කුඩා දරුවන් 'බඩ පිරෙන්න' බත්ම කෑ යුතු නැත

views 2018-03-20 09:30:00 mother_New

බඩ පිරෙන්න බත් කන්න ඕනේ' අපේ වැඩිහිටියන් තවමත් කුඩා දරුවන්ට එසේ පවසනු අපි අසා ඇත්තෙමු. එහෙත් ඒ බඩ පිරෙන්න බත් කෑම වර්තමාන ළමා පරපුර කෙරෙහි සියයට සියයක් නොගැලපෙන බව ඔබ දන්නවාද?

මීට පරම්පරා කිහිපයකට ඉහත අප සමාජයේ දරුවන් ගෙවූ දිවිපෙවෙත සහ වත්මන් සමාජයේ දරුවන් ගෙවන දිවි පෙවෙත අතර සුවිසල් පරස්පරතා පවතින බව රහසක් නොවේ. අතීතයේ නිවස තුළ සේම වත්තපිටියේ වසු පැටවුන් පසුපස දුවමින් ඇලේ දොලේ සෙල්ලම් කරමින් විනෝදය පිණිස කය වෙහෙසූ දරු පරපුර අද දක්නට ඇත්තේම නැත. එමෙන්ම 'කටේ කිරි සුවද' යාමටත් පෙර දරුවා 'පාසල් අධ්‍යාපනයේ වහලෙකු' කිරීමේ ශෝචනීය තත්ත්වයක් අද දක්නට ලැබෙන බැවින් දරුවාට හරි හැටි ඇග පත තබා අතක් පයක් වත් සෙලවීමට ඉඩක් නොමැති තරම්ය.

එනිසාම අද ඇත්තේ බොහෝ දෙනෙකු ශෝචනීය සරදමක් පවසන පරිදි 'බ්‍රොයිලර්' ගණයේ දරු කැලතකි. එහිදී දරුවාගේ ආහාර රටාවද දරුවාගේ ජීවන රටාවට ගැලපෙන පරිදි වෙනස් විය යුතුය. 'සම බල' ආහාරවේලක ඇති වැදගත්කම අප සැම පාසලේ ප්‍රාථමික පන්තිවලදීම ඉගෙනගෙන ඇත්තෙමු. එහෙත් එම ආහාරයේ වැදගත් කම එදා දරුවන්ට සාපේක්ෂව අද දරුවන්ට කිහිප ගුණයකින් අදාල වන බව කිව යුතුය.

ඒ නිසා දරුවාට දෙන බත් ප්‍රමාණයට සාපේක්ෂව එළවළු, පළා වර්ග, පළතුරු, ආදිය තුලනාත්මකව වැඩි කළ යුතුය. එමෙන්ම දරුවා පැණි රස, සහ පිටි බහුල ආහාර සහ ලුණු වලින් හැකිතාක් දුරට ඉවත් කළ යුතුය. එසේ  බත් ප්‍රමාණය අඩුකොට දරුවාගේ කුස පිරීම පිණිස මස්මාංශ වලටත් වඩා එළවළු, පළතුරු, කිරි යොදා ගත හැකිනම් එය දරුවාගේ අනාගත යහපැවැත්ම පිණිස මහත්සේ උපකාරීවනු ඇත. විශේෂයෙන් දරුවා නිදන්ගත රෝග වලින් දුරස් කිරිමට එය මහත් පිටිවහලක් වනු ඇත.


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල