කලබල කරදර මඳකට දුරු කර මොහොතක සුව දෙන වන මැද නිවහන Kuruwita Retreat

views 2017-03-01 09:59:00 travel_New

ජීවිතයේ සුන්දරතම මොහොත ඔබ ගත කරන්න පෙරුම් පුරන්නේ කොහොම ද? පෙරුම් පුරාගෙන ඔබේ අත ගත් මනාලයා හෝ මනාලිය සමඟ එක්ව ගත කරන සොඳුරු මධුසමය ජීවිතය පුරාවටම මතක හිටින සිහිවටනයක් බවට පත් කරගන්නට බොහෝ දෙනකු කැමැති බව සහතිකයි. ඒ සොඳුරු මොහොත නිහඬ නිසසල වන අරණක් මැද, සඳ පහන් රැයෙක, උණුසුම් සුව යහන්තලාවක ගත කරන්න ඇත්නම් ඒ කොතරම් අපූරු ද?

නිසංසලේ ගලා හැලෙන ගංගාවේ මුදු සරයත්, ඉඳහිට නැ‍ඟෙන නිශාචර පක්ෂියකුගේ නාදයත් හැරුණු කොට ඔබේ ලොවට බාධා කරන්නට කාත්කවුරුවත් නේන නිදහසේ තෝතැන්නක මොහොතක් ගෙවා දමන්න කවුද අකැමැති? නිදහසත්, සොබා සිරියත්, සුව පහසුවත්, උපරිම ආගන්තුක සත්කාරයත් හිතේ හැටියට අත්විඳින්න කියාපු නවාතැන්පොළක් ලෙස කුරුවිට රිට්‍රීට් ‘Kuruwita Retreat - සංචාරක නිකේතනය හඳුන්වන්නට පුළුවන්.

මධු සමය ගත කරන්න යන මනාල යුවළ පමණක් නොවෙයි, නගරයේ කලබලයෙන් මොහොතකට දුරස් වෙලා නිහඬ නිසංසල වන වදුලක සුවය විඳින්නට කැමැති කොයි කාට වුණත් සිතැඟි පරිදිම විවේකය ගත කරන්න කුරුවිට රිට්‍රීට් නිවහන කියාපු තැනක්.

සුපිරි සංචාරක හෝටලයක තරමටම සුවපහසු යහන් ආසන මෙන්ම පහසුකම් සියල්ලෙන් සපිරි මුත් සහමුලින්ම නාගරික කලබලයෙන් මිදුණු පරිසරයක පිහිටි මේ අපූරු නවාතැන ගෙදර වගේම නිදහස් තැනක්. දෛනික කාර්යබහුල ජීවිතයේ වෙහෙස මඳක් නිවා සනහා ගන්න වන මැද පිහිටි මේ නිවහන කදිමයි.

අගනුවර සිට පැය දෙකක් වැනි කෙටි කාලයකින් ළඟාවිය හැකි කුරුවිට රිට්‍රීට් නිවහන පිහිටා ඇත්තේ කුරුවිට නගරයේ සිට කිලෝමීටර් පහක් පමණ දුරින්. කොළඹ - රත්නපුර මාර්ගයේ කුරුවිට එරත්න පාරට හැරී කිලෝමීටර පහක් පමණ යන විට බටතොට ගම්මානයේ සරුසාර ශාන්ත ඇන්තනීස් තේ වතු යාය මැද මේ නිවහන ඉදි කර තිබෙනවා.

සුනිල් වන් තේ යාය මැදින් විහිදුණු පටු පාර කෙළවර තුරු වදුලක් මැද ඉදි කළ සුව පහසු කාමර පහකින් එය සමන්විතයි. එකවර හතර දෙනකුට පහසුවෙන් නවාතැන් ගත හැකි වායු සමනය කළ සුවපහසු කාමර පහක් කුරුවිට රිට්‍රීට්හි තිබෙනවා. දුලභ ගණයේ තුරුලතා මෙන්ම සතුන් හා අක්කර හතක් පුරා විහිදුණු වනයෙහි සතුන් හා විහඟුන් නිදහසේ සැරිසරන අයුරු දැකගන්නත් පුළුවන්. සුමට වුණු ගල් තලා අතරින් නිසංසලේ ගලා බසින කුරු ගං කොමළියගේ සිහින් රාවය නිවහනේ නිසංසල පරිසරයට එක්කරන්නේ අමුතුම මිහිරියාවක්. වතු යාය මැද පිහිටි ස්වාභාවික ජල තඩාගයේ කිමිදී ගත සිත සුවපත් කරගන්න, නැත්නම් කුරු ග‍ඟේ පිහිනා දියුබං ගසන්න ගඟ දියට බය නැති ඕනෑම කෙනකුට පුළුවන්.

වන අරණ මැද ඉදි කළ යුගල කාමරවල බිත්ති වීදුරුවලින් ආවරණය කර ඇති හෙයින් එහි සුවපහසු යහනාවක වැතිරෙන ඔබට දැනෙන්නේ හරියටම ඔබ වනන්තරය මැද යහන්තලාවක සැතපී සිටින්නා වගේමයි.

වීදුරු කුටියෙන් එහා පෙනෙන පරිසරයේ සොබා සිරිය දෑසින් විඳගන්නට, සඳ එළියේ සිසිලස විඳිමින් විහඟුන්ගේ මිහිරි සරින් නැලැවිල්ලේ සැතැපෙන්නට, අරුණෝදයේ පහන් තාරකා එළියෙන් පිබිදී උදානයෙන් මත් වන්නට නම් ඔබ එහි යන්නම ඕනෑ.

කුරුවිට රිට්‍රීට් සාමාන්‍යයෙන් ඔබ අප නිතර යනෙන වෙනත් සංචාරක නිවහනකින් වෙනස් වන බොහෝ කාරණා අතර එහි ඇති සොඳුරු පරිසරය මෙන්ම උපරීම ආගන්තුක සත්කාර ගැනත් නොකියාම බෑ. නිවහනේ ප්‍රධානියා යාන්තම් තාරුණ්‍යයේ එළිපත්තට පය තැබූ ධෛර්ය වන්තයෙක්. ඔහු නමින් රවිඳු රංගන. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා අයර්ලන්තයේ ඩබ්ලින් සරසවියෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් හිමි කරගෙන සිටින ඔහුගේ අදහස මේ වැඩකටයුතු අතරේම සිය පශ්චාත් උපාධියත් සම්පූර්ණ කිරීමටයි. ජීවිතයේ බොහෝ කටුක අත්දැකීම් රැසක් මැදින් අභියෝග ජය ගත් රවිඳු තවමත් විසිපස් හැවිරිදි වියේ පසුවෙනවා. ඔහු මෙන්ම තරුණ කාර්යක්ෂම සහායකයන් පස් දෙනකු හා එක්ව රවිඳු සිය නිවහනේ සේවය පතා එන සියලු අමුත්තන්ට උපරීමයෙන් සත්කාර සංග්‍රහ කරනවා. මධුසමය ගත කරන්න එන මංගල යුවළ මෙන්ම නිදහසත්, පරිසර‍ සිරියත් අගයන දෙස් විදෙස් සංචාරක හැම දෙනාම රස මසවුළෙන්, විනෝදයෙන් මෙන්ම සේවයෙන් තෘප්තිමත් කරන්නට ඔවුන් උපරීමයෙන් කැප වෙනවා. සුපිරිසුදු කාමර, රසවත් ගුණවත් ආහාරපාන මෙන්ම අමුත්තන්ගේ රුචිය පරිදි විනෝද වීමට අවස්ථාව සලසා දීම රවිඳුගේ අපේක්ෂාවයි.

“මෙතැනට එන අමුත්තන්ගේ පළමු කැමැත්ත නිදහස හා නිස්කලංක භාවය. ඒ වගේම ස්වභාව සෞන්දර්ය උපරීමව විඳින්නට රිසි දෙස් විදෙස් අමුත්තන් අපේ නිවහන තෝරාගන්නවා. ගහට කොළට සතාසීපාවාට ඇළට දොළට ආදරය කරන ලාංකිකයන් මෙන්ම එංගලන්තය, රුසියාව, ඇමෙරිකාව හා ඇතැම් මැදපෙරදිග සංචාරකයන් ද වරක් ආවොත් යළිත් වරක් හෝ අප වෙත එනවාමයි. ඒ අපි ඔවුන්ට ගෙදර වගේම නවාතැනක් ආහාරපාන හා නිදහසක් ලබා දෙන නිසයි” රවිඳු කියනවා.

“අපේ සේවකයන් සංඛ්‍යාව සීමිතයි. ගමේ තරුණයන්ටයි අපි රැකියා ලබාා දෙන්නේ. වැටුපට අමතරව අපි ඔවුන්ගේ හැකියාව දියුණු කරගන්න පවුල දියුණු කරගන්න අතහිත දෙනවා. අපේ අමුත්තන් එන්නේ නිදහස සොයාගෙන. ඔවුන් පතන නිදහස අපි උපරීමයෙන් සලසා දෙනවා. අමුත්තකුගේ ඉල්ලීමකින් පිට කිසිවකු ඔවුන්ගේ නිදහසට බාධා කරන්නේ නෑ. අමුත්තන්ට අවශ්‍ය ආහාරපාන අපි හැකි තරම් රසට, පිරිසුදුවට කලට වේලාවට සකස් කර දෙනවා. විදේශිකයන් හෝ කුඩා දරුවන් සඳහා විශේෂ ආහාරපාන අවශ්‍ය නම් අපි ඔවුන්ට රිසි පරිදි ඒවා සකස් කරගැනීමට අපේ මුළුතැන් ගෙයි පහසුකම් සලසා දෙනවා. බොහෝ විට කාන්තාවන් මේ ක්‍රමයට ඉතා කැමැතියි. පිරිසුදු බවත්, පහසුකමත් උපරීම වන නිසා වරක් පැමිණි අමුත්තන් බොහෝ විට නැවත මෙහි එනවා” රවිඳු කියන්නේ දැඩි විශ්වාසයෙන් යුතුවයි.

කාමර සියල්ල වායු සමනය කර ඇති අතර සීතල කාලයට උණුසුම්ය. කුරුවිට රිට්‍රීට් පිහිටා ඇත්තේ සමනොළ ගිරි පාමුල ගණ වැසි වනාන්තරයක් මධ්‍යයේය. වසරේ බොහෝ කලක් ඒ ප්‍රදේශයට යහමින් වැසි වැටුණ ද නවාතැන පහළින් ගලා බසින කුරු ගං කොමළිය උරණ වී පිටාර නොයයි. නවාතැන කෙළවර ගංදෑල මනරම්ය. ගඟ දිගේ පහළට පාරුවක නැඟී ගොස් කුරු ග‍ඟේ අසිරිය විඳින්නට, අසල බිමෙක ඇති මැණික් පතලක වගතුග සොයා බල්නනට කැමැති අයකුට හැකිය.

නවාතැනේ සිට අවට පිහිටි ආගමික හා ඓතිහාසික සිද්ධස්ථාන වෙත කෙටි කලකින් ළඟා විය හැකිය. එරත්න පාරේ සමනොළ සිරස වඳින්න යනෙන බැතිමතුනට ගිමන් නිවන්නට කදිම නවාතැන් පොළකි. නිවහනේ සිට කිලෝමීටර දෙකක් දුරින් පිහිටි වර්ණාගල ඇල්ල බලන්න යන්නත් බළංගොඩ මානවයා විසූ බව කියැවෙන බටදොඹ ලෙන බලන්නට සංචාරයක් සැලසුම් කරගැනීමට ද පුළුවන.

බුදුරජාණන් වහන්සේ සිරීපාදයට වැඩම කරවන අතරතුර දිවා කාලයේ ගිමන් නිවා ගන්නට නතර වූ බව කියැවෙන ඓතිහාසික ‘දිවා ගුහාව’ පිහිටා ඇත්තේ නිවහනේ සිට කිලෝමීටර 3.5 ක පමණ වූ කෙටි දුරකිනි. කඳු නඟින්නට, වන තරණයට හා ගවේෂණයට රිසි සංචාරකයන්ගේ මනදොළ සපුරන සංචාරක ආකර්ෂණ ස්ථාන රැසක් නිවහන අවට පිහිටා තිබේ. නිල්වන් තේ යාය මැදින් ඇවිද ගොස් තේ දල්ලක් නෙළන තැන සිට තේ කෝප්පයකට මුසු වී රසවත් පානයක් බවට පත් වන තුරා පවතින තේ කර්මාන්තයේ සොබාව සියැසින් දැකගන්නටද ඕනෑ නම් හැකි වෙයි.

පවුල් කිහිපයක් එක්වී පවත්වන සුහද හමුවලට, කාර්යාලයක වාර්ෂික සුහද හමුවලට මෙන්ම සාද සම්මන්ත්‍රණ සඳහා ද කුරුවිට රිට්‍රීට් හෝටලය වෙන් කරවා ගත හැකිය. දෙස් විදෙස් ක්‍රමවලට සැකැසූ පිරිසුදු රසවත් ආහාරපාන, විනෝදායන මාධ්‍ය, කැලිප්සෝ සංගීතය මෙන්ම අන්තර්ජාල පහසුකම් ද අමුත්තන්ගේ ඉල්ලීම පරිදි සපයන්නට ඔවුන් සූදානම්. දේශීය සංචාරකයන්ට දැරිය හැකි පහසු මිලකට නවාතැන් හා සේවා සපයා ගැනීමට හැකි වීම ද එහි විශේෂත්වයකි.

පිරිසුදු බව රසවත් හා ගුණාත්මක බව පෞද්ගලිකත්වය රැකීම හා නිදහසට උපරීම අවස්ථාව සලසා දීම තම ව්‍යාපාරයේ අරමුණ බව රවිඳු පවසයි. තරු පන්තියේ සුපිරි හෝටලයකින් ඔබට ලැබෙන සත්කාර සේවාව හා සුවපහසුව ඈත ගම් දනව්වක සුන්දර වන අරණක් මැදදී උදා කරගැනීමට අවස්ථාවක් සිය සේවා දායකයනට ලබා දීම තම තෘප්තිය වන බව ද ඔහු පවසයි.

කුරුවිට රිට්‍රීට් සංචාරක නිවහන පිළිබඳ වැඩිදුර තොරතුරු kuruwitaretreat@gmail.com හෝ www.kuruwitarereat.com යන විද්යුත් ලිපිනවලින් හෝ +94773335813 යන දුරකථන අංකයෙන් විමසා දැනගැනීමට හැකි වේ.

Wmqgd .ekSu ��ir weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල