බේරුවල ‘සිනමන් බේ’ හෝටලයට එන්න

views 2017-04-08 09:45:00 travel_New

සිනමන් හෝටල් සමූහයට අලුතින් ම එක් වූ තරු පහේ හෝටලය “සිනමන් බේ බේරුවල” සංචාරක හෝටලයයි. කොළඹ සිට ගාලු පාරේ කිලෝ මීටර 58ක් ගිය තැන මොරගොල්ලේ සුන්දර වෙරළතීරයට මුහුණලා සිනමන් බේ හෝටලය පිහිටා තිබෙනවා. වෙරළ තීරයේ අක්කර එකොළහක් පුරා විහිදී තිබෙන සිනමන් බේ‍ හෝටලය එහි එන දෙස් විදෙස් අමුත්තන් පිනවන්නට උදාරම් විලාසයෙන් සැදී පැහැදී සිටිනවා.

දෙස් විදෙස් සංචාරකයන් හැම දන මන පිනවන මනරම් වෙරළ තීරය සිනමන් බේ හෝටලයේ ඇති වටිනාම සම්පතයි. හෝටල් අංගණයේ පසුපස පේනතෙක් මානයේ විහිද යන සුදෝසුදු ළවැලි තලාවෙහි වැතිරී හිරු කිරණෙහි පහස විඳගන්න, හැන්දෑයාමයේ ක්ෂිතිජ ඉමේ ගිලී හිරු කුමරා සැඟව යන අයස්කාන්ත දර්ශනය දකින්නට ඔබ එහි යා යුතුමයි.

ශ්‍රී ලංකාවේ වෙනත් හෝටලයක නැති තරම් අතිනවීන පහසුකම්වලින් හා රසමසවුළෙන් යුතු දෙස් විදෙස් අවන්හල් අටකින් සිනමන් බේ හෝටලය සමන්විතයි. රසගුණ සපිරි හෙළ කුළු බඩු යහමින් යොදා තැනූ දේශීය ආහාර පාන මෙන් ම පෙර අපරදිග, අප්‍රිකානු හෝ මැදපෙරදිග යන කවර රටක ආහාර පාන වර්ගයක වුවත් රසය සොයා යන කොයි කාටත් හිතේ හැටියට රස විඳිය හැකි ඕනෑම වර්ගයක කෑමක් බීමක් ‘බුෆේ’ බොජුන් හලෙන් ඔබට ලබා ගන්න පුළුවන්. උදේ දවල් සහ රාත්‍රී යන තුන් කාලයටම විවෘත මේ බොජුන් හලෙන් ඔබ කැමති ආහාර වේලක් ලබා ගන්නට පුළුවන්. ගාලු - කොළඹ මාර්ගය ඔස්සේ දුර බැහැර සංචාරයක යෙදෙන ඔබට අතරමග නවාතැන් පොළක් ලෙසත් දෛනික ආහාර ලබා ගන්නටත් සිනමන් බේ හෝටලය කදිමයි.

ෆයර් “Fire” අවන්හල සම්පූර්ණයෙන් ම “ගින්දර” එක්ක කරන සෙල්ලමක් වගෙයි. විදුලි පෝරණුවක ලා පලහාගත් අලුත්ම අලුත් මාළු වර්ග මුහුදු ආහාර හා මස් වර්ගවල රස බලන්නන්ට කියාපු තැනක්. මුහුදු සුළං විඳිමින් සඳ නැග එන අපූරුව බලමින් රසවත් කෑම වේලක රස බලන්න ෆයර් අවන්හල කදිමයි. ලෝකයේ ඉස්තරම් වර්ගවල මත්පැන් වර්ග හා කටගැස්ම එහි ඇති බීම හලෙන් ලබාගන්න පුළුවන්.

ලෙබනන් ක්‍රමයට සකස් කරන ලද අලුත්ම අවන්හල නම් කර ඇත්තේ Mess යනුවෙන්. විවෘත. අංගණයෙහි පිහිටි ලෙබනන අවන්හලෙන් ඔබ මින් පෙර රස විඳි නැති ප්‍රණීත ආහාරපාන රාශියක රස බලන්න අවස්ථාව ලැබෙනවා.

සිනමන් බේ හෝටලයට ම ආවේණික වූ නවතම අවන්හල ‘Rocksalt’ අවන්හලයි. මෙතෙක් ශ්‍රී ලංකාවේ කිසිම හෝටලයකදී, ඔබට අත්විඳින්න අවස්ථාව නොලැබුණු අලුත් ම අත්දැකීම ලබන්නට නම් ඔබ ‘රොත්සෝල්ට්’ අවන්හලට යන්න ඕනෑ. ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද විදුලි උදුනක බහා රත් කරන ලද ලාවා ගල් තලාවක් මත අතුරා ඔබ කැමැති ආහාර වර්ගයක් ඔබටම එ‍වලේ ම පිසගෙන ආහාරයට ගන්නට හැකි වීම එහි ඇති විශේෂත්වයයි. අංශක 80කට පමණ රත් කරන ලද ලාවා ගල්ලෑල්ල ඔබ ඉදිරියෙහි මේසය මත තබා ජපන් හෝ චීන රටාවට තමා කැමති මස් හෝ මාළු වර්ගයක් ඒ මත තබා පලහාගෙන ආහාරයට ගන්නට එහිදී ඔබට අවස්ථාව ලැබෙනවා. සිනමන් බේහි කාරුණික සංග්‍රහශීලී සූපවේදීන් සහ සහයකයන් ඒ සඳහා ඔබට සහය වනු ඇති. රොක් සෝල්ට් බොදුන් හලේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ ජපානයේ ජනප්‍රිය සුෂී සහ සෂමි වැනි අමු මාළු සහ මස්වර්ග රිසි පරිදි රස විඳින්නට එහිදී අවස්ථාව ලැබීමයි.

රොක් සෝල්ට් අවන් හලෙහි ඔබ විසින් ම පිළියෙල කරගන්නා ආහාර රස කරන්නට යොදන සුවිශේෂ ලුණු කුඩු ආනයනය කරන්නේ ඕස්ට්‍රේලියාවෙන්. මෙනු පතෙන් ඔබ තෝරා ගන්නා මස් මාළු හෝ එළවළු එම විශේෂ ලුණු, ගම්මිරිස්, සෝයා සෝස් තල තෙල් හෝ සෝයා තෙල් යොදා සකස් කරගෙන චොප්ස්ටික් යුවළකින් කෑමට ගන්නට පුළුවන්. ඔබේ ආහාරය සකස් කරගන්න පෙර ඒප්‍රනයක් හා සූපවේදීන් පලඳින හිස්වැසුමකින් ඔබ සරසාලන්නටත් රොක්සෝල්ට් අවන්හලේ මිතුරන් ඔබට සහය වනු ඇති.

වෙරළාසන්නයේ පිහිටි රොක්සෝල්ට් අවන්හල ඉදිරිපස එළිමහන් අංගණ පසුගිය දිනෙක අප එහි යන වට මල්-ලියකම්වලින් සරසා අලංකාර කර තිබුණේ එහි ආ යුක්රේන පෙම් යුවළකගේ ඉල්ලීම පරිදියි. දශකයක් පුරා පෙමින් බැඳී සිටි ඒ පෙම් යුවළ සිය ප්‍රථම ලංකාගමනයේ නවාතැන්පොළ ලෙස සිනමන් බේ හෝටලය තෝරා ගත්තේ එහි සුන්දරත්වය මෙන්ම සුපිරි ආගන්තුක සත්කාරය නිසාමයි. පාසල් වියේ සිටම පෙමින් බැඳුණු මේ යුක්රේන පෙම් යුවළගේ පෙම්වතාට සිය පෙම්වතියට විවාහ යෝජනාව ඉදිරිපත් කරන්නට කියාපු තැන කියලා හිතුණේ සිනමන් බේ හෝටලයේ වෙරළබඩ අංගණයයි. සිය පෙම්වතිය පුදුමයට පත් කිරීමේ අදහසින් ඇයට හොරා සිය මංගල යෝජනාව සුබ නැකතින් ඉදිරිපත් කරන්නට සිතූ ඔහුගේ සහයට ඉදිරිපත් වුණේ ‍හෝටලයේ Lifestylist. ඔහුගේ උදව්වෙන් රොක්සෝල්ට් අවන්හලේ එළිමහන් අංගණය මලින් සරසා සුභ වේලාවට මල් කලඹක් පිරිනමා ඔහු ඇය වෙත විවාහ යෝජනාව ඉදිරිපත් කළා. ඒ යෝජනාව පිළිගත් ඇයට ඔහු උණුසුම් හාදුක් දී වටිනා දියමන්ති මුදුවක් පැලැඳුවා. හෝටලයේ රැස්ව සිටි දෙස් විදෙස් අමුත්තන්ගේ අත්පොළසන් හා උණුසුම් සුභ පැතුම් මැද ෂැම්පේන් බෝතලයක් කඩා කේක් ගෙඩියක් කපා ඔවුන් විවාහ ගිවිසගත්තා.

ඔබේ ආදරණීය සමීපතමයන්ගේ උපන්දිනයට, පෙම්වතුන්ගේ දිනයට හෝ ජීවිතයේ වෙනත් වැදගත් අවස්ථාවක් සමරන්නට ලස්සන පුංචි උත්සවයක් සූදානම් කර දෙන්නත් ඔවුන් සූදානම්. ඔබේ අවශ්‍යතාව ඔවුන්ට දන්වා සිටි වහාම කිසිදු අඬුවක් නැතිව ඒ සියලු අවශ්‍යතා සපුරා දෙන්න තම කාර්ය මණ්ඩලය සූදානම් බව පිළිගැනීමේ අංශයේ විධායක නිලධාරී තරිඳු රිදීමාලියැද්ද මහතා පවසනවා.

තමන්ටම පමණක් සීමා වූ ප්‍රේමණීය සැන්දෑවක් ගත කරන්නට රිසි වූවන්ටම වෙන්වූ බොදුන් හල “800” යි. මෙහිදී රසවත් සලාද වර්ග හා කෙටි කෑම වර්ගවල රස බලන්නට, ඔබට හැකි වේවි. Delux සහ suite කාමරවල නවාතැන් ලබාගන්නා අමුත්තන් සඳහා විශේෂිත වූ මේ අත්දැකීම ඕනෑනම් ඔබේ මධු සමයේදීත් උදාකරගන්නට පුළුවන්.

“අයිස් ලෝන්ජ් Ice Lounge” බොදුන් හලෙන් මෙරට තිබෙන මිහිරිතම හිමකිරමක රස බලන්න ඔබට පුළුවන්. ලොව හොඳම මධු විතකින් සප්පායම් වෙන්නට බීම හලක් ද එහි තිබෙනවා. දිවා කාලයේදීත් එහි සේවාවන් විවෘතයි. පිහිනුම් තටාකය අසල එළිමහන් අංගණයේදී ඔබට එහි අත්දැකීම් ලබන්න පුළුවන්.

“ග්‍රේන් ලෝන්ජ්” හෙවත් සන්ධ්‍යා ශාලාව ඔබ කැමැති උත්සවයක්, ප්‍රියසාදයක් පවත්වන්න කියාපු තැනක්. උපන්දින සාද, ප්‍රියසාද, මිතුරුහමු, කාර්යාලීය සුහදහමු වැනි ඕනෑම උත්සවයක් ඔබ වෙනුවෙන් සැලසුම් කර දෙන්න සිනමන් බේ හෝටල කළමනාකාරීත්වය සහ කාර්යමණ්ඩලය සැදී පැහැදී සිටිනවා.

කාර්යාලීය වැඩමුළු සම්මන්ත්‍රණ හෝ වෙළෙඳ හමු පැවැත්වීම සඳහාත් මංගල උත්සව සඳහාත් හෝටලය වෙන් කරවාගන්න පුළුවන්. ආහාරපාන මෙන්ම ක්‍රීඩා විනෝදාස්වාදන මෙන්ම ශරීර සුවතා හා සම්බාහන මධ්‍යස්ථාවලින් ද එය සමන්විත යි. දිනපතා රාත්‍රියෙහි හෝටලයෙහි පැවැත්වෙන සංගීත සන්ධ්‍යාවන් සතියෙන් සතියට විවිධ රටවල තේමා අනුව ඉදිරිපත් කෙරෙනවා. ශ්‍රී ලාංකික චීන හෝ බටහිර සංගීතය මෙන් ම තමන්ට රිසි සංගීතයක මිහිර විඳින්නටත් අවස්ථාව තිබෙනවා. ගෘහස්ථ හා බාහිර ක්‍රීඩාවලට රිසි පරිදි සහභාගී වීමට පුළුවන්.

සිනමන් බේ හෝටලයෙහි කාමර සියල්ල උසස් ම තත්ත්වයේ ඒවා වීමත් විශේෂයක්. සුපිරි පන්තියේ suite residents දෙකින් හා suit කාමර ඇතුළු සුවපහසු කාමර 200කින් හෝටලය සමන්විතයි. වායුසමනය කරන ලද යාබද නාන කාමර සහිත සුවපහසු කාමර සියල්ල මුහුදට මුහුණලා පිහිටා තිබෙනවා. දවසේ 24 පැයේ ම ඔබට අවශ්‍ය පහසුකම් හා සේවා සපයන්න හෝටලයේ සංග්‍රහශීලී කාර්යමණ්ඩලය සූදානම්.

හෝටලයට නුදුරින් බේරුවල නගරයට ආසන්නව පිහිටි බ්‍රීෆ් ගාඩ්න් “Brief Garden” සොබාදහමට ආදරය කරන පරිසර ලෝලීනට නිදහසේ ඇවිද යමින් දැකබලා තුටු වන්නට කදිම අසපුවක්. සුප්‍රකට කලාකරුවකු හා වැවිලිකරුවකු වූ බෙවිස් බාවා විසූ නිවෙස හා අක්කර පහකින් යුතු රමණීය තුරුලතා මණ්ඩපය දුටුවන් මනස සුවපත් කරවනසුලුයි. මීටියාගොඩ සඳකැන් පාෂාණ ආකරය, ආරියපොළ වෙස්මූණු කම්හල, ගාලු කොටුව, ධීවර වරාය, කන්දේ විහාරය, බෙන්තොට හා මාදු ග‍ඟේ බෝට්ටු සවාරිය, බේරුවල ප්‍රදීපාගාරය හා කොස්ගොඩ කැස්බෑ අභිජනනාගාරය සිනන් බේ හෝටලයේ ආසන්නයේ පිහිටි සංචාරක ආකර්ෂණ ස්ථාන. හෝටලයේ නවාතැන් ගන්නා ඔබට දිනක් ඇතුළත මේ සියලු තැන් නරඹා එන්න කාල වේලාව ප්‍රමාණවත්.

නිවාඩුවට දරුවන් කැටුව මූදුකරයේ රවුමක් යන්න, ගිමන් නිවන්න සුපිරි හෝටලයක අත්දැකීම විඳගන්න හොඳම නවාතැනක් ලෙස සිනමන් බේ සංචාරක හෝටලය හඳුන්වන්න පුළුවන්. වෙහෙසකර දිවියෙන් මොහොතකට මිදී සිත කය සුවපත් කරගන්න එය කදිම ඔසුවක් වනවාට සැක නෑ. ඔබට අවශ්‍ය විස්තර www.cinnamonholels.com  හෝ 94342297010 යන දුරකථන අංකයෙන් විමසා දැනගන්න පුළුවන්.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල