හග්ගල මල් වත්ත ගැන මේ තොරතුරු දන්නවාද?

views 2017-09-04 01:30:00 travel_New

ප‍්‍රතාපවත් රාවණා රජු දක්‍ෂ වෛද්‍යවරයෙකු බවත් රජුගේ ඖෂධ  උයන හග්ගල කන්ද  ආශ‍්‍රිතව තිබු බව පුරාවෘතවල කියැවේ.  අවුරුදු දහස් ගණනකට පෙර අති  දක්‍ෂ වෛද්‍යවරයෙකුට අයත්ව තිබුණායැයි සැලකෙන එම භූමිය ඉංගී‍්‍රසි පාලකයන් 1861 වසරේදී හග්ගල උද්භිද උද්‍යානය බවට පත්කරනලදී. නුවරඑළිය සිට බදුල්ල මාර්ගයේ කිලෝ මීටර් 9ක් පමණ ගිය තැනදී හමුවන මෙය ලංකාවේ දෙවන උද්භිත උද්‍යානය ලෙස සැලකේ.

මුහුදු මට්ටමින් මීටර් 2173ක් උසැති හග්ගල කඳුවැටිය පාමුල මීටර් 1745ක උසින් යුතුව එදා 1861දී අක්කර 500ක් පමණ පුරා විහිදී යන ආකාරයෙන් මේ හග්ගල උද්භිද උද්‍යානය ස්ථාපිත කර ඇත. නුවරඑළිය දිස්ති‍්‍රක්කය හා බදුල්ල දිස්ති‍්‍රක්ක දෙක යාවන හග්ගල කඳු වැටිය ආශි‍්‍රතව  පිහිටි හග්ගල උද්භිද උද්‍යානයට ඊසාන දිග හා නිරිත දිග මෝසම් වැසි ලැබෙන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2200වේ. වසරකට දින 210ක් වර්ෂාව ලැබෙන මෙම උද්‍යානය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3-15ක් අතර පවතින ඉසව්වකි. සම මිශ‍්‍ර දේශගුණයකින් යුතු හග්ගල කඳුවැටිය පාමුල පිහිටවූ හග්ගල උද්භිද උද්‍යානය, සොබාදහමේ අපූරු දායාදයක් වන හග්ගල දැඩි රක්ෂිතය ආශ‍්‍රිතව පිහිටා අති අතර 1861 වසරේදී අක්කර 500ක් පුරා තිබුණද අද අක්කර 68කට පමණක් සීමා  වී ඇත.

ඉංගී‍්‍රසීහු තම යටත් විජිත රාජධානියේ සීඝ‍්‍රයෙන්  පැතිර ගිය මැලේරියා රෝගය මර්දනය කිරීම සඳහා අවශ්‍ය ඖෂධයක් කොට සළකන ”ක්විනික්” නිෂ්පාදනය කිරීම සඳහා ”සින්කෝනා” නමැති ශාකයක් වගා කිරීමට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය හරහා 1859 වසරේදී පර්යේෂණ කටයුතු මෙම හග්ගල දී සිදුකර ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1861 වසරේදී මෙම හග්ගල උද්‍යානය තුළ ඇතිකළ සින්කෝනා වගාව නිසා එය උද්භිද උද්‍යානයක් බවට පත්කර ඇත. මෙරට ප‍්‍රධාන වැවිලි දෙකක් වූ කෝපි හා තේ වගාවන්ද පර්යේෂණ වශයෙන් සිදුකළ ස්ථානයක් බව කියැවේ. 1867 වසරේදී පර්යේෂණ සඳහා ඇසමයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වූ තේ ප‍්‍රභේද සිටවූ තේ වගාවේ පුරාණය හග්ගල උද්භිද උද්‍යානයේ ඉහළ මායිමේදී දැකගත හැකිය.

1883 දී සිටවූ ලොත්සුඹුල් ශාක එකතුව, 1893 වසරේ දී චීනයෙන් රෝපණය කළ කපුරු ශාක පද්ධතියද 1921 දී ස්ථාපිත කළ ස්වභාවික ගිරි උයන, දිලීර හා ඇල්ගී විශේෂ එකතු වී සැදුනු ලයිකන් වර්ග හා විවිධ පාසි වර්ගද මීවන උයන සැබැවින්ම  ගෙනදෙන්නේ මහත්වූ සුවදායක පරිසරයකි. ශාකාගාරයේ වසර 100ක වඩා පැරණි ශාකවල නිදර්ශන බලා ගතහැක. කඳුකර වනාන්තර හා කඳුකර ප‍්‍රදේශයේ ශාකවල වියළි නිදර්ශන  ශාක කුලවලට විශේෂ වලට අනුකූලව වෙන් වෙන් වශයෙන් ආරක්‍ෂිතව තැන්පත් කර තිබෙන නිදර්ශන 1000ක් පමණ දැකගන්නට පුළුවන්.  උද්‍යානය තුළ දේශීය විදේශීය හා ආවේණික ශාක 20,000ක් පමණ පවතින අතර ලංකාවට ආවේණික ශාක 4143ක්ද ලංකාව හා විදේශීයට ආවේණික 3107ක්ද හග්ගලට ආවේණික ශාක වර්ග 100ක් පමණද උද්‍යානයේ තිබෙනවා. අද උද්‍යානය තුළ තිබෙන ගස් අවුරුදු 100 ට වඩා පැරණිවේ. ඉතා ඉහළට විහිදී ගිය දේශීය මෙන්ම උප ඝර්ම කලාපීය රටවලින් හඳුන්වා දුන් රූස්ස වෘක්ෂ ලතා දැක ගත හැක. එම සෑම ශාකයකම උද්භිද  විද්‍යාත්මක නාමය කුලය හා සම්භවය දක්වන නාම පුවරුද දැක ගන්නට පුළුවන. නුවරඑළිය ප‍්‍රදේශයට ආවේණික කළු වඳුරෝ ද මෙහි දක්නට ලැබේ.

 රෝස උයන, පළතුරු උයන, වීදුරු ගෘහය, නොක් ගිම්හාන නිවාසය,  ඉහළ පුෂ්ප උයන, අධ්‍යයන හා ව්‍යාප්තිය, බල්බ උයන, මධ්‍යම පොකුණ හා පැළ විකුණුම් හල ආදී අංගයන්ගෙන් සමන්විත අවුරුදු 150කට අධික කලක් පැරණි හග්ගල  උද්‍යානය අපූරු නිරමාණයකි. නොසැලිකිල්ලෙන් ගහ කොලට හානි නොකර පොලිතින් ආදිය දමා පරිසරය අපවිත්‍ර නොකර උද්‍යානය රැකගැනීම සැමගේ වගකීමයි. අපේ රටේ මහඟු දායාදයක්වන මෙම උද්‍යානය නරඹිය යුතුම තැනකි.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල