ගත සිත නිවාලන අසිරිමත් නවාතැන Hunnas Paradise

views 2017-09-13 12:17:00 travel_New

කාර්ය බහුල ජීවිතවලින් තරමක් හෝ මිදී යම් අස්වැසිල්ලක් ලබාගැනීමේ අරමුණෙන් සුන්දර පරිසරයක නිදහසේ කාලය ගෙවාදැමීමට අප සැම දක්වන්නේ ඉමහත් කැමැත්තකි. එබඳු පරිසරයක සුව අත්විඳිය හැකි උචිත චමත්කාර ජනක ස්ථානයක මං සලකුණු ගෙන එන්නයි මෙවර අපගේ සූදානම.

යන නාමය අපගේ කනවැකුණු සැණින්ම අපට සිහියට නැගෙනුයේ මහනුවර-මහියංගනය ප්‍රධාන මාර්ගයේ පිහිටා තිබෙන හුන්නස්ගිරියයි. එම ප්‍ර‘දේශයේ සංචාරය කරන්නේ නම් එම ඉසව්ව ඔබට හමුවේ. නමුත්, අප ගමන් කළේ සුප්‍රසිද්ධ හුන්නස්ගිරිය සොයා නොව, ඇල්කඩුව නගරයට නුදුරින් පිහිටා තිබෙන හුන්නස්ගිරිය වතුයාය සොයාගෙනය.

මහනුවර නගරයේ සිට කටුගස්තොට හරහා වත්තේගමට පැමිණ එතැන් සිට ඇල්කඩුව මාර්ගයේ ඉදිරියට ගමන් කරන විට ඇල්කඩුව වතුයායට ගමන් කරන මාර්ගය හමුවේ. සාරවත් තේ යායකින් වටවී තිබෙන එම මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කරන විට හුන්නස්ගිරිය දියඇල්ල අපට දිස්වේ.

දියඇල්ල වෙතට පිවිසෙන මාර්ගය අසල පිහිටා තිබෙන වාහන නැවතුම් අංගනය අසලින් බැසගත් අපි එම ස්ථානයේ ස්ථාපිත කර තිබෙන ප්‍ර‘වේශපත්‍ර අලෙවිකරන මධ්‍යස්ථානයෙන් දියඇල්ල බැලීම සඳහා ප්‍ර‘වේශපත් මිලදී ගෙන ඇල්ල පාමුල ගමන් කළෙමු.

අප එහි සංචාරය කරන වකවානුවේ එම ප්‍ර‘දේශය වෙලාගෙන තිබුණු නියං සහගත කාලගුණික තත්ත්වය හේතුවෙන් දියඇල්ලේ විල මට්ටම බොහෝ සෙයින් පහත බැස තිබුණි. වර්ෂාව තිබෙන කාලයට දියඇල්ල කඩා හැලෙන ගල්තලාව පිරෙන්නට ජල ශිරාව විහිදෙන බව අපට එහිදී දැනගැනීමට ලැබුණි.

අඩි 200ක පමණ උසින් යුත් දියඇල්ල නිර්මාණය වන්නේ ඇල්ලට ඉහළින් පිහිටා තිබෙන ස්වාභාවික දිය තටාකයකින් බවද අපට දැකගත හැකිවිය. නමුත්, එම ස්ථානයේ පෞද්ගලික හෝටලයක් ඉදිකර තිබෙන නිසා ඒ වෙතට ගමන් කිරීමට අපට අවකාශය නොලැබුණි. හුන්නසිගිරිය කඳු මුදුනේ සිට ගලාඑන කුඩා ජලදාරාවන් එක්වී සෑදෙන දියඇල්ලෙන් වැටෙන පිනබිඳු මෙන් ජල බිංදු ඇල්ල පාමුල සිටි අපගේ ගතේ දැවටුනේ දිය නාන්නට කෙරෙන ආරාධනාවක් පරිද්දෙනි. ඇල්ල පාමුල පවතින ජල තටාකටෙන් අත් පා දොවා ගත් අප ඇල්ලට තරමක් පහළින් පිහිටි විනෝද උයන වෙත පා නැගුවෙමු.

පොල්අතු සෙවිළි කර, බිමට කොන්ක්‍රීට් දමා නිර්මාණය කරන ලද ගිම්හානි කුටි කිහිපයක් එහි පවතී. එමෙන්ම දියඇල්ලේ ජලයෙන් පෝෂණය වන ස්වාභාවිකව නිර්මාණය වූ පිහිනුම් තටාකයක්, කුඩා දරුවන්ට ක්‍රීඩා කිරීමට උචිත පරිදි නිර්මාණය කරන ලද ක්‍රීඩා පිටියක් එම භූමියේ පිහිටා තිබේ. අප එහි ගමන් කරන විට අධික උෂ්නත්වයක් එම ප්‍ර‘දේශය වෙලාගෙන තිබුණත්, විනෝද උයන තුළ සැරිසැරීමේදී අපට එය එතරම් නොදැනුනේ රූස්ස ගස් පෙළකින් එම උයන වටවී තිබූ නිසාය. එහි අපහසුවකින් තොරව රාත්‍රියක් වුවද ගත කළ හැකිය. ඒ සඳහා ............. කණ්ඩායමකට රුපියල් .......... අයකෙරේ. එහි පාලන අධිකාරිය විසින් රාත්‍රියට නවාතැන් ගන්නා කණ්ඩායම්වලට කෝකියෙකු, BBQ යන්ත්‍ර සහ අවශ්‍ය කරන විදුලි පහන්, මුරකරුවෙකු ලබාදීමටද කටයුතු කරයි. එහි පැමිණෙන සංචාරකයන්ට කෙටි ආහාරපාන මිලදී ගැනීම සඳහා කුඩා ආපන ශාලාවක්ද එහි පාලන අධිකාරිය විසින් පවත්වාගෙන යනු ලබයි. දහවල් ආහාරය සපයා ගැනීම අවශ්‍ය නම් එහි යන්නට මත්තෙන් ආහාරපාන ඇණවුම් කිරීමටද සංචාරක ඔබට අවස්ථාව උදාවේ.

අප එහි යනවිට තරමක් සවස් වී තිබූ හෙයින් රෑ බෝවීමට මත්තෙන් එම ස්ථානයෙන් නික්මුනේ එම වතුයායේ ඉහළම කොටසේ නිර්මාණය කොට තිබෙන %Hunnas Paradise^ නම් ඉසව්ව සොයාගෙනය.

දියඇල්ල පිහිටා තිබෙන ස්ථානයේ සිට කිලෝමීටර් 07ක් පමණ ඉහළට ගමන් කළ විට එම ඉසව්වට ළඟා වීමට අවකාශය සැලසේ. නමුත් එම කිලෝමීටර් 07ක දුර ගෙවා දැමීමට අපට පැයකට අධික කාලයක් ගත වුණි. වාහනයකට ගමන් කළ හැක්කේ කිලෝමීටර් 1 ½ක දුරක් පමණි. එතැන් සිට ගමන් කිරීමට ත්‍රි‘රෝද රථයක් හෝ 4x4 වර්ගයේ වාහනයක් යොදා ගැනීමට සිදුවේ. අප ගමන් කළේ ත්‍රි‘රෝද රථයකිනි. එම ගමන සඳහා අපත් සමග හුන්නස්ගිරිය වතුයායේ සහකාර වතු අධිකාරීවරයෙකු ලෙස සේවය කරන හර්ෂන්ත් විජේ මහතා අපත් සමග එක්විය. සාරවත් තේ යායක් මැදින් වැටී තිබෙන පටු මාර්ගය ඔස්සේ ජල දුර්ග, ගිරි දුර්ග පසු කරමින් හපුතලේ කන්ද නගිනවාක් මෙන් කෙමෙන් කෙමෙන් අපි ඉහළට ගමන් කළෙමු. මාර්ගය කොතරම් දුෂ්කර වුවත්, අප ගමනාන්තයට පැමිණි පසු එතරම් අපහසුවකින් වුවත් මෙම ස්ථානයට පැමිණීම ගැන සතුටට පත් වූයේ එම ඉසව්ව එතරම් අනර්ඝ වූ හෙයිනි. වලාකුළු, කඳු පන්ති අපගේ ඇස් මානයේම දැකගැනීමට හැකිවිය. එම ස්ථානයට මහනුවර, මාතලේ, පොළොන්නරුව යන ස්ථානයන්හි කඳුපන්ති වෙන් වෙන් වශයෙන් දර්ශනය වේ. අපට එම දර්ශන තල වන්කර හඳුන්වා දුන්නේ අපත් සමග එක්වූ ගමන් සඟයා විසිනි. මෙම කොටසේ ස්වභාව සෞන්දර්යය සැලකිල්ලට ගෙන එහි ගිම්හාන කුටි 05, නවාතැන් ගැනීමට හැකි ස්ථාන 03ක් ඉදිකර තිබේ. එහි අපහසුවකින් තොරව රාත්‍රියක් වූවද ගත කිරීමට හැකිය.

මෙම ස්ථානයේ සිට පැය 02ක පමණ කාලයකින් හුන්නස්ගිරිය කඳු මුදුනට ළඟා වීමට අවකාශය සැලසේ. ඇවිදීමට ප්‍රියකරන කණ්ඩායම්වලට එය අමතක නොවන අත්දැකීමක් වනවාට කිසිදු සැකයක් නොමැත. මන්ද මෙම පරිසර පද්ධතිය එතරම් අගනේය. මෙම ඉසව්වට විදෙස් සංචාරකයෝ වැඩි වශයෙන් පැමිණෙති. ඔවුහු ශ්‍රී පාදයේ මෙන් ඉර සේවය ඉතා දැකම්කලු අන්දමින් නැරඹීම සඳහා හුන්නස්ගිරි කන්ද තරණය කරති. මෙම ස්ථානයේ රාත්‍රී කාලයේ නවාතැන් ගෙන විනෝදවීමට 15 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමකට අය කරනුයේ රු.10,000ක පමණ මුදලකි. ඔවුන් නවාතැන් ගන්නා සංචාරකයන්ගේ පහසුව සඳහා ඉවුම්පිහුම් කටයුතු කිරීම සඳහා කෝකියෙකු, ආරක්ෂාව සඳහා මුරකරුවෙකු සහ BBQ යන්ත්‍ර ලබාදීමට කටයුතු කරනු ලබයි. විනෝදකාමී තරුණ කණ්ඩායමකට විනෝදවීම සඳහා මෙම ඉසව්ව ඉතා අගනේය.

මේ වනවිට දියඇල්ල අවට ප්‍ර‘දේශය සහ Hunnas Paradise යන ස්ථානය Preshoot සඳහාද වෙන්කර ගැනීමට ද හැකියාව පවතියි. ඊට අමතරව ඡායාරූපකරනයේ යෙදෙන ඡායාරූප ශිල්පීන්ට මනරම් දර්ශනතලවලින් යුක්ත ඡායාරූප ගැනීමටද මෙහිදී අවස්ථාව උදා වේ. මෙම ඉසව්වට අමතරව නවාතැන් පහසුකම් ලබාගැනීම සඳහා සංචාරක බංගලාවක්ද එම වතුයායට නුදුරින් පවතියි. ඒ සඳහාද කෝකියෙකු, මුරකරුවෙකු BBQ යන්ත්‍ර සමග අකරනු ලබනුයේ රු.7500ක මුදලකි. එහි 07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට සුව පහසු ලෙස නවාතැන් ගැනීමට අවකාශය සැලසේ.

සංචාරක බංගලාවේ හෝ Hunnas Paradise හි නවාතැන් පහසුකම් ලබාගැනීමට සහ Per Shoot සඳහා අවසරය, දින වෙන්කරවා ගැනීම සඳහා 0815 634 910, 0714 634 132 ඇමතීමෙන් හැකියාව ලැබෙන අතර,ආරක්ෂාව සහ පරිසරය සුරැකීම සඳහා එහි සේවක මණ්ඩලය අසීමිත කැපකිරීමක් සිදු කරන හෙයින් ඔබ එහි සංචාරය කරන්නේ නම් පා සටහන් පමණක් ඉදිතිරි කර මතකය පමණක් රැගෙන ඒමට වගබලා ගන්න.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල