නුවර ගියොත් අනිවාර්යයෙන්ම දරුවන්ට පෙන්විය යුතු ඓතිහාසික ස්ථාන

views 2017-09-12 11:14:00 travel_New

ශී‍්‍ර ලංකාවේ අවසන් රාජධානියේ කේන්ද්‍රස්ථානය වූ සෙංකඩගල හෙවත් මහනුවර ලෝක උරුම නගරයකි. නිතරම නුවර ගියත් එහි නැරඹිය යුතු ස්ථාන සහ ඉතිහාසය පිළිබඳව බොහෝදෙනාට ඇත්තේ අල්ප අවබෝධයකි.

ජනවහරට අනුව ගම්පොළ රජ කළ තුන්වැනි වික‍්‍රමබාහු රජු (කි‍්‍රව. 1357 සිට 1375) දඩයමේ යද්දී සාවකු පසුපස හිවලකු දුවනු දැක ලූහුබැඳ තිබේ. එක් ස්ථානයකදී නැවත ආපසු හැරුණු හාවා හිවලා ලූහුබැඳ යාමට පටන් ගෙන ඇත. මේ ආශ්චර්යය දුටු රජු ඒ ආසන්නයේ ලෙනක විසූ තාපසයකුගෙන් මේ පිළිබඳ විමසා ඇත. සෙංකණ්ඩ නැමැති ඒ තාපසයා පවසා ඇත්තේ මෙය ජය භූමියක් බවයි. ඉන් පහැදැනුණු රජු ඒ ආසන්නයේ රාජධානියක් කරවා ඇති බව වංශ කථා සාධක වල දැක්වේ. රාජධානිය කරවූ රජු තාපසවරයාට ගරු කිරීමක් ලෙස සෙංකඩගල පුරවරය ලෙස එම නව නගරය නම් කැර ඇත.

නුවර ගියහොත් අනිවාර්යයෙන්ම ශ්‍රී දළදා මාළිගාව වැඳීමට කිසිවෙකුත් අමතක කරන්නේ නැහැ. පළමුවන විමලධර්මසූරිය (1592 – 1604) රජතුමා විසින් මුල්වරට ගොඩනගනු ලැබූ දළදා මාලිගාවේ, බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ තැන්පත් කර තිබේ. මෙය මුළින්ම හඳුන්වන ලද්දේ දළදා ගේ නමිනි. පළමුවැනි විමලධර්මසූරිය රජු දෙමහල් පහයක් ලෙස ගොඩනංවනු ලැබූ මේ මන්දිරය දෙවැනි විමලධර්මසූරිය රජු තෙමහල් මන්දිරයක් ලෙස වැඩි දියුණු කර ඇත. වැඩසිටින මාළිගය ලෙස වර්තමානයේ හැඳින්වෙන පැරණි දළදා මැදුරට ඉදිරියෙන් ඇති දෙමහල් ගොඩනැගිල්ල නිර්මාණය කරවන ලද්දේ නරේන්ද්‍රසිංහ රජු විසිනි.

දළදා පරිශ්‍රයේම පිහිටි පුරාණ දේවාල හතර සතර මහා දේවාල ලෙස පොදුවේ හඳුන්වනු ලබයි. මේවා නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දෙවියන් හතර වෙනුවෙන් ඉදිකර ඇත. මහනුවර නගරයේ පිහිටි නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර දේවාල, දළදා මාළිගාවත් සමග දීර්ඝ කාලයක් මුළුල්ලේ සම්බන්ධවී පැවැතිණි. එයින් පැරණිතම දේවාලය වූ නාථ දේවාලය ඉදිකර ඇත්තේ කි‍්‍රස්තු වර්ෂ 14 වැනි සියවසේදී පමණ බවට සාධක හමුවී ඇත. එහි ඇති පුරාණ ගෙඩිගේ ඉතිහාසය එතරම් ඈතට දවයයි. මහනුවර නගරයේ ඇති පුරාණතම ගොඩනැගිල්ල වන්නේද එයයි. මෙම පරිශ්‍රෙය්ම ඇති වැල් බෝධියත් වන්දනාකරන්න අමතක නොකරන්න.

සෙංකඩගල රජ මාලිගාව තවත් විශේෂ ස්ථානයක්. සිංහලේ අගනුවර ලෙස සෙංකඩගල පැවති යුගයේ රාජධානයේ පාලන කේන්ද්‍රය වූයේ සෙංකඩගල රාජකීය පරිශ්‍රයයි. අද ඉතිරිව ඇති මහ වාසල උඩරට අවසන් රජුගේ නිවාසය වූ මන්දිරයයි. එහෙත් අද එහි දක්නට ඇත්තේ කොටසක් පමණි. මහ වාසලෙන් විශාල කොටසක් වරින් වර විනාශ වීය, බි‍්‍රතාන්‍යයන් විසින් එය වරින් වර ප‍්‍රතිසංස්කරණය කරන ලදී. දළදා මාළිගයට වම් පසින් ඇති මහ වාසලේ ප‍්‍රධාන දොරටුව අදට ද පෙර තිබූ ආකරයටම දැකිය හැකි වීම විශේෂත්වයකි.

මහනුවර ජාතික කෞතුකාගාරය ලංකාවේ ප්‍රසිද්ධතම කෞතුකාගාරයක්. 1942දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද මහනුවර ජාතික කෞතුකාගාරය තුල ප්‍රදර්ශනයට තබා ඇති දෑ අතර මහනුවර යුගයට හා මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිත සමයට අයත් ආයුධ, ආභරණ, මෙවලම් හා අනෙකුත් විවිධ වස්තූන් දැකගත හැකි වේ. මහනුවර ජාතික ‍කෞතුකාගාරය ස්ථාපිත කොට ඇති ගොඩනැගිල්ල “ පල්ලෙ වාහල” නමින් හඳුන්වනු ලැබේ. ක්‍රි .ව. 17 – 19 වන සියවස්වලට අයත් මෙම ගොඩනැගිල්ල  ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ පරිවාර බිසෝවරුන් වාසය කළ අන්තඃපුර මාළිගාව ලෙසද පිළිගැනේ. මෙම ගොඩනැගිල්ල මහනුවර යුගයේ වාස්තු විද්‍යා නිර්මාණ පිළිබිඹු කරන ඉතා වැදගත් එක් නිදර්ශනයක් ලෙසට ද හැඳින්විය හැකිය. 1832 දී ආරම්භ වු  මහනුවර කලා සංගමය විසින් සංස්කෘතික හා ඓතිහාසික වටිනාකමකින් යුත්, ඔවුන් එක්රැස් කර ගත් ‍කෞතුක භාණ්ඩ තැන්පත් කිරීම සඳහා මෙම ගොඩනැගිල්ල යොදා ගෙන තිබුන අතර, එම භාණ්ඩ එකතුව යොදා ගනිමින් 1942 දි ‍කෞතුකාගාරයක් වශයෙන් මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණි.

මෙම ‍කෞතුකාගාරය සතුව මහනුවර යුගයේ (ක්‍රි. ව. 17 – 19 සියවස්වල) විවිධ සංස්කෘතික හා ඓතිහාසික පැතිකඩවල් නියෝජනය කෙරෙන පන්දහසකින් (5000)  පමණ සමන්විත ‍‍කෞතුක භාණ්ඩ එකතුවක් ප්‍රදර්ශනය කෙරේ.

දළදා පරිශ්‍රෙය් නවතම අංගය වන ලෝක බෞද්ධ කෞතුකාගාරය ඔබ යායුතුම ස්ථානයක්. මහනුවර පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය ලොව පළමු ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය වේ.

මහනුවර නගර ශාලාවත් ඓතිහාසික වටිනාකමින් යුත් ස්ථානයක්. මහනුවර මහනගර සභාව සහ මහනුවර නගරාධිපති නිල කාර්යාලය ස්ථාපනය කොට තිබෙන ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල වේ. එකල ”දුනුවිල වලව්ව” ලෙස හඳුන්වනු ලැබූ මෙම ගොඩනැගිල්ල, 1870 වසරේදී මහනුවර මහනගර සභාව විසින් සිය නගර ශාලාව පිහිටුවීම පිණිස අයත් කර ගත් බව සඳහන් වෙයි.

වේලාව තිබෙනවා නම් ශ්‍රී දළදා මාලිගාවට සම්බන්ධ අභය භූමිය වන උඩවත්තකැලේ බලන්න යන්නත් අමතක කරන්න එපා.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල