දරුවන්ගේ ශ‍්‍රවණාබාධ හඳුනා ගන්න

views 2018-04-06 10:01:00 mother_New

දරුවකුගේ සුරතල් කතාව, සුරතල් සිනාව දෙමාපිය සිතට සතුටකි. එහෙත් දරුවා යමකට ප‍්‍රතිචාර නොදක්වන්නේ නම් ඒ පිළිබඳ ලැතැවුල ක් ඔවුනට ඇතිවේ. එසේ දරුවා යමකට ප‍්‍රතිචාර නොදැක්වීම හෝ ප‍්‍රතිචාර දක්වන්නට පමාවීම දරුවාගේ ”කන” (ශ‍්‍රවණාබාධ* ආශ‍්‍රිත ගැටලූවක් නිසා ඇති වූවක් වීමට ඉඩ තිබේ.

ඒ අනුව මුල් කාලයේ දරුවකුගේ ”කන” නොඇසී ගියහොත් දරුවාට භාෂාව ඉගෙන ගැනිමට බාධා පැමිණෙන අතර, කන නොඇසී යන දරුවෙකුට කතා කිරීමට ද නොහැකි බැවින් ඒ පිළිබඳ මුලදීම අවධානය යොමු කිරීම වැදගත්ය. අතීතයේ නම් ”ගොළු – බිහිරි” දරුවන් ලෙස මොවුන් හැඳින්වීම කළහ, මෙම දරුවන්ට අධ්‍යාපනයේදී, සමාජ ජීවිතයේදී විවිධ මානසික ප‍්‍රශ්න වලට මුහුණ දීමට සිදුවිය හැකිය.

උපතේ සිට වසර පහක් යනතුරු දරුවකුගේ මොළයේ සංවර්ධනය වේගවත්ව සිදුවන බැවින්, මෙම කාලයට පෙර ශ‍්‍රවණාබාධ හඳුනා ගැනීම හා ඒ ආශ‍්‍රිත ප‍්‍රතිකාර කරා යොමුවීම වැදගත්ය. ළදරුවාට වයස අවුරුදු එකක්, දෙකත් අතර කාලයේදී හෝ ඊට ප‍්‍රථම ප‍්‍රතිකාර සඳහා යොමු වීම අවශ්‍යය.

මෙම තත්ත්වය දරුවාට මාස හයක් පමණ වෙද්දී හඳුනා ගැනීමට හැකිවේ. දරුවාගේ කන නොඇසෙන විටක නම් ශබ්දයක් ඇසුණු විට, කටහඬක් ඇසුණු විට අනෙකුත් දරුවන් මෙන් ප‍්‍රතිචාර දැක්වීමට නොහැකිය.

පිටරටවල දරු උපතක් සිදුවූ විට (සෑම දරු උපතකදීම* ශ‍්‍රවණ පරීක්‍ෂණයක් කරා සෑම දරුවකුම යොමු කරනු ලබයි. එම පරීක්‍ෂණයේ කිසියම් වෙනසක් හඳුනා ගතහොත් වැඩිදුර පරික්‍ෂණ සඳහා බිලිඳා යොමු කෙරෙන අතර, මෙය කලින් හඳුනා ගැනීම මගින් ළදරුවාට කඩිනම් ප‍්‍රතිකාර ලබා දීමට හැකිය.

ලංකාවේ මෙම පහසුකම ඇත්තේ රිජ්වේ ආර්යා ළමා රෝහල වැනි රෝහල් කිහිපයක පමණි.
කළ යුතු දේ

නිවැරදිව ශ‍්‍රව්‍යාබාධයක් හඳුනාගත් පසු ළදරුවාට ශ‍්‍රවණාධාරයක් මගින් හෝ කර්ණ ශංඛ බද්ධයක් මගින් ඇසීමට ඉඩ සලසා දිය හැක. මෙම ශ‍්‍රව්‍යාධාර උපකරණ මිල අධිකය. කෙසේ වුවත් මෙම ශල්‍යකර්මයෙන් පසු 80% ක් පමණම දරුවන්ට සාමාන්‍ය ජීවිතයට අවතීර්ණ වීමේ හැකියාව ඇත.

මෙවැනි දරුවන් ශ‍්‍රව්‍යාධාර සඳහා යොමු කළ පසු විශේෂ කථන පුහුණුවකටද යොමු කළ යුතුවේ. පුහුණු කථන චිකිත්සකයින් මේ සඳහා සිටින අතර, එමගින් දරුවාට කථන පුහුණුව ලබාදීමට ක‍්‍රියාකළ යුතුය. කන නොඇසීම හේතුවෙන් යම් කාලසීමාවක් එම දරුවන් කතා කිරීමට නොහැකිව සිටි බැවින්, ඔවුන්ට කතාව සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍ය වේ.

ශ‍්‍රවණාබාධ හටගැනීම
බොහෝ දුරට මෙය මව්කුස තුළදී සිදුවන්නකි. එබැවින්ම මෙය උපතින් ඇතිවන තත්ත්වයක් වන අතර, මව ලබාගත යුතු රුබෙල්ලා එන්නත ලබා නොගැනීම, ගර්භණී කාලය තුළ මවට ඇති දියවැඩියාව, අධි රුධිර පීඩනය මෙයට හේතු විය හැකිය.

දරු උපතේදී ඇතිවිය හැකි පීඩනයක් හේතුවෙන් මොළයට ගමන්කරන ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවීම නිසාද මෙම ගැටලූව ඇතිවිය හැකිය. තවද මෙනින්ජයිටීස් හෝ එන්සෙෆලයිටිස් වැනි රෝගයකට ගොදුරු වුවහොත් ඉන් ඇතිවන බලපෑම් නිසාද දරුවාට මෙවැනි අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවේ. ඇතැම් විටක නෑනා, මස්සිනා විවාහයෙන් උපදින දරුවන්ටද මෙම අත්දැකීමට මුහුණ දීමට සිදුවන අවස්ථා ඇත.

කෙසේ වුවත් යම් ශ‍්‍රවණාබාධයක් සහිතව දරුවකු උපත ලැබුවහොත් එය ඉතා ඉක්මනින් හඳුනාගෙන අවශ්‍ය පිළියම් යෙදීම වැදගත්ය. එ් එම දරුවාගේ අනාගතය මෙවැනි දේකින් අවහිර වීමට ඉඩ නොතැබිය යුතු බැවිනි.


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල