ හරි මැද වගේ. අනිත් ඔක්කොම මීට පහලින් තිබ්බේ. කන්දේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තේ ෆැක්ටරියට තේ දළු ගෙනියන එක සෙල්ලං වැඩක් නෙමෙයි. අද තරං හොඳ පාරවල් නෑ. දළු ටැක්ටර් නෑ. කන්දේ එක පැත්තක පල්ලමේ ඉඳන් උඩට ඇදපු කේබල් (කම්බි) වලින් තමයි දළු ගෝනි උ‍ ඩට ගෙනාවේ. ඊට පස්සේ ඒ වාගේම කම්බියකින් කන්දේ අනිත් පැත්තේ උසින් මීටර් හාරසීයක් විතර පල්ලමේ තියෙන ෆැක්ටරියට දළු ගෝනි ගෙනිච්චා. බලන්න කොච්චර සාර්ථක ක්‍රමයක්ද? ඒ මදිවට මෙතනට වතුයායේ හැම කොනක්ම හරියටම පේන නිසා වත්තේ පුරාජේරුව එක තැනකට වෙලා නරඹන්න අයිතිකාරයාට පුළුවන් වුනා. ලිප්ටන් මහත්තයත් ඔය වැඩේට පුරුදුවෙලා හිටියා. ඒ නිසයි මෙතනට ලිප්ටන් සීට් කියලා කියන්නේ. අපේ ලාංකිකයෝ වැඩිය නොදන්නවා වුනාට මෙතන ලොකප්‍රසිද්ධ විව් පොයින්ට් එකක්. දැනට මේ වතුයායේ වසරකට උසස්ම තත්ත්වයේ කළු තේ කිලෝ මිලියන 1.3 ක් පමණ නිපදවනවා. “බණ්ඩාරඑළිය” කියන වෙළඳ ලකුන යටතේ තමයි ඒක මාකට් කරන්නේ. අපි නොදන්නවා වුනාට එක්ස්පෝට් මාකට් එකේ මාර ඩිමාන්ඩ්. ආ… අනිත් එක. දැනට මේ වතු යාය කරන්නේ ලංකෙම් ලගේ තේ සහ රබර් වැවිලි සමාගම මගින්. (Lankem Tea and Rubber Plantations Ltd). ඔන්න ඕකයි ඉතිහාසය. හප්පේ මටත් සෑහෙන්න මහන්සියි. (තොරතුරු අර අංකල්ගෙන් සහ අහලපහල තිබ්බ දැන්වීම් වලින් සහ මං දැනං හිටපු දේවල් වලින්)

පෝස්ට් එකත් සෑහෙන්න දිගයි. අනේ මන්දා කියන්න ගියාම ඔක්කෝම කියන්නත් ඕන. කොහොම හරි අපේ කට්ටියව කවදාහරි මේවා බලන්න ගෙන්න ගන්න එපැයි. 😉
හරි… මීදුම ටිකක් අඩුයි… අපි යමු ටිකක් අට්ටාලේ පැත්තට. අට්ටාලේ? ඒ මොකද්ද?

ආ… එක තමයි නැරඹුම් මැදිරිය. හැමදේම හරිම ලස්සනට පේනවා…

ඔය පළවැනි පිංතූරේ තියෙන්නේ මං කිව්ව අට්ටාලය. ඒක තට්ටු දෙකයි. යට කොටසේ බංකු දෙකක් තියෙනවා. උඩ නං මුකුත් නැති එකම තමා හොඳ. ඒ අට්ටාලෙට ටිකක් පහලින් පොඩි මඩුවක් තියෙනවා වැස්සක් හෙම ආවොත් ගොඩ වෙන්න. එහෙනං නගිමු අට්ටාලෙට. නැග්ගා වගේ නෙමෙයි. ඕකෙන් බ්ලොගියව බස්සගන්න තිබ්බ අමාරුව 😉

මේ අට්ටාලේ උඩ… මාර හුලඟක් තියෙන්නේ. මේක හුලං කපොල්ලක්නේ…

මෙතනට පේන දර්ශන ටික වචනයෙන් විස්තර කරන්න මට තේරෙන්නේ නෑ. ඒ තරම්ම ලස්සනයි. ඉස්තරම්. හැබැයි අපිට විනාඩි 45ක් විතර බලන් ඉන්න වුනා මීදුම අයින් වෙනකං. මීදුම එක්ක ගහපු පොටෝ දාලා වැඩක් නෑ. අපිව විතරයි පේන්නේ. පරිසරය සුදුපාට විතරයි. ඒනිසා මීදුම අයින් වෙනකං අපි ගෙනාපු කෑම වලින් සප්පායම් වුනා. මහ ලොකු දෙයක් නෑ. ඔය නිකං, ක්‍රීම් බනිස් ජෝඩුවයි, එග් බන් දෙකයි, සීනිසම්බල් බන් දෙකයි, රෝල් දෙකයි, සේවරි නට්ස් පැකට් එකයි, ඇපල් සෝඩා එකයි, වතුර එකයි විතරමයි :-0 ඔය වතුර එකත් අපේ මේ පලාතෙම හදන එකක්… ඕසෝන්… ආ… බ්ලොගී කියන්නම කිව්වා ඔය දකුණුපැත්තේ තියෙන සපතුතු දෙක ඔරිජිනල් කැන්වස් කියලා 😉
කෑම සුවඳටද මන්දා කොහේදෝ ඉඳන් ආපු කාක්කෙක් අපිට තර්ජනයක් වුනේ මේ වෙලාවෙදි. මූ යන්නෙම නෑ එලෙව්වට. පස්සේ අපි උගේත් පොටෝ කෑල්ලක් ගත්තා.

කාක්කා සහ ඇපල් සෝඩා නම් ඡායාරූපය තමයි මේක.

පොටෝ එක බ්ලොග් එකේ දායි කියලා දැන ගෙනද කොහේද ඌ එසැනින් යන්න ගියා.

ආ… දැන් නම් ටිකක් පැහැදිලියි… මෙන්න මේ අට්ටාලයට පේන දර්ශන…

මේ නායබැද්ද කන්දේ එක් කෙලවරක්. තනි ටවර් එකක්…

මේ එහිම අනික් කෙලවර. එතන ටවර් කිහිපයක්ම තියෙනවා…

ලාවට මීදුමත් ගලලා තියෙනවා. ඒත් පහල තේ යාය සෑහෙන්න ලස්සනට පේනවා…

පහල පිංතූරේ හොඳට බැලුවොත් පෙනේවී. ලා නිල් පාටට පේන්නේ චන්ද්‍රිකා වැව.

දැන් එක පැත්තක් සෑහෙන්න හොඳයි පැහැදිලියි.


මෙතනට වෙලා ටිකක් බලං හිටියනං ලංකාවේ කාළගුණ වාර්ථාව දෙන්න පුළුවන් තිතටම. කොහේටද වහින්නේ, කොහේටද පායන්නේ කියලා. මේ දැං අප් ඩේ‍ට් එකක් දුන්නොත්, මේ වෙලාව බණ්‍ඩාරවෙලින් එහා බදුල්ලට හොඳටෝම වහිනවා. ඒ වගේම හම්බන්තොටට පැලෙන්න පායනවා. නුවරඑළිය පැත්තට වැසේසේ නැතත් අහස වලාකුලින් බරයි. රාත්‍රී කාලයේ මඳ වැසි බලා පොරොත්තු විය හැකියි 😉
බලන් ඉන්දෙද්දී මීදුමෙන් පරිසරය වැහෙන හැටි හරි අපූරුයි. වට පිටාවේ පැනොරාමික් විව් එකකට අපේ සෙට් එක ආස වෙයි කියලා හිතලා පොඩි වීඩියෝ කෑල්ලකුත් ගත්ත. බලන්නකෝ රහද කියලා. හුළඟ වැඩි නිසා ඕඩියෝ ටිකක් නොයිස් වගේ ඇති. අනික ඉක්මනට බෆර් වෙන්න ඕන නිසා වීඩියෝ කොලිටි ඩ්‍රොප් කරලා බර අඩු කරා.

කතාවෙන් කතාව වෙලාවත් ගියා. දැන් ඉතින් පල්ලං බහිමු. පිටරත්මලේටයි, රිච්මන්ඩ් වැව ගාවට යන්නත් එපැයි.

ටික ටික පල්ලං බහිද්දී අපි දඹේතැන්න ෆැක්ටරිය ලඟට කිට්ටුවෙනවා. අර හොඳම කළු තේ හදන තැන. මෙන්න ලස්සන කියමනක් තිබ්බා. අපිට මේකට නිකම්ම කේ වත්තක් (එස්ටේට්) කිව්ව‍ට මෙයාලා මේකට කියන්නේ ගාර්ඩ්න් එකක් කියලා. බලන්න කොච්චර ලස්සනද ඒ වචනේ. මල් වත්තක් වගේ නේ මැවෙන්නේ. හැබැයි ඊටත් වඩා ලස්සනයි.

හරි වැදගත් දෙයක් අපි මේ තේ වතු පුරාවටම දැක්කා. ඒත් දැනුයි මට ඒක දාන්න මතක් වුනේ. මේ බලන්න.

ඩිවිශන් ආපහු ෆීල්ඩ් වලට බෙදනවා. ඒ ඒ ෆීල්ඩ් එකේ ස්ටැටිස්ටික්ස් වෙන ‍වෙනම නෝටිස් කරලා තියෙනවා. විශාලත්වය, කාබන් අගය, අන්තිමට කප්පාදු කරපු කාලේ වගේ වැදගත් විස්තර. පොත් වල ලියලා තියා ගන්නවට වඩා මේක කොච්චර ලෙසිද?

ඔන්න අපි බොහෝම වේගෙන් පල්ලම් බැස්සා. පිටරත්මලේ ටත් ආවා. පිටරත්මලේ සෑහෙන්න කියෙනවා නමක් ගමක් නැති පුංචි පුංචි දිය ඇලි ගොඩක්. මේක එක විදිහක නිම්නයක්. බයික් එකේ නොයා පයින් මේ නිම්නයේ හරි මැද්දෙන් පහලට බැස්සොත් තව පුංචි දියඇලි ගොඩක් හම්බ වෙන බව මම අහලා තියෙනවා. මෙන්න පාර අයිනෙම තියෙන දිය කඩිති එකක් දෙකක්.

පිටරත්මලේ කියන්නේ එකම නිම්නයක්. ලිප්ටන් සීට් එකෙන් කෙලින්ම පහල ප්‍රපාතය. මතකයිනේ දැන් කිව්වා. මෙන්න ඒ වග උදාහණ සහිතව ඔප්පුකරා. බලන්න කොච්චර ලස්සනට මීදුම යට ඉඳන් උඩට ගලාගෙන එනවද…

මෙන්න මට අවස්ථාවක් හම්බවුනා. මං මුලින්ම කියපු කතාවක් සාක්ෂි සහතව ඔප්පු කරන්න තව අවස්ථාවක්. මං කිව්වා නේද ‍මීදුම් තුරුල්ලේ ඉපදිච්ච මේ වතු මිනිස්සු මරිලා යන්නෙත් මීදුම් තුරුල්ලේමයි කියලා. ඒ නිසයි උන් මේ පරිසරයට මෙච්චර ආදරේ කියලා. මේ බලන්න. මැරිච්ච මිනිස්සුන්ගේ සොහොන්. මිනිස්සු මරුණට, උන් රැක ගත්ත ලස්සන පරිසරේ මැද්දේ මීදුම් තුරුල්ලේ මේ සොහොන් කොත් තව කාලයක් අපූරුවට ජීවත් වෙනවා. ඒ ඒවා අයිති මිනිස්සු වෙනුවෙන්. මේ එකට එක පුංචි උදාහරණයක් විතරයි.

අපි ටිකෙන් ටික රිච්මන්ඩ් වැව ලඟටත් ආවා. සාපේක්ෂව මිනිස්සු ගහනය කන්ද උඩට වඩා ටිකක් වැඩි නිසාද දන්නේ නෑ වැව ටිකක් බොරපාට වෙලා වාගේ තිබ්බා. සමහර විට වැස්සට කඳු සෝදගෙන ඇවිත් වැටෙන්නේ වැවට නිසා වෙන්න ඇති. ඊයේ පෙරේද ටිකක් වැස්සත්නෙ. වැවේ පිංතූර ‍කිහිපයකුත් කැමරාව අස්සෙදී සීරෝස් ඇන්ඩ් වන්ස් වුනා. වැවේ විස්තරනම් වැඩිය දන්නේ නෑ. හැබැයි හදලා තියෙන්නේ 1885 බව දකින්න ලැබුණා. අපි පුරුද්දට වගේ හැමදාම බනින ‍සුද්දෙක් කරපු හොඳ වැඩක් වෙන්න ඇති මේ වැවත්.

හපොයි සෑහෙන්න වෙලාවක් ගත්තා. ඒත් වෙලාව යනවා අපිට දැනුනේ නෑ. පරිසරේ ලස්සන සුන්දරත්වය වෙලාව ගැන අපිට හිතන්න ඉඩදුන්නේ නෑ. ඒත අපි දැන් බණ්ඩාරවෙලින් කන්දේ මුදුනටම නැගලා ආපහු හපුතලේට පල්ලං බැහැලත් ඉවරයි. කැමා ටිකක් සූම් කරාම අපි හිටපු උසම ඉසව්ව ලාවට අපැහැදිලිව පේනවා.

අපි දැං ඉන්න තැනත් මීදුම නිසා උඩ ඉඳං බලනකොට නොපෙනිච්ච එක පැත්තක් තමයි.

එහෙනං දෙසක් රියේ ලිප්ටන් සීට් චාරිකාවත් අහවරයි කියන්නයි ලෑස්තිය. කට්ටිය මොකද කියන්නේ? සෙට්වෙන්න නිවාඩුවක් දාලා හරි මේ පැත්තේ එමුද?

අන්තිමට එකක් කියන්න තියෙනවා පුරුදු විදිහටම. ඔයාලත් එන්න. යාළුවොන්ටත් මේවා බලන්න එන්න කියන්න. හැබැයි ලස්සන පරිසරය විතරක් මේ විදිහටම බේරලා තියලා යන්න කියන්න. බිංදුවක්වත් කිලුටු කරන්නේ නැතිව. ඒක තමයි මේ පරිසරයෙන්ම අපිට දෙන ඔවදන…

එහෙනං ළමයි අදට එපමණයි. මතු සම්බන්දයි. බ්ලොගියි මායි අපේ බයික් එකේ නැගිලා පැයට සැතපුම් 50කවත් වේගෙන් කොළඹ පාරේ එකේ හපුතලේ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වෙන්නයි යන්නේ…

nadegura.com


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල