ඔබේ සිඟිත්තා කෑමට හුරු කිරීම අමාරුද?

views 2017-10-20 10:38:00 mother_New

දරු පැටියකු හොඳින් ලොකු මහත් කර ගැනීමට නම් ඔබ අනිවාර්යෙන්ම ඔහුට හෝ ඇයට නිසි පෝෂණය ලබා දීම ඉතා වැදගත්. නමුත් අපි දන්නවා බොහොමයක් මවුවරුන් මැසිවිලි නගන්නේ තම කිරිකැටියාට කැවීම ලොව ඇති අපහසුම කාර්යය ලෙසයි. අද අපි බලමු ඔබටත් පහසුවක් විය හැකි කරුණු කිහිපයක් ගැන.

කුඩා දරුවන් යමක් අවබෝධ වන වයසට එන විටම අනෙකුත් අය අනුකරණය කරන්නත්, ටිකෙන් ටිකේ දරුවාගේ අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමටත් උත්සහ කරනවා. ඔබ දරුවාට කැවීම සහ අනෙකුත් සියලුම සැලකීම් කිරීමේදී එය මතක තබාගෙන කල යුතුයි.
* දරුවා වෙළඳසල වෙත ගෙන යන්න

ඔබ එළවලු මිළදී ගැනීමට යන විට ඔබ සමග දරුවා ගෙන යන්න. එවිට දරුවා විවිධ කෑම වර්ග දැකීමෙන් යම් කිසි ප්‍රියතාවයක් ඇති කර ගනු ඇත. විශේෂයෙන්ම දරුවාට නැවුම් එළවලු, පලතුරු ආදිය පෙන්වමින්, ඒවාගේ නම් කියා දෙමින් ඒවා අතින් ගෙන නිරීක්ෂණය කිරීමට ඉඩ දෙන්න. එවිට සම්පුර්ණ ක්‍රියාවලියේ තමනුත් කොටස් කරුවෙකු බව දරුවාට හැඟේ. නමුත් දරුවාට පගා/කප්පම් වශයෙන් කෘතීම රසකැවිලි, අධික තෙල් සහ ලුණු ඇති කෙටි ආහාර ආදියට ඇබ්බැහි නොකිරීමට ඔබ ප්‍රවේසම් විය යුතුයි.
* විවිධ වර්ණ සහිත ආහාර

සියලුම කෑම වේලවල් වලට විවිධ වර්ණ සහිත ආහාර එක් කරන්න. කුඩා දරුවන් වර්ණවත් දේවලට ප්‍රිය කරති. ඔවුන්ට ආහාර ගැනීමේ ක්‍රියාවත් ඉතා විනෝදජනක දෙයක් වෙයිනම් ඔවුන් තම කැමැත්තෙන්ම ආහාර ගන්නට හුරු වනු ඇත. ඔබට පුළුවන් කෑම වේලට කැරට්, බෝංචි, තක්කාලි (ස්වල්පයක්), ගෝවා, බ්රෝකලි, බටු ආදී විවිධ වර්ණ ඇති එළවලු විවිධ ක්‍රම වලට උයා මේසයෙන් තැබීමට. දරුවාට ස්වභාවිකව ඇතිවන කුතුහලය නිසාම ඔහු හෝ ඇය ඒවා රස බලන්නට උත්සහ කරාවි.
* ආහාර සමග සෙල්ලම් කිරීමට සලස්වන්න

කුඩා දරුවන් ඉතාම කුතුහලයෙන් යුතු පිරිසක්. ඔවුන් කැමතියි වර්ණ, සුවඳ සහ රස අත්හදා බලන්න. එනිසා, ඔබටත් පුළුවන් ඔවුන්ට එළවලු සහ පලතුරු හොඳින් සෝදා උයන්නට/කන්න ගන්නට පෙර දරුවාට හොඳින් බලාගන්න දීමට. කුඩා, කටේ දමාගෙන හිරකර ඵන්න තරමේ ඒවා දෙන්නට එපා. විවිධ හැඩයේ සහ විවිධ වර්ණ සහිත දොඩම්, ඇපල්, මධ්‍යම ප්‍රමාණයේ කොමඩු ගෙඩියක්, අඹ ගෙඩියක්, කැරට් අල, පිපිඟ්ඥා ආදී බොහෝ එළවලු සහ පලතුරු සමග දරුවාට හුරු වීමට අවස්තාව දිය හැකියි. ඒවා දරුවා අතට දී හොඳින් නිරීක්ෂණය කිරීමට ඉඩ දෙන්න. ඉන්පසු "මේවා හරීම රසයි, සුවඳයි නේද?" ආදී වශයෙන් දරුවාට විවිධ වචන අසන්නට සලස්වන්න. ඉන්පසු එම පලතුරු කපා දරුවා සමග ඔබත් කෑමට ගන්න. එවිට ආහාර රුචිය සමගම වචනත් ඉගන ගනීවි.
* ඔබ උයන පිහන අයුරු දරුවාට දකින්න සලස්වන්න

ඉහත සඳහන් කල පරිදි දරුවා ඉගැනුම් ක්‍රියාවලිය ක්‍රියාකාරකම් වලින් පිරුන තරමට කැමති වෙයි. ඉතින් ඔබට පුළුවන් ඔබ උයන අයුරු දරුවාට පෙනෙන ලෙස කරන්නට. හැබැයි අමතක කරන්න එපා පිහියෙන් ඇත කපා ගැනීමට, ගිනි උදුනෙන් ඇත පුච්චා ගැනීමට හෝ අනවශ්‍ය දෙයක් දිවගා බැලීමට දරුවන් පෙළඹෙන බව. එවිට ඔබ කාරුණිකව දරුවා එයින් ඈත් කරමින් පාඩමක් උගන්වන්න.
* දරුවා සමග ඔබත් අහාර ගන්න

මඳක් සිතන්න, ඔබ ඉතා කුතුහලයෙන් යුතුව හැම දෙයක් දෙසම බලයි නම්, යම් කෙනෙක් ඔබට කන්න දෙන දෙයක් ඔහු හෝ ඇය නොකා ඔබට කන්නට බල කරයි නම් ඔබ කැමති නැහැ නේද? ඒසේම දරුවන්ටත් කන්න දෙන විට ඔබත් ඔවුන් සමග කන්න. එවිට ඔවුන් ඔබ ගැන විශ්වාසයක් ගොඩ නගාගෙන කැමට යොමු වෙයි. ඒ වගේම ඔවුන් සමග ඔබ බෙදාගෙන කන්නේ නම් ඔවුන්ට එය සාමූහික හැඟීමක්ද ගෙන එනු ඇත.
* විවිධ හැඩයෙන් යුතු කෑම සාදන්න

මතකද අපි කුඩා කාලයේ අම්ම කවපු "කුරුළු පැටවූ" හැඩයේ බත් ගුලි? ඒවා දරුවාගේ උනන්දුව වැඩි කරයි. එපමණක් නොවේ, ආහාර ගැනීම විනෝදජනක අත්දැකීමක් බවට පත් කරයි. එනිසා ඔබටත් පුළුවන් ලස්සන හැඩවලට කෑම හදන්න. වෙළඳපොලේ ඇති "Cookies" බිස්කට් අච්චු භාවිතා කර රොටියක් උනත් ලස්සන හැඩයකට කැපිය හැකියි. තවද, ඔබට පුළුවන් නම් පෝෂ්‍ය ගුණය සමබල වන කුකීස් වර්ග නිවසේදීම සැදීමට, එය ඔබගේ පවුලටත් දරුවාටත් ඉතා හොඳ දෙයක් වෙයි.
* ඇවිටිලි කරන්න එපා

ඔබ දරුවාට කන්න කියා බල කරමින් කරදරයක් වන්න එපා. නමුත් දරුවාට උගන්වන්න "එපා කියන්න කලින් කටවල් 3ක් කාලා බලන්න" වැනි දෙයක්. හෙමින් හෙමින් ඔබේ දරුවාත් කුඩා කටවල් ආහාරයට ගනිමින් ඔහු හෝ ය කැමති හෝ අකමැති දේ හඳුනා ගනීවි. තවද, සමහර දරුවන් තාත්තාට, මාමාට, ආච්චි අම්මාට හෝ සීයාට ලෙන්ගතුකමක් දක්වයි. එවිට එම ලෙන්ගතු පුද්ගලයාට කියන්න දරුවා සමග කෑම වේලක් ගන්න කියා. එම කෑම වේලෙහි අඩංගු වූ දේවල් නැවත කවද්දී ඔබට බතක් කරදිය හැකියි "මෙන්න පුතේ ඔයා එදා සීයත් එක්ක කාපු ඒවා අදත් තියනවා..." ආදී වශයෙන්... එම මිහිරි මතකයත් සමග සිඟිත්තා ආසාවෙන් එම කෑම වර්ගය රස බලාවි...

mathru.lk


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල