මුතුරාජවෙල සහ මීගමු කලපු ආශ්‍රිත බෝට්ටු සවාරියක් යමු

views 2017-09-08 10:13:00 travel_New

අප බොහෝ දෙනෙකු ගමන් කරන කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ වැඩිම කොටසක් වැටී ඇත්තේ මෑතකදී විශාල කතා බහකට ලක් වූ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පරිසර පද්ධතියක් මැදිනි. ඒ පරිසර පද්ධතිය නම් මුතුරාජවෙලයි.

ගමනේ වේගය සහ අතර මඟ වාහන නතර කිරීමට ඇති නොහැකියාව නොවිණි නම් මෙම ප්‍රදේශය පරිසර ලෝලීන්ගේ විවේක ඉසව්වක් වනු නොඅනුමානය.

අගනා ජෛව විවිධත්වයකින් මෙන් ම ස්‌වාභාවික සම්පත්වලින් ද ගහන, ස්‌වභාව සෞන්දර්යයෙන් ද අනූන මේ පරිසර පද්ධතිය දිවයිනේ බස්‌නාහිර පළාතේ බටහිර වෙරළ තීරය ඔස්‌සේ කැලණි ගඟේ සිට මීගමු කලපුව දක්‌වාම පැතිරී පවතී. ගම්පහ දිස්‌ත්‍රික්‌කයට අයත් ජා ඇල, වත්තල, කටාන සහ මීගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස හතරට අයත් වන මුතුරාජවෙල හෙක්‌ටයාර් 6232කට ආසන්න ප්‍රදේශයක ව්‍යාප්ත වී තිබේ. මේ පරිසරය තෙත් බිම් කලාපය, මීගමු කලපුව, සහ දඬුගම් ඔය ප්‍රදේශය වශයෙන් කොටස්‌ තුනකට බෙදා දැක්‌විය හැකි ය.

අනේක විධ මානව ක්‍රියාකාරකම් ඇතුළු පාරිසරික තර්ජන හමුවේ නොසැලී නැගී සිටින මෙම තෙත්බිම හරහා මීගමු කලපුව සහ දඬුගම් ඔය ආශ්‍රිත බෝට්ටු සවාරියක යෙදීමේ මහඟු අවස්ථාව දැන් ඔබ වෙත උදා වී තිබේ. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ ගමන්ගන්නා ඔබට එහි අවසන් කොටසේදී නෙත ගැටෙන මීගමු කලපුව පරිසරයේ සොබා සොදුරු බව හඳුනන කාගේත් නෙත් සිත් වලට රසඳුනකි.

මෙම බෝට්ටු සවාරිය සැලසුම් කොට ඇත්තේ එම කලපු ඉහත්තාව සහ ඊට සම්බන්ධ වන දඬුගම් ඔයේ (අත්තනගලු ඔය) මෝය ප්‍රදේශය ආශ්‍රිතවය. එම සංචාරක බෝට්ටු සේවාව පවත්වාගෙන යනුයේ ලාභ නොලබන ප්‍රජා ක්‍රියාකාරී ආයතනයක් වන මුතුරාජවෙල පරිසර කේන්ද්‍රය මගිනි.

මුතුරාජවෙල සේම ආසියානු තෙත්බිම් නාමාවලියේ ලේඛන ගතවී ඇති මීගමු කලපුව, ශී‍්‍ර ලංකාවේ පිහිටි මුහුදු තෘණ බිම් හා කඩොලාන පරිසර පද්ධති මගින් මසුන් හා කකුළුවන් ඇතුළු ජලජ සත්ව විශේෂ රාශියකට පෝෂණය හා රැකවරණය ලබා දෙන කෙම් බිමකි. එය ඉතා වැදගත් ජෛව විවිධත්වයක් ඇති, හෙක්ටයාර් 3164 ක් පමණ වන ජල ප‍්‍රදේශයකි. එය ධීවරයන් 3500කට පමණ සෘජුවම රැකියා සපයමින්, ධීවර යාත‍්‍රා 2500කට පමණ නැංගුරම් පහසුකම් සපයයි. එබැවින් මීගමුවේ ධීවර පවුල් 15,000 කට පමණ ජීවත් කරවීම සඳහා සුදුසු පරිසරයක් ලබා දෙයි. එහි මත්ස්‍ය හා ඉස්සන් අස්වනු හෙක්ටයාර 01කට කිලෝ ග‍්‍රෑම් 150ක පමණ වාර්ෂික නිෂ්පාදන ධාරිතාවයක් තිබීම හා වර්ෂයකට රුපියල් මිලියන 150ක පමණ මත්ස්‍ය අස්වැන්නක් ලබාදීමත් ආර්ථික වශයෙන් ඉතා වැදගත්ය.

නමුදු මීගමු කලපුව මැද පිහිටි සදාහරිත දූපත් වලින් යුතු බෝට්ටු සංචාර සදහා යෙදෙන ඉසව්ව මානව ජනාවාස වලින් තොර අගනා පාරිසරික කලාපයකි.
නමුත් සංචාරක ධන කුවේරයන් ගෙන්වා ගැනීමේ අරමුණෙන් වඩාත් ධනවත් සංචාරකයින්ට අවශ්‍ය ඉහල තලයේ පහසුකම් සපයා දෙමින් මාලදිවයින වැනි රටවල ඇති සංචාරක කර්මාන්තයට නොදෙවෙනිව ජලය මත පාවෙන හා ඒ මත ගමන් කළ හැකි සැහැල්ලු ගුවන් යානා මීගමුව කලපුවට ද, හඳුන්වා දීමට රජයේ සැලසුමක් ඇත. මීගමු කලපුවේ අතිශය වැදගත් මත්ස්‍ය බෝවන ප‍්‍රදේශයක් වන මඩබොක්ක ආශ‍්‍රිත ප‍්‍රදේශයේ කිලෝ මීටරයක් දුරකට විහිදෙන පරිදි හා මීටර් 100 ක් පළලින් යුතු ගුවන් ධාවන පථයක් නිර්මාණය කිරීමද ආරම්භ වී ඇත.
මෙම පාරිසරික බෝට්ටු සංචාරයේදී මැටිබොක්ක ප්‍රදේශයද පසු කිරීමට ඔබට හැකි වනු ඇත. එහෙත් මෙම ගුවන් යානා ව්‍යාපෘතිය දියත් කිරීම නිසා ධීවරයාට හා කර්මාන්තයට සිදු විය හැකි බලපෑම පිළිබඳව බෙහෝ දෙනෙකු තුළ සැක සංකා ඉපිද ඇත්තේ මතු දැක්වෙන සාධාරණ හේතු පදනම් කර ගනිමිනි.  

මීගමු කලපුවේ රැකියාවෙන් යැපෙන පවුල් 15000කගේ පමණ රැකියාවට බාධා ගෙන දීම.

සී ප්ලේන් කලපුවට ගොඩබාන හා කලපුවෙන් ගුවන් ගත වන කාලය තුළ ධීවරයින් එම ප‍්‍රදේශයෙන් ඉවත් කළ යුතු වීම. අනාගතයේ කොපමණ සී ප්ලේන් සංඛ්‍යාවක් භාවිතයට ගනීදැයි දැන් අපට කිව නොහැක. එවිට එම සංඛ්‍යාව අනුව ප‍්‍රදේශයෙන් ධීවරයන්ට සම්පූර්ණයෙන්ම ඉවත්වීමට සිදු විය හැකි වීම.


කලපුව ආශ‍්‍රිතව අධි ආරක්‍ෂිත කලාපයක් නම්කර, සංචාරකයින්ට හා යානාවලට ආරක්‍ෂාව සැපයීම සිදු විය හැකි නිසා කලපු ධීවර රැකියාවේ නිරත පිරිසට බාධා පැමිණීම.

සී ප්ලේන් ව්‍යාපෘතියෙන් රැකියා ලැබෙන බව කීවද ඒ ප‍්‍රමාණය කිසිසේත් දැනට කලපුවෙන් යැපෙන රැකියා ප‍්‍රමාණයට සමාන නොවීම. ලැබෙන රැකියා සවල්පය වූවත් ලැබෙන්නේ දුප්පත් අසරණ ධීවරයින්ට නොවීම.


මෙම ව්‍යාපෘතියේ ආරම්භය සී ප්ලේන් හරහා සිදු වූවත් මීගමු කලපුව ආශ‍්‍රිත දූපත් ද සංචාරක නිකේතන සඳහා අත්පත් කර ගැනීම ඒකාන්තයෙන්ම සිදු වනු ඇත.

මේ ප්‍රදේශයේ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000- 2500ත් අතර වේ. නිරිතදිග මෝසම් සුළඟින් ප්‍රධාන ලෙස ම වර්ෂාව ලබන අතර වසර පුරා සංවහන හා වා සුළි මඟින් ද මුතුරාජවෙල තෙත් බිම වෙත වර්ෂාව පතනය වෙයි. එහි මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 26ක්‌ පමණ වන අතර අවම උෂ්ණත්වය වන සෙල්සියස්‌ අංශක 22.3 කි. එය සාමාන්‍යයෙන් වාර්තා වන්නේ, ජනවාරි මාසයේ දී ය.


මුතුරාජවෙල සහ මීගමු කලපු පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය උදෙසා විවිධ පරිසර පද්ධතීන්වලින් ලැබෙන දායකත්වය ඉහළ ය. කඩොලාන ශාක ප්‍රජාව - වගුරු බිම් - මිරිදිය ඇළ මාර්ග - වගා කිරීම අත් හරින ලද කුඹුරු ඉඩම් සහ ලඳු කැළෑ පරිසරයන්හි ශාක විවිධත්වය හා එහි වාසය කරන සත්ත්ව ප්‍රජාව ගේ විවිධත්වය මේ තත්ත්වය උදා කර දී තිබේ. වසරේ විවිධ කාලවල දී ලවණ ජලය ද සම්මිශ්‍රණය වීම නිසා තත්ත්වය වඩාත් සංකීර්ණ වේ. මෙකී විවිධ පරිසර පද්ධතීන්ට අනුවර්තනය වූ ජීවී විශේෂ ගණනාවක්‌ මෙහි දී පැහැදිලි ව හඳුනාගත හැකි ය.

මුතුරාජවෙල ශාක විවිධත්වය සැලකීමේ දී ප්‍රධාන ශාක ප්‍රජාවන් 07ක්‌ නියෝජනය කරන විශේෂ 192ක තුරුලතාවලට මෙය තෝතැන්නකි. මෙහි ඇති ඉතා වැදගත් ශාක ප්‍රජාව ලෙස කලපු ගංමෝය සරසන කඩොලාන හැඳින්විය හැකි ය. ශ්‍රී ලංකාවේ හඳුනාගෙන ඇති කඩොලාන විශේෂ 22න් 18ක්‌ ම මුතුරාජවෙල හා මීගමු කලපුව ආශ්‍රිත ව නිරීක්‍ෂණය කිරීමට පරිසරවේදීන්ට හැකියාව ලැබී ඇත. මුළු ලෝකයේ ම දක්‌නට ලැබෙන ඉතා සීමිත සංඛ්‍යාවක්‌ වන කඩොලාන විශේෂ ප්‍රමාණය 60ක්‌ පමණ වේ. ඒ අතරින් 18ක්‌ ම මේ පරිසර පද්ධතියේ දැකගත හැකි වීම ම, මේ පරිසර පද්ධතිය කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කිරීමට හේතුවක්‌ විය යුතු බව අවධාරණය කළ යුතු ය.


එසේ ම, මෙහි ක්‍ෂීරපායින් ගේ සිට කෘමීන් දක්‌වා පැතිරුණු පුළුල් සත්ත්ව විවිධත්වයක්‌ ද හඳුනාගත හැකි ය. අප රට තුළ දැනට වාර්තා වී ඇති පෘෂ්ඨවංශීන් ගෙන් විශේෂ 232ක්‌ ඊට අයත් වෙති. මේ තෙත් බිම් පරිසර පද්ධතිය නියෝජනය කරන ඉතා වැදගත් විවිධත්වයක්‌ දක්‌වන පෘෂ්ඨවංශීන් වනුයේ, පක්‍ෂීන් ය. මෙහි කුල 42කට අයත් පක්‍ෂි විශේෂ 102ක්‌ වාර්තා වන බව ලෝක සංරක්‍ෂණ සංගමය(IOCN) මඟින් 2004වසරේ දී පෙන්වා දී ඇත. මුතුරාජවෙල අභය භූමියේ උතුරු හා මධ්‍යම ප්‍රදේශ ඉතා වැදගත් අභිජනන මධ්‍යස්‌ථාන ද, මීගමු කලපු ආශ්‍රිත ප්‍රදේශය ගොදුරු හා විවේක ස්‌ථානයක්‌ ද වේ. මේ විශේෂ 102න් 19ක්‌ සිසිර සෘතු සංක්‍රමණික පක්‍ෂීන් වීම ද විශේෂ කරුණකි. ඒ අනුව පෙනී යන්නේ, මේ තෙත් බිම සංචාරක පක්‍ෂීන් ගේ ද තෝතැන්නක්‌ බව ය. විශේෂයෙන් දිවයිනේ බටහිර වෙරළ තීරය ඔස්‌සේ පහළට පැමිණෙන සංචාරක පක්‍ෂීන් මුතුරාජවෙල තෙත් බිම නිරන්තරයෙන් පරිහරණය කරන බව පෙනෙන්නට තිබේ. දියකාවන්, කොකුන්, විවර තුඩුවන්, කෑදැත්තන්, සේරුන්, උකුස්‌සන්, කුරුලුගොයන්, කිරලුන්, සිලිබිල්ලන්, බටගොයන්, බි`ගුහරයන්, ගිරවුන්, පිළිහුඬුවන් හා වැහිළිහිණියන් වැනි පක්‍ෂි විශේෂ බොහොමයක්‌ මුතුරාජවෙල දී සුලබ ව දැකගත හැකි ය. ඒ අතර කුස ඇල් සයුරුකුස්‌සා (Haliaeetus leucogaster), පුංචි දියකාවා (Phalacrocorax niger), පුංචි ගෙඹි තුරුවා (Tachybaptus ruficollis), අළු කොකා (Ardea ciuerea), කරවැල් කොකා (Ardea purpurea), පොදු දම් කිතලා (Porphyrio porphyrio), කළුපිය ඉපල් පාවා (Himantoydus himantopus), යුරෝපියානු ගොළු කිරලා (Burhinus oedicuemus), පොම්පදොරු බටගොයා (Treron pompadora) වැනි පක්‍ෂීන් සුලබ ය. එසේ ම, සංචාරක පක්‍ෂි සමූහට බටහිර වගුරු හැරිකුස්‌සා (Circus aeruginosus), ගෝමර හැරිකුස්‌සා (Circus melaholeucos), අළුපිය කාගුල් ළිහිණියා (Chlidonias hybridus), නිල් පෙළ බි`ගු හරයා (Merops philippinus) වැනි පක්‍ෂීන් ද සුලබ ව දැකගත හැකි ය. එසේ ම, ශ්‍රී ලංකාවේ හමු වන දුර්ලභ සංක්‍රමණික පක්‍ෂියකු වන කළු හිසැති මැදි පිළිහුඩුවා (Halcyon pileata) ද මුතුරාජවෙල තෙත් බිමෙන් වාර්තා වීම විශේෂයෙන් සඳහන් කළ යුතු ම ය.


එසේ ම, මුතුරාජවෙලින් කුල 14කට අයත් ක්‍ෂීරපායින් විශේෂ 22ක්‌ වාර්තා වේ. එයින් එක්‌ විශේෂයක්‌ ආවේණික ය. රිළවා, උණහපුළුවා, ඉත්තෑවා, උරුලෑවා, දිය බල්ලා, හඳුන් දිවියා, කොළ දිවියා, මීමින්නා ඒ අතර වේ. මෙහි වෙසෙන රිළවා (Macaca sinica) ශ්‍රී ලංකාවට ආවේණික වනවා සේ ම හාත්පස ජලයෙන් වට වූ දූපත් හා වගුරු බිම්වල ජීවත් වීම නිසා සෙසු ප්‍රදේශ වල වෙසෙන රිලවුන් තුල නොමැති විශේෂ ආහාර පුරුදු හා හැසිරීම් රටාවලින් යුක්‌ත බව ද කිව යුතු ය.

ශ්‍රී ලංකාවේ හලාවත සිට තංගල්ල දක්‌වා ඉතා සීමිත සමුද්‍රාසන්න බිම් තීරුවකට සීමා වී සිටින ගැට කිඹුලා (Crocodylus porosus) සැලකීමේ දී ද මුතුරාජවෙල ඉතා වැදගත් වෙයි. අතීතයේ දී මෙහි ඉතා විශාල ගැට කිඹුලන් ගහනයක්‌ වාර්තා වුව ද මිනිසුන් ගේ දඩයම් හමුවේ ඔවුන් දැඩි තර්ජනයකට මුහුණ පා ඇත.

මෙවැනි පසුබිමක්‌ තුළ තවදුරටත් මුතුරාජවෙල ඉඩම් අනවසර පදිංචිකරුවන්ට බෙදා දීමෙන් මේ අගනා උරග සම්පත මිහි මතින් තුරන් වී යැමට ද හැකියාව ඇත. ඊට අමතර ව ඉබ්බන්, කටුස්‌සන් සහ සර්ප විශේෂ රැසක්‌ ද මෙහි දිවි ගෙවන බව හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ හමු වන ඉතා දුර්ලභ සර්ප විශේෂයක්‌ වන කඩොලාන දියබරියා ද මුතුරාජවෙලින් හමුවන සුවිශේෂී උරගයකු බව කිව මනා ය. දැනට ශ්‍රී ලංකාවෙන් කඩොලාන දියබරියා ගේ (Gerarda prevostiana) නිදර්ශක හමු වී ඇත්තේ, පහක්‌ පමණක්‌ වන අතර එයින් තුනක්‌ ම හමු වී ඇත්තේ කැලණි ගඟ, මීගමු දූව හා මුතුරාජවෙල අභය භූමිය (1997) යන මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිත ව වීම ද සුවිශේෂී කරුණකි.

මුතුරාජවෙල හා මීගමු කලපුව ආශ්‍රිත පරිසර පද්ධතියේ ඇති සුවිශේෂී ජෛව විද්‍යාත්මක වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් මෙම තෙත් බිමේ උතුරු කොටසට වන්නට හෙක්‌ටයාර 1028.62ක භූමි ප්‍රදේශයක්‌ 1996 ඔක්‌තෝබර් 31වැනි දින 947/13 දරන ගැසට්‌ නිවේදනය මගින් අභය භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. වන සත්ත්ව හා වෘක්‍ෂ ලතා ආඥපනත යටතේ පාලනය වන මේ භූමි භාගය වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතී. එසේ ම, මේ අභය භූමියට ඇති විය හැකි බලපෑම අවම කිරීම සඳහා වෙන් කෙරුණු ප්‍රේරණ කලාපය(Buffer Zone)  හා අභය භූමියට ප්‍රබල පරිසර හානි සිදු වීම නිසා විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රේරණ කලාපය, පාරිසරික ආරක්‍ෂණ කලාපයක්‌ ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කොට ඇත.

2009 අංක 22 දරන (සංශෝධන) පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරන වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආඥපනතට අනුව වනජීවී රක්‍ෂිතයක්‌ තුළ හෝ එහි සීමාවේ මෙවැනි අනර්ථකාරී මිනිස්‌ ක්‍රියාකාරකම් සිදු වීම වැළැක්‌වීම වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමකි. එහෙත්, මේ දක්‌වාත් මේ මහා පරිමාණ පරිසර විනාශය පිළිබඳව අදාළ අංශ කිසිදු මැදිහත් වීමක්‌ සිදු කර ඇති බවක්‌ දැන ගැනීමට නැත. ඊට හේතුව මෙහි ඉඩම් කැබැලි කර විකිණීම පිටුපස ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයකු සිටීම ද, එසේත් නැතිනම් වන අපරාධකරුවන් ගේ සාක්‌කුවට ඔවුන් වැටී සිටීම ද යන්න විමසිය යුතු ය.


1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ අංක 23 (අ) (ආ) (1) වගන්තිය යටතේ සිට ඊට අදාළ ව නිකුත් කර ඇති 1993ජූනි 24දිනැති අංක 772/22දරන අති විශේෂ ගැසට්‌ පත්‍රයේ රෙගුලාසි යටතේ ඉඩමේ විශාලත්වය නොසලකා පූර්ව අනුමැතියකින් තොර ව ගොඩ කිරීම තහනම් වන තෙත් බිම් දක්‌වා ඇති අතර ඊට අදාළ නො වන නමුත්, හෙක්‌ටයාර 04 ඉක්‌මවන ඕනෑ ම තෙත් බිමක්‌ ගොඩ කරන පුද්ගලයකු එම පනතේ 31වැනි වගන්තිය යටතේ වරදකරුවකු කළ හැකි ය.

මුතුරාජවෙල අභය භූමියට අයත් ඉතා වටිනා තෙත් බිම් මුඩු බිම් බවට පත් කර දේශපාලනඥයන් හා හිතවතුන් අතරෙහි බෙදාගැනීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක්‌ පිළිබඳ ව අපට දෘශ්‍යමාන වන්නේ පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී මුතුරාජවෙල අභය භූමියට අයත් ප්‍රදේශ ගොඩ කිරීමත් කොට්‌ටකට, මැටිවල බොක්‌ක හා කරක්‌ගහන බොක්‌ක යන ඉතා අගනා වනජීවී වාසස්‌ථාන ආශ්‍රිත ව කඩොලාන ගිනි තැබීම ද සිදු කරන ලද බැවිනි.

ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වයට ප්‍රධාන වශයෙන් ම බලපා ඇති තර්ජනය වන ස්‌වාභාවික වාසස්‌ථානවල ප්‍රමාණාත්මක අඩු වීම මුතුරාජවෙල තෙත් බිමට ද බලපා ඇත්තේ එපරිද්දෙනි. එසේ ම, ඒවායේ ගුණාත්මක අගය ද පිරිහී යැම නිසා මෙතෙක්‌ එම පරිසර පද්ධතියේ ජීවත් වූ ජීවීන්ට තමන් ගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා දැඩි තරගයක්‌ කිරීමට සිදු වීම වාසස්‌ථාන ප්‍රමාණාත්මක ව අඩු වීමේ එක්‌ අනිටු ප්‍රතිඵලයකි. භූමියෙහි විශාලත්වය මිස එයින් ලබාගත හැකි ගංවතුර පාලනය, භූගත ජල සංචායක ආරක්‍ෂා කරගැනීම, වායුගෝලීය කාබන් අවශෝෂණය කරගැනීම වැනි දීර්ඝකාලීන මෙහෙයන් නො සලකා හැර මුතුරාජවෙල තෙත් බිම ගොඩ කර කර්මාන්තපුර, ජනපද සහ වෙනත් විකල්ප සංවර්ධන යෝජනා ක්‍රම ඉදි කිරීම ඇරඹෙමින් පවතී. විවිධ දේශපාලකයන් ගේ අත්තනෝමතික බලපෑම් මත තෙත් බිම ගොඩ කර හෝටල් හා සී ප්ලේන් ගොඩබෑමේ ව්‍යාපෘති සකස්‌ කිරීමට කලින් කලට දරන ලද උත්සාහයන් ද කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය ඉදි වීම ද මුතුරාජවෙල තෙත් බිමේ ස්‌වාභාවික වාසස්‌ථාන ප්‍රමාණාත්මක ව අඩු වීමට හේතු විය. එහෙත්, ඒ ඉතා කුඩා පරිසර පද්ධතිය තුළ ද තවමත් විශේෂයෙන් සැලකිය යුතු ජෛවවිවිධත්වයක්‌ සංජානනය වී ඇත්තේ, විස්‌මයජනක ආකාරයකට ය. මුතුරාජවෙල තෙත් බිම දඬුගම් ඔය සහ මීගමු කලපු ඉහත්තාව ආශ්‍රිතව බෝට්ටු සංචාරයක යෙදෙන ඔබට පුරා පැය දෙකක කාලයක් තුළ මේ සියල්ල සියැසින් දැක බලා ගත හැක.


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල