කන නෑසෙන දරුවන්ට කතා කිරීමේ හැකියාව ද අහිමි වෙනවා

views 2017-10-04 10:07:00 mother_New

 කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ
උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ඒ.ඩී.කේ.එස්.එම්.යසවර්ධන

කිසියම් දරුවකුට ශ්‍රවණ ඌනතාවයක් ඇත්නම් එය එම දරුවාගේ අනාගතයට විශාල බලපෑමක් කිරීමට සමත්ය. මුල් ළමා වියේදී සහ උපතින් ඇතිවන ශ්‍රවණ ඌනතා දරුවකුට ඇත්නම් එය එම දරුවාට ගැටලු කීපයක් ඇති කිරීට හේතු වෙයි.

දරුවාගේ කන නෑසීම නිසා පරිසරයේ ශබ්ද මෙන්ම මිනිස් කටහඬ ද නොඇසේ. එය දරුවාගේ භාෂා වර්ධනයට දැඩි ලෙස බලපෑම් ඇති කරයි. එහි ප්‍රතිඵලය වන්නේ දරුවාට කතා කිරීමේ හැකියාව අහිමි වීමය. එබැවින් ශ්‍රවණ ඌනතාවක් ඇති දරුවන්ට භාෂාවක් දැන ගැනීමේ සහ භාෂාවක් කතා කිරීමේ හැකියාව යන දෙකම නැති වෙයි. එවැනි දරුවනට ශබ්දය ඇසීමේ සහ කතා කිරීමේ හැකියාව ද නැත.

අතීතයේදී මේ තත්ත්වය ගොලු බිහිරි බව ලෙස හැඳින්වුවද අද එනමින් එම තත්ත්වය හඳුන්වන්නේ නැත. එවැනි දරුවනට විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වේ. එවැනි දරුවකුට සාමාන්‍ය පාසලකට ගොස් අධ්‍යාපන කටයුතු කිරීමේ හැකියාව අහිමි වේ. එසේම එවැනි දරුවකුට අදහස් හුවමාරු කිරීමට සිදුවන්නේ සංඥා භාෂාව මඟිනි. එහෙත් දරුවකුගේ ශ්‍රවණ ඌනතාව හඳුනාගෙන ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබා දුනහොත් දරුවාව එම තත්ත්වයෙන් මුදා ගත හැකිය.

දරුවකු තුළ ශ්‍රවණ ඌනතා ඇති වීමට බලපාන හේතු පිළිබඳව සොයා බැලීම මෙහිදී වැදගත්ය. කිසියම් දරුවකුට උපතින්ම ශ්‍රවණ ඌනතාවක් ඇති වීමට හේතු වන ප්‍රධානම හේතුව වන්නේ ජානවල බලපෑමය. ප්‍රතිශතයක් ලෙස එය සියයට පනහක් පමණ වේ.

පරම්පරාවේ කිසියම් අයකුට ශ්‍රවණ ඌනතාවක් තිබීම, ලේ නෑයන් අතර සිදුවන විවාහ මඟින් එසේ ජානමය බලපෑම ඇතිවිය හැකිය. දරුවකුට ශ්‍රවණ ඌනතාවක් ඇති වීමට හේතු වන සාධක අතරින් ඉතිරි සියයට පනහට පාරිසරික බලපෑම්, ගර්භණී සමයේදී මවට මුහුණ දීමට සිදුවන ආසාදන තත්ත්වයන් ද හේතු වෙයි.

ඒ අතරින් ජර්මන් සරම්ප, රුබෙල්ලා වැනි රෝග ප්‍රධානය. ගර්භණී බවට පත් වීමට පෙර ඉහත රෝගවලින් ආරක්ෂා වීම සඳහා එන්නත් ලබා ගත යුතු වන්නේ එහෙයිනි. එසේම දරුවාගේ උපත සිදුවන විට දරුවාගේ මොළයට නිසි අයුරින් ඔක්සිජන් සැපයීම සිදු නොවුණහොත් එය ද දරුවාගේ ශ්‍රවණ හැකියාව දුර්වල වීමට හේතුවකි.

එසේම සෙංගමාලයට, මෙනින්ජයිටීස් රෝගයට දරුවා ගොදුරු වීම, දරුවා වැටීමෙන් හෝ වෙනත් අයුරකින් දරුවාගේ මොළයට හානි සිදුවීම ආදිය නිසා ද එම දරුවාගේ ශ්‍රවණ ඌනතා ඇති වීමට ඉඩ ඇත.

දරුවකුගේ කථන හැකියාව දියුණු වීමට එම දරුවා වෙනත් සම වයසේ දරුවන් ඇසුරු කිරීම වැනි සාධක හේතු විය හැකි අතර එය දරුවාගේ කනට ලැබෙන උත්තේජනයකි. අවට පරිසරයෙන් කනට එවැනි උත්තේජනයක් ලැබුණ ද, යම් යම් මානසික ගැටලු නිසා ද දරුවා කතා නොකර සිටිය හැකිය. “ඔටිසම්” නම් මානසික රෝගාබාධය ඊට උදාහරණයකි. එසේම බිය වීම නිසා ද දරුවකුගේ කථන හැකියාවට කිසියම් බලපෑමක් එල්ල විය හැකිය.

දරුවකුගේ ශ්‍රවණ ඌනතාව ඉතාම ඉක්මනින් හඳුනා ගැනීම අවශ්‍ය වේ. කලින් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දුනහොත් එම දරුවාගේ කථන හැකියාව වර්ධනය වී දරුවාට සාමාන්‍ය දරුවකු සේ ජීවිතය ගෙන යාමට හැකි වනු ඇත. දරුවකු ඉපදී අවුරුදු 2 ක් හෝ 3 ක් ගත වනවිට එම දරුවාගේ මොළයේ වර්ධනය සෑහෙන දුරට සිදුවී අවසන් වේ. එම කාලය තුළ දරුවාට ශබ්ද නොඇසී, භාෂාව මොළයේ සෛල හඳුනා ගන්නේ නැතිනම්, එම හැකියාව පසුව නැවත ලබා ගැනීමේ හැකියාව මොළයට නැත. දරුවකු ඉපදී අවුරුදු 5 ක් ගත වනවිට එම දරුවාගේ මොළය තුළ සියලුම සම්බන්ධතා ඇති වී හමාර වේ. එම කාලය තුළ මොළයේ සෛල උත්තේජනය වී අදාළ සබඳතා ගොඩ නැගුණේ නැතිනම්, එය යළි කිසි විටෙකත් මොළයට ගොඩනඟා ගත නොහැකිය.

දරුවකුගේ වයස අවුරුදු 5ක් 6 ක් වූ පසුවත් ශ්‍රවණයට අදාළ මොළයේ සෛල ක්‍රියාකාරී නොවනුණොත් එම සෛල “පෙනීම” වැනි වෙනත් කාර්යක් සඳහා භාවිත වීමට ඉඩ ඇත. එබැවින් ශ්‍රවණ ඌනතා සහිතව උපදින දරුවන්ගේ එම තත්ත්වය වහා හඳුනාගෙන ඒ සඳහා වහා පිළියම් කිරීම අත්‍යවශ්‍යය.

කුඩා දරුවකුගේ ශ්‍රවණ ඌනතා ඉක්මනින් සහ සරල ලෙසම හඳුනාගත හැකි දෙයක් දෙ නොවේ.

උපන් හැටියේ බිලිඳකුගේ ශ්‍රවණ ඌනතාව රෝහලක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක අයකුට පවා පහසුවෙන් හඳුනාගත නොහැකි වනු ඇත. එහෙත් නවීන තාක්ෂණය මඟින් උපන් හැටියේ දරුවකුගේ වුවද ශ්‍රවණ හැකියාව හඳුනාගත හැකිය. මේ පරීක්ෂණය ලංකාව වැනි රටක උපදින සෑම ළමයකුටම කළ නොහැක්කේ ඒ සඳහා අධික වියදමක් දැරීමට මෙන්ම කාලයක් වැය කිරීමට ද සිදුවන නිසාය.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල