ලමා කාලයේ දී ඇති වන කණේ ආසාදන

views 2017-11-15 12:02:00 mother_New

ඔබේ දරුවාගේ කණ

ඔබේ දරුවාගේ කණ කොටස් තුනකට බෙදා දැක්විය හැකියි. කන් පෙත්ත හා පිටත ශ්‍රවණ නාලය (කන් බෙරය දක්වා) කොටස පිටත කණ ලෙස හැඳින්වෙනවා. කන් බෙරයේ සිට කර්ණ ශංඛය දක්වා කොටස මැද කණ ලෙස හැඳින්වෙනවා. ඔබේ දරුවාට මැද කණේ හා පිටත කණේ ආසාදන නිතර ඇති විය හැකියි.  

 
කුඩා ලමුන්ට නිතර කණේ ආසාදන ඇති වීමට හේතු මොනවා ද?

ඔබේ දරුවාගේ මැද කණ, යුස්ටේකීය නාලය නම් නාලයකින් උගුරට සම්බන්ධයි. මෙම නාලය නිසා මැද කණ තුල වායු පීඩනය වායුගෝල පීඩනයට සමානව පවත්වා ගෙන යනවා. ඔබගේ මෙන් නොව ඔබේ දරුවාගේ මේ නාලය වඩා තිරස් ව පිහිටනවා. එනිසා උගුරේ ආසාදන හා වමනය සමඟ එන ආහාර කොටස් මේ නාලය දිගේ පහසුවෙන් මැද කනට යා හැකියි. උගුරේ ඇති වන සුළු ප්‍රදාහයන් යුස්ටේකීය නාලයටත් පැතිරෙන්න පුළුවන්. Cystic fibrosis වැනි රෝග වල දී යුස්ටේකීය නාලය ශ්ලේෂ්මල වලින් වැසී අවහිර වෙනවා. සිගරට් දුමෙන් ද යුස්ටේකීය නාලයට හානි සිදු වෙනවා. මෙසේ යුස්ටේකීය නාලය අවහිර වූ පසු මැද කණේ තරලයක් එකතු වෙනවා. මේ තරලය ද්විතීයික ව ඇතුලු වෙන බැක්ටීරියා වර්ධනයට ඉතා යෝග්‍යයි. ඔබේ දරුවාගේ ප්‍රති ශක්තිය උපන් අළුත ටිකක් දුර්වලයි. එයට යම් විටක බැක්ටීරියා හා වෛරස් ආසාදන වැලැක්වීමට නොහැකියි. තදබදය වැඩි තැන් වල හානිදායක බැක්ටීරියා අධිකයි.  ඔබේ දරුවාගේ කණට ඇතුළු වූ පසු මේ බැක්ටීරියා හා වෛරස නිරුත්සාහයෙන් ම වර්ධනය වන්නේ ඉහත කී දුර්වල ප්‍රතිශක්තිය නිසයි. ඔබේ දරුවාට හැකි පමණ ආහාර වර්ග දීමට ඔබ ඉතා කැමතියි. එහෙත් තරබාරු දරුවන්ට කණේ ආසාදන සෑදීමේ අවදානම වැඩි බව මතක තබා ගන්න. අදාල කාලයේ දී මව් කිරි ලබා දීමේ ඔබේ දරුවා කණේ ආසාදනවලින් ආරක්ෂා වෙනවා. දුප්පත් කම නිසා සමහර දරුවන්ට කවදාවත් අවශ්‍ය තරමට ආහාර ලැබෙන්නේ නැහැ. මන්ද පෝෂණය නිසා ප්‍රති ශක්තිය අඩු වෙනවා. ප්‍රතිශක්තිය අඩු වීමෙන් ආසාදන වැලඳෙනවා. කෘත්‍රිම සූප්පු නිසාත් දරුවන්ට කණේ ආසාදන වැඩිවෙනවා. පිහිනීමේ දී කණට වතුර සමඟ විෂබීජ ගියොත් පිටත කණේ ආසාදන සෑදිය හැකියි.
කුඩා දරුවන්ගේ කණේ ආසාදන වලට හේතු වන රෝග කාරක මොනවා ද?

Streptococcus pneumoniae, Heamophilus influenzae සහ Morraxella catarrhalis යන බැක්ටීරියා ඔබේ දරුවාගේ කණේ ආසාදන වලින් 95% කට පමණ වග කිව යුතුයි. ඔබේ දරුවාට වයස මාස 6 ට අඩු කාලයේ දී සෑදෙන කණේ ආසාදන වලින් 20% කට ම හේතු වන්නේ E. coli සහ Klebsiella යන බැක්ටීරියායි. ඊට අමතර ව Respiratory Syncytial Virus (RSV), influenza, parainfluenza, adenovirus සහ rhinovirus යන වෛරස් නිසාත් ඔබේ දරුවාගේ කණේ ආසාදන ඇති වෙනවා.  
කණේ ආසාදනයක් හඳුනා ගන්නේ කෙසේ ද?

කණේ ආසාදන නිසා ඔබේ දරුවාට කණේ වේදනාව, කනෙන් ලේ ගැලීම, කනෙන් කහ පැහැ සැරව පිට වීම, හිස රදය, උණ, සමබරතාවය අඩු වීම, නොනවතින කුරු කුරු හඬක් ඇසීම, නොසන්සුන් කම, ඔක්කාරය හා වමනය ඇති විය හැකියි. කල්ක් පවතින ආසාදන නිසා ඔබේ දරුවාගේ කන් බෙරය සිදුරු විය හැකියි.
කණේ ආසාදන නිසා ඇති විය හැකි සංකූලතා මොනවා ද?

කණේ ආසාදන නිසා ඔබේ දරුවාගේ ශ්‍රවණ හැකියාව අඩු විය හැකියි. මැද කණේ කොටස් ඉදිමීම නිසා විවිධ අපහසුතා ඇති විය හැකියි. මොලය වටා ඇති මෙනින්ජි පටල ඉදිමීම, මොලය තුල සැරව ගෙඩි හට ගැනීම හා මොලයේ විශාල රුධිර වාහිනී තුල ලේ කැටි ඇති වීම කණේ ආසාදන නිසා සිදු වන දරුණු සංකූලතායි. දරුණු හිස රදය, දීප්තිමත් ආලෝකය දෙස බැලිය නොහැකි වීම, ස්නායු දුර්වලතා, අප්සමාරය හා සිහි මඳ ගතිය මේ දරුණු සංකූලතාවල රෝග ලක්ෂණයි.
කණේ ආසාදන සැදීම වලක්වා ගන්නේ කෙසේ ද?

ඔබේ දරුවාට කෘත්‍රිම සූප්පුව නිතර දෙන්න එපා. ඔබේ දරුවා සිගරට් දුමට කෙසේ වත් නිරාවරණය කරන්න එපා. පලමු මාස 6 තුල ඔබේ දරුවාට මව් කිරි පමණක් දී ඉන් පසු දරුවාට වසරක් සම්පූර්ණ වන තෙක් ආහාර පරිපූරකයක් වශයෙන් මව් කිරි දෙන්න. තදබදය වැඩි තැන්වල දරුවා සමඟ රැඳී සිටින්න එපා. ඔබේ දරුවාට සුලභ විෂබීජ වලට එරෙහි ව ප්‍රතිශක්ති එන්නත් ලබා දෙන්න.
කණේ ආසාදනවලට ඇති ප්‍රතිකාර මොනවා ද?

ඔබේ වෛද්‍යවරයා "Auroscope" නම් උපකරණයකින් ඔබේ දරුවාගේ කන පරීක්ෂා කරනු ඇති. මේ උපකරණයේ පුනීලයක් වැනි කොටස දරුවාගේ කන තුලට මඳක් ඇතුලු කර විදුලි එලියක ආධාරයෙන් කණ පරීක්ෂා කරනු ඇති. කන් බෙරය කහ පැහැ වීමක්, රතු වීමක්, ඉදිමීමක් හා කන් බෙරය සිදුරු වීමක් තිබේදැයි කණේ ආසාදන වල දී සොයා බලනවා.

ප්‍රතිජීවක, ස්ටෙරොයිඩ්, NSAID, ශ්ලේස්මල ඉවත් කරන ඖෂධ ඔබේ දරුවාට ලබා දෙනු ඇති.

සමහර විට ඔබේ දරුවාට සැත්කමක් කිරීමට සිදුවනු ඇති. උගුරේ සෙම් ගෙඩි ඉවත් කිරීමෙන් ඔබේ දරුවාගේ කණේ ආසාදන ඇති වීම අඩු වෙනවා. විදලිත තල්ලක් ඇති දරුවන්ගේ එම ආබාධය සැත්කමක් මගින් නිවැරදි කිරීමෙන් ම කණේ ආසාදන අඩු කර ගන්න පුළුවන්. ඔබේ දරුවාට නිතරම මැද කණේ ආසාදන ඇති වෙන්නේ නම් Myringotomy නම් සැත්කමින් කණේ ශ්‍රාවයන් ඉවත් කිරීම කල හැකියි.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල