බබාලට සිරප් දෙන්න ඕන කොහොමද?

views 2018-03-08 11:43:00 mother_New

කැස්ස සඳහා භාවිත කරන සිරප් වර්ග වෛද්‍යවරුන් විසින් සුලබව භාවිත කරන ඖෂධ වර්ගයකි. ශ්‍රී ලංකාවේ, ශ්වසන මාර්ගයෙන් සෙම ඉවත් කිරීමට යොදා ගන්නා ඖෂධ ද, කැස්ස අඩු කිරීමට ඇති ඖෂධ  ද මෙම දෙකෙහි සංයෝග ද භාවිත කරයි. කැස්ස අඩු කිරීම සඳහා ඇති සිරප්වල  අති සක්‍රිය රසායනික සංඝටක නම් ඩෙකස්ටේ‍රාමතෛෆන් (dextromethorphan), කොඩේන් (codeine) හෝ ෆොල්කොඩේන් (pholcodine) ය.

ප්‍රතිහිස්ටැමීන ද (anti-histamines) මෙම සිරප් වර්ගවලට සුලබව එකතු කරනු ලබයි. පාවට්ටා සහ තල් සූකිරි මේ සඳහා භාවිත කරනු ලබන  දේශීය සංයෝගදෙකකි. තවද තියෝෆිලින් (theophylline), , සැල්බියුටමෝල් (salbutamol) ටර්බියුටලින් (terbutaline) වැනි ශ්වසනය පහසු කරවන ඖෂධවල සුළු මාත්‍රා ද මෙම සිරප් වර්ගවලට සුලබව එක්කරනු ලබයි.

කැස්ස යනු ශ්වසන මාර්ගයේ ඇතිවන රෝග  ලක්ෂණයකි. එය ඇති වීමට හේතුවන බොහෝ රෝග පවතී. උදා: ඇදුම රෝගය, ආමාශයේ සිට අන්නසේ‍රා්තයට ආමාශික අම්ල ගමන් කිරීමේ තත්ත්වය, නාසයේ ඇති වන ආසාදන නිසා උගුරේ හෝ නාසයේ සෙම එකතු වීම, ශ්වසන මාර්ගයේ පහළ හෝ ඉහළ කොටසේ ඇති වන ආසාදන ඉන් සමහරක්ය. එම නිසා කැස්ස සඳහා වන ඖෂධ නිර්දේශ කිරීමට ප්‍රථම කැස්සට හේතුව සලකා බැලිය යුතු වේ.

කුඩා දරුවන්ගේ විවිධ අවස්ථාවලදී කෙටිකාලීනව ඇතිවන කැස්ස සඳහා  කැස්ස අඩුකිරීමට භාවිත කරන සිරප් වර්ග භාවිත කිරීම ප්‍රයෝජනවත් වේයැයි සිතිය හැකි සාක්ෂි ඉතා අඩුය.  ඒවා මගින් ශ්වසන මාර්ගය තුළ සෙම එකතු වීම සිදුවිය හැකිය.  සෑම ඖෂධයකට මෙන්ම කැස්ස අඩු කිරීමට භාවිත කරන සිරප්වල ද ඒවාට ආවේණික අතුරු ආබාධ ඇත. ඒවා නම් නිදිමත ගතිය, නිතර තරහා යන ස්වභාවය (irratibility) සහ අධි ක්‍රියාකාරීත්වය (hyperactivity) ය. කැස්සට පාවිච්චි කරන සිරප් වර්ග සඳහා ඇබ්බැහි වීම සහ අනවශ්‍ය ලෙස එය පාවිච්චි කිම හඳුනාගත් ගැටලුවකි. එමනිසා කැස්ස පාලනයට  ඇති සිර්ප වර්ග ලබාගත හැක්කේ රාජ්‍ය ඔසුසැල්වලින් හා පෞද්ගලික රෝහල් විසින් පවත්වාගෙන යනු ලබන ෆාමසිවලින් පමණි.  කැස්ස මගින් දරුවාගේ නින්දට බාධා ඇතිවේ දරුවා ආහාර ගන්නා අවස්ථාවේදි කැස්සක් ඇති වුවහොත් ආහාර වමනය යාමද සිදු විය හැකිය. පන්ති කාමරයේදී ද කැස්ස යනු දරුවාට බාධාවකි. කැස්ස අඩු කරන සිරප්වර්ග මින් ඇතැම් ගැටලු යම්තාක් දුරකට අඩුකරනු  ලබයි.

නමුත් ඒවා වෛද්‍යවරයකුගේ නිර්දේශය ටතේ ලබාගත යුතු වේ. ශ්වසන මාර්ගයෙන් සෙම ඉවත් කිරීමට ගන්නා ඖෂධවල ද විශේෂ වැදගත්කමක් ඇති බවට ඇති විද්‍යාත්මක සාක්ෂි විරලවේ. කැස්ස අඩු කරන  සිරප් වර්ග සහ ශ්වසන මාර්ගයෙන් සෙම ඉවත් කිරීමට ගන්නා සිරප් වර්ග සංයෝග කිරීමට හේතු ද පැහැදිලි කිරීමට අපහසු වන්නේ ඒවායේ ක්‍රියාකාරීත්වය එකිනෙකට ප්‍රතිවිරුද්ධ වන බැවිනි. වඩා සුදුසු වන්නේ දිවා කාලයේදී කැස්ස මගින් සෙම ඉවත් කරන සිරප් වර්ගයක් මගින් සෙම ඉවත් කිරීම සහ රාත්‍රී  කාලයේදී කැස්ස අඩුකරන සිරප් වර්ගයක් භාවිත කිරීම මගින් දරුවාට කැස්ස මගින් සිදුවන අවහිරතාව වළක්වා හොඳ නින්දක් ලබා ගැනීමට අවකාශය සැලසීමයි.

කැස්ස නම් වන සුලබ ගැටලුවට වෙනත් විසඳුම් තිබේද?
උගුරේඅමාරුවලට භාවිත කරන ලොසින්ජර් වර්ග,මී පැණි ආදිය පීඩාකාරී උගුරට සහනයක් ලබාදෙන අතර කැස්ස අඩු කරනු ලබයි. උණුසුම් පාන වර්ග, මෙන්තෝල් (menthol) හා පෙර්මින් (peppermint) ද කැස්ස අඩු කිරීමට දැයක වනු ඇත. සෙම ඉවත් කිරීමට හුමාලය ඇල්ලීම සහ ඉන් පසු පපුවට ලබාදෙන මෘදු ව්‍යායාම (physiotherapy) යම් තාක් දුරට වැදගත් වේ.

තවද පහත කරුණු සැලකිය යුතුය
1. කැස්ස අඩු කිරීමට භාවිත කරන ඖෂධ ළදරුවන් (වයස අවුරුද්දකට අඩු) සඳහා භාවිත නොකළ යුතුවේ
2.කිසි විටක කැස්ස අඩු කිරීමට භාවිත කරන ඖෂධ වෛද්‍ය උපදේශයකින් තොරව ලබා නොගත යුතුය.
ඵලදායිතාව අඩු බැවින් කැස්ස අඩු කිරීමට භාවිත කරන ඖෂධ බොහොමයක් සංවර්ධිත රටවල (UK,USA, Australia, Canada) භාවිත නොකරන අතර සමහර සංවර්ධනය වන රටවලද භාවිත නොකරයි.


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල