මගේ බිළිඳා නිතරම නෑවිය යුතුද?

views 2017-11-20 11:34:00 mother_New

අලුත උපන් දරු පැටියා සුවෙන් සැපෙන් හැදෙන වැඩෙන එක තමයි නේද ඔබෙත් ඔබේ පවුලේ හැම දෙනාගේත් සතුට? ඉතින් ඒ සතුට බාධාවකින් තොරව විඳ ගන්න නම් ඔබ අනිවාර්යෙන්ම දරුවාගේ සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුයි. එසේ දරුවා පිරිසිදුව තැබීමෙන් ඉතා පහසුවෙන් ඔහුව හෝ ඇයව බොහොමයක් ලෙඩ රෝග වලින් වලක්වා ගෙන තබා ගැනීමට පුළුවන්. ඉතින් මේ අලුත උපන් දරුවකු නෑවීම යනු බොහෝ මවු පියන්ට නුහුරු දෙයක්. සමහර දරුවන් වතුරට බය වන අතර ඔවුන්ගේ දැඟලිල්ල නිසා පාලනය කර නොහැකිව ඔබේ අතින් ගිලිහි යයි කියා ඔබටත් බය සිතෙනවා ඇති... අද අපි කියවා බලමු එසේ නොවී දරුවා නිසි ලෙස පිරිසිදුව තබා ගන්න අයුරු...
 දරුවා නිතරම නෑවිය යුතුද?

මෙය තීරණය වන්නේ ඔබේ දරුවා කොපමණ දාඩිය දමමින් සහ වෙනත් අයුරින් අපිරිසිදු වනවාද යන්න මතයි. හැබැයි දින තුනකට වරක් වත් දරුවා මනා ලෙස නාවා පිරිසිදු කිරීම අතිශයින්ම වැදගත්. එසේ නැතිනම් සමේ ආසාදන ඇතිවී දරුවාත් ඔබත් දෙදෙනාම අපහසුතාවයට ලක් වෙන්න පුළුවන්. ඒ අතර දරුවා නාවන්නේ නොමැති දිනවල පිරිසිදු කිරීම කල යුතුමයි. විශේෂයෙන්ම දරුවා මල මුත්‍ර පහ කල විට එම ප්‍රදේශ ඉතා හොඳින් පිරිසිදු කරන්න. යන්තම් උණුසුම් වතුර භාවිතා කිරීම සුදුසුයි. නමුත් හැම විටම බලන්න ඔබේ අත පෙවීමට හැකි, අඩු රස්නයක් ඇති වතුර භාවිතා කිරීමට. එසේ නැති නම් දරුවාගේ සියුම් සම පිළිස්සීම ඉතා ඉක්මනින් සිදු වේවි. අවශ්‍ය විට පිරිසිදු තෙත නැපි ලේන්සුවකින් දරුවා කුණු තවරා ගත්තොත් පිස දමන්න. ඒ වගේම දරුවාගේ මුහුණත් තෙත නැපි ලේන්සුවකින් පිස දමා පිරිසිදුව තබා ගත හැකියි.
දරුවා නාවන්නේ කොහෙද?

දරුවා පහසුවෙන් තැබිය හැකි නමුත් ගිලෙන්නට තරම් ගැඹුර නොමැති බේසමක් මෙයට ඉතා සුදුසූයි. ඔබ මුලින් මුලින් දරුවා නාවන විට හැකි පමණ ඔබේ වැඩිහිටියෙකුගේ හෝ සහෝදරියකුගේ සහය ලබා ගන්න. එවිට හදිසියේ ඔබට යමක් අමතක උනත් එය ඉක්මනින්ම ගෙන්වා ගත හැකියි. එයට අමතරව, දරුවා ඔබට පාලනය කර ගැනීමට පුරුදු වන තුරු නිතරම මෙය කරන්න. දරුවා නාවන අවස්ථාවේ දරුවාගේ පියාත් අසල සිටී නම් ඔහුවත් හවුල් කරගන්න අමතක කරන්න එපා. එය දරුවා සහ ඔහු සමග බැඳීම වැඩි කරන්නට උදවු වේවි.

තවත් ඔබ මතක තබා ගත යුතු කරුණක් තමයි නාවන තැන ලිස්සන්නේ නැති ලෙස, මනාව වතුර බැස යන ලෙස සකස් කර ගත යුතු වීම. ඔබ දරුවා නෑවීමට සාමාන්‍යයෙන් අවශ්‍ය වන සියලුම දේවල් කලින්ම පිළියෙළ කර ඔබේ ඇත පොවන මානයේ තබා ගන්න. ඒ සඳහා ඔබට පිරිසිදු ප්ලාස්ටික් පුටුවක් ළඟ තබා එය මත තුවාය, සබන්/ෂැම්පු පෙට්ටිය, සහ කුඩා කෝප්පයක් යනාදිය තබා ගත හැකියි. දරුවා පිස දැමීමට පහසුවෙන් හැසිරවිය හැකි කුඩා තුවායකුත්, නෑමෙන් පසු උණුසුම්ව ඔතා තබා කාමරයට ගෙන ගොස් ඇඳුම් අන්දවන තුරු ඔතා ගැනීමට විශාල තුවායකුත් තබා ගැනීම හොඳ අදහසක්.
දරුවා නෑවිය යුත්තේ කොයි වෙලාවට ද?

සාමාන්‍යයෙන් දරුවා මුලින් මුලින් නෑවිමේදී දවල් කාලයේ නෑවීම සුදුසුයි. පරිසරයට දරුවා මනා ලෙස හැඩ ගැසුණු පසු පමණයි ඔබ හවස් කාලයේ නෑවීම කල යුත්තේ. තවත් වැදගත් දෙයක් තමයි ඔබ දරුවා නෑවීමට තෝරා ගන්න වෙලාව වෙනත් බාහිර බාධා (දුරකථනය නාද වීම, ගෙදරට අමුත්තන් පැමිණ දොර හැරීමට යාමට සිදුවීම) ආදිය අවම අවස්ථාවක කිරීම. ඔබට හැකි නම් දුරකථනය ඒ වෙලාවට ශබ්ද නොනැගෙන ආකාරයට සකස් කරන්න. (silent mode). එවැනි අමුත්තන් පැමිණි විට හෝ දුරකථනය නාද වන විට දරුවා කිසිම විටක තනිව වතුර බේසමේ දමා යන්න එපා. ගිලෙන්න තරම් ගැඹුරු නොවුනත්, සුළු මොහොතක අතපසු වීමෙන් බොහෝ පසු තැවෙන්නට සිදුවන දේවල් වෙන්න පුළුවන් බව මතක තබා ගන්න.
දරුවා නිසි ලෙස පිරිසිදු කරන්නේ කෙසේද?

මුලින්ම මඳ උණුසුම් වතුර බේසමක් පිළියෙළ කර ගන්න. (සෙල්සියස් අංශක 37 හෝ 38 පමණ). එයින් කෝප්පයකට වතුර ගෙන ඔබේ අතින් දරුවාගේ මුහුණ ප්‍රවේසමෙන් සෝදන්න. එවිට දරුවා නෑමට සූදානමක් ඇති වේවි. ඉන්පසු මුහුණ සිනිදු තුවායකින් පිසදන්න.  ඉතාම කුඩා දරුවන්ගේ නම් මුහුණ තෙත පුළුන් කැබැල්ලකින් පිස දැමීම සුදුසුයි. එසේ කරන විට ප්‍රවේසමින් කබ සහ සොටු ඉවත් කරන්න.

ඉන්පසු බේසමේ වතුර දරුවා නොගිලෙන මට්ටමට තබා දරුවා ප්‍රවේසමින් ටිකෙන් ටික බේසමේ තබන්න. එසේ කරන විට ඔබේ එක අතකින් දරුවාගේ කලවය අල්ලාගෙන අනිත් අතින් කිහිල්ල/උරහිස/බෙල්ල ප්‍රදේශය අල්ලා ගෙන සෙමින් සෙමින් දරුවා බේසමේ තැබිය යුතුයි. එසේ තබා ගත් විට දරුවාගේ හිස ප්‍රවේසමින් එක අතකින් අල්ල ගෙන අනිත් අතින් මෘදුව ශරීරය පිරිසිදු කරන්න. හැම විටම හිස සහ බෙල්ල ඔබේ අතින් පාලනය කරන බවට වග බලා ගන්න. නැතිනම් දරුවා ලිස්සා ගියොත් හිස වැදීමට හෝ ගිලීමට ඉඩ ඇත.

මෙසේ හිස ප්‍රවේසමින් අල්ලාගෙන මුළු ශරීරයම මනා ලෙස පිරිසිදු කල පසු දරුවා ඉවතට ගෙන මේසයක් හෝ ඇඳක් මත එලූ තුවායක තබා පිසදා ගන්න. එවිට තුවායෙන් ඇඟ අතුල්ලන්න එපා. තෙත මාත්තු කිරීම මගින් සම වෙලා ගන්න.

ඔබ තෝරා ගන්න සබන්/ෂැම්පු වර්ග කුඩා දරුවන්ට සුදුසු යයි සනාථ කල ඒවා බවට විශේෂයෙන් වග බලා ගන්න. තවද, දරුවා නෑවීමට පෙර ඔබත් අත පය සෝදා පිරිසිදුව සිටීනම් මැනවි.
නෑවීමෙන් පසු කුමක් කල යුතුද?

අවශ්‍ය නම් දරුවන්ට භාවිතයට සුදුසු යයි  නිර්දේශ සහිත ක්‍රීම් වර්ගයක්, කොලොන් වර්ගයක් ආදිය ගලවන්න. බොහෝ විට දරුවන්ගේ සම වියලී යෑම වැළැක්වීමට මෙම ක්‍රීම් වර්ග ගල්වනු ලැබේ. හිස මත ගලවන කොලොන් මගින් ඉක්මනින් හිසේ තෙතමනය ඉවත් වේ. ඉන්පසු දරුවා පිරිසිදු ඇඳුම් අන්දා සනීපදායක මට්ටමකට උණුසුම්ව තබන්න.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල