සියලු සැප සම්පත් ලබාදෙන නිවසක්‌ තනන්නේ මෙහෙමයි

views 2017-07-16 10:03:00 hplans_New

"වාස්‌තු ශිල්පය" යනු ගෘහ නිර්මාණ ශිල්පය පමණක්‌ නොවේ. ගෘහ නිර්මාණ ශිල්පය වාස්‌තු ශිල්පය තුළ එක්‌ අවස්‌ථාවක්‌ පමණයි. ගෘහ නිර්මාණය නිවසක්‌ තනා නිම කළ පසු අවසන් වන අතර වාස්‌තු එතැනින් එහාට දිවෙනවා. වාස්‌තු මිනිසාගේ උත්පත්තියේ සිට මරණය දක්‌වා දිවෙන විෂයක්‌. මේ නිසා ගෘහ නිර්මාණයක්‌ සිදු කිරීමේ දී වාස්‌තු ශිල්පයට එකඟව එය සිදුකළ යුතුව තිබෙනවා.

කිසියම් තේමාවක්‌ යටතේ නිර්මාණයක්‌ කිරීමේ හැකියාවේ නිදහසක්‌ තිබෙන අතර එය වාස්‌තු සිද්ධාන්තවලට අනුකූලව සිදුකිරීම යනු එම නිර්මාණය සොබාදහමට අනුගත කිරීමක්‌ ලෙස පෙන්වා දිය හැකියි. නූතනයේ ගෘහ නිර්මාණ ශිල්පය වාස්‌තු සිද්ධාන්තවලට පටහැනි ලෙස භාවිතා කරන ආකාරය සුලබ වී තිබෙන බව පෙනී යනවා. ගෘහ නිර්මාණ ශිල්පියා විසින් තමන්ගේ සේවාදායකයා වෙනුවෙන් කිසියම් තේමාවක්‌ යටතේ සිය නිර්මාණය සිදුකිරීම නූතනයේ බහුලව දක්‌නට ලැබෙන ක්‍රමවේදය වී තිබෙනවා. මෙය නරක දෙයක්‌ නොවුවද එය භාවිතා කරනු ලබන ආකාරය නිවැරැදි නොවේ. ගෘහයක්‌ නිර්මාණය කිරීමේ දී කිසියම් තේමාවක්‌ යටතේ එය සිදු කිරීමේ වරදක්‌ නොමැති වුවද නූතන ගෘහ නිර්මාණ ශිල්පියා එම වගකීම නිසි ලෙස හඳුනාගෙන නොමැති බව පෙනී යනවා. විශේෂයෙන් සොබාදහමට අනුකූල වන පරිදි විශ්ව ශක්‌තිය ගෘහයට කාන්දුවන පරිදි මෙන්ම දේශීය හුරුව යන සහ සංස්‌කෘතික පසුබිමට ගැළපෙන පරිදි නිර්මාණය කිරීමේ වරදක්‌ නොවූවද එය එසේ සිදුනොවන බව මා විසින් සිදු කරනු ලබන නිවාස පරීක්‍ෂාවේ දී මනාව පැහැදිලි වී තිබෙනවා. විශේෂයෙන් මෙම දෝෂ සහිත නිවාස පරිහරණයට ගොදුරු වී ඇත්තේ, සමාජයේ ඉහළ ආදායම් ලබන කොටස බව කිව යුතුයි. මෙවැනි ගෘහයන් වල ඇති සුවිශේෂී ලක්‍ෂණය වන්නේ, ඒවා ඉතාමත් ලස්‌සන හැඩතල ලෙස නිර්මාණය වී තිබුණත් එම ගෘහයන්ගේ ගුණ දක්‌නට නොලැබීමයි. නිවසක රුව තිබුණාට කිසිදු පලක්‌ නොවන අතර නිවසක ගුණ රුව දෙකම තිබිය යුතුයි. කාන්තාවක්‌ කොපමණ රුව ඇත්තියක වුවද ඇයගේ ගුණ නොමැතිනම්, කිසිදු වටිනාකමක්‌ නැතිවා සේම ඔබ මහන්සියෙන් සාදන නිවසද ගුණ රුව සපිරි සම්පත් නිවසක්‌ විය යුතු බව පෙන්වා දෙමි.

නිවසක රුව සඳහා ගෘහ නිර්මාණ ශිල්පය වැදගත් වන අතර ඒ සඳහා අවශ්‍ය ගුණය ලබාදෙනු ලබන්නේ වාස්‌තු ශිල්පය තුළිනි. ඔබගේ සිහින නිවහන නිර්මාණය කිරීමේදී ඔබ ඒ පිළිබඳව විමසිලිමත් විය යුත්තේ එබැවිනි. ඔබගේ නිවසේ වාස්‌තු සිද්ධාන්ත එකඟ වී නොමැති විට ඔබට විවිධ අපහසුතා නිතැතින් දැනෙනු ඇත. ලෙඩදුක්‌, ධනහානි, දරුඵල අහිමි වීම, ස්‌වාමි භාර්යා අසමගිය, දරුවන් අකීකරු වීම, විවාහ කල්යැම, අසල්වැසියන් සතුරු වීම, රාජබිය ඇතිවීම ආදී නොයෙකුත් කරදර පීඩා බාධක ඔබගේ නිවස තුළ බලවත් වන අතර මේ නිසා ඔබගේ ලෞකික ජීවිතයේ නොයෙකුත් හැලහැප්පීම් බහුල වේ. එසේ වුවද වාස්‌තු දෝෂ බලවත් වීමෙන් කෙනෙකු මරණයට පත්නොවන බවද පෙන්වා දෙමි. ගෘහ නිර්මාණ ශිල්පියා විසින් වාස්‌තු මූලධර්ම පිළිබඳව තැකීමක්‌ නොකොට නිර්මාණය කරනු ලබන නිවාසවල එවැනි අයහපත් දෑ බහුල විය හැකි බව සිතන්න.

එසේම නූතන ගෘහ නිර්මාණ ශිල්පය වාස්‌තු මූලධර්ම වලට අනුගත නොවන අවස්‌ථා රාශියක්‌ ප්‍රායෝගිකව දක්‌නට තිබෙනවා. ඒවා අතරින් පහත සඳහන් අවස්‌ථාවන් කැපී පෙනෙන බව කිව යුතුයි.

ගෘහයේ වහලය නිර්මාණය කිරීම

නූතන ගෘහ නිර්මාණ ශිල්පියා විසින් තෝරාගනු ලබන තේමාව ඔස්‌සේ දිව යන විට ඔහු විසින් වාස්‌තු මූලධර්ම අමතක කරන අතර එවැනි උදාහරණ රාශියක්‌ පෙන්වා දිය හැකියි. විශේෂයෙන් පෞරාණික බව නිවසක උද්දීපනය කිරීම සඳහා ගෘහ නිර්මාණ ශිල්පියා උත්සාහ ගන්නා විට පැරැණි ගොඩනැඟිලිවල වහලයේ හැඩතල නිර්මාණය සඳහා භාවිතා කිරීම දක්‌නට ලැබෙනවා. විශේෂයෙන් උඩරට පළාතේ ඇති පැරණි ගොඩනැඟිලි, දේවාල, අම්බලම්වල දක්‌නට ඇති වහල වල හැඩතල තම නිර්මාණයට එකතු කර ගැනීම නිසා එම නිර්මාණවල වහලය දෝෂ සහගත ලෙස නිර්මාණය වී තිබෙනවා. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල ඉදිවන මෙවැනි නිවාසවල වහලය වැරැදි සහගත බව පෙනී යනවා. මෙහිදී එම නිවාසවල සොහොන් පරාල සහිත වහල, කැණිමඬල සහිත වහල, අම්බලම් වහල, ආදී නිවාස සඳහා යොදා නොගන්නා වහල හැඩතල එම නිවාසවල පවතිනවා. මේ නිසා එම ගෘහයන් වාස්‌තු දෝෂවලට ලක්‌වන බව ඔවුන් දන්නේ නැහැ. මෙවැනි නිවාස පරිහරණය කරන විට එහි අයහපත් බලපෑම එම ගෘහ හිමියන්ට නිතැතින් දැනෙනු ඇත.

මංගල ද්වාරය සහ ද්වාර ජනේල සටහන

විශේෂයෙන්ම ප්‍රධාන ද්වාරය සඳහා යොදාගනු ලබන වැරදි හැඩතල සහ වැරැදි නිර්මාණ සේම පැරණි නෂ්ටාවශේෂ කැපී පෙනෙනවා. මංගල ද්වාරයේ පියන එළියට විවෘත වන පරිදි නිර්මාණය කිරීම, ගෘහයේ ප්‍රමාණයට වඩා විශාල වූ මංගල ද්වාරය යෙදීම සේම පැරණි ගොඩනැඟිලිවල ද්වාරයන් සවි කිරීම ආදී දෑ එම නිර්මාණ තුළ දෝෂ බලවත් වන බව පෙන්වා දෙමි.

මේ ආකාරයට අනෙකුත් දොර ජනේල සඳහා ද

පැරැණි උළුවහු යොදා ගැනීම හා පියන් එළියට විවෘත කිරීම හා කලු වර්ණය බහුලව භාවිතා කිරීම සහ සිරමැදිරිවල ඇති හැඩතල එම දොර ජනේලවලට ලබාදීම ආදි නොයෙකුත් දෝෂ සහගත නිර්මාණ එක්‌වන බව දක්‌නට පුළුවන්. වාස්‌තු ශිල්පයට අනුව දොරක්‌ දොරක්‌ ලෙස බලගැන්විය යුතු අතර ජනේලයක්‌ ජනේලයක්‌ ලෙස බලගැන්විය යුතුය. මේ සඳහා පවතින මූලික මූලධර්මවලට හානියක්‌ සිදු වුවහොත් ඒවායෙන් අප බලාපොරොත්තු වන ජීවී ගුණය නොලැබෙනු ඇත.

නිවාස තුළ ජලය රැඳවීම

නූතන ගෘහ නිර්මාණ ශිල්පියා තමන්ගේ ගෘහ නිර්මාණය අලංකාර කිරීම සඳහා හිතුමතේට නිවස අභ්‍යන්තරයෙන් සහ නිවසින් පිටත ජල පොකුණු, දිය ඇලි හා දිය අගල් යොදන බව පෙනී යනවා. මෙය කිසි සේත්ම සුදුසු නොවේ. නිවාස තුළ අපෝධාතුව නැත්නම් ජලය රැඳවිය හැකි නිශ්චිත දිශාවන් සහ කලාප තිබෙන බව දැන ගත යුතු අතර එසේ නොවන විට වාස්‌තු දෝෂ බලවත් වන බව දත යුතු වේ. උතුර, ඊසාන, නැගෙනහිර සහ බටහිර යන දිශාවන්වල ජලය රැඳවිය හැකි අතර දකුණු, නිරිත, ගිණිකොන හා වයඹ යන දිශාවල ජලය බලවත් කළ නොහැකි බව පෙන්වා දෙමි. ඉහත කරුණු තුළින් ඔබගේ අවධානය යොමු කරවීමට උත්සාහ කළේ කිසියම් ගෘහ නිර්මාණයක්‌ සිදු කිරීමේ දී නිර්මාණ ගුණය බලවත් කිරීම සඳහා වාස්‌තු ශිල්පය යොදාගත හැකි ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. ඔබගේ සිහින නිවහන නිර්මාණය කිරීමේ දී රුව ගැන විතරක්‌ නොසිතා නිවසේ ජීවී ගුණය රැක ගැනීමට උපකාර වන විශ්ව ශක්‌තීන් බලවත් වන ලෙස රුව ගුණ සපිරි සම්පත් නිවසක්‌ නිර්මාණය කර ගැනීමට උත්සාහ ගත යුතුයි.


ශාස්‌ත්‍රවේදී වාස්‌තුවිද්‍යා විශාරද පේරාදෙණියේ, ඩී.යූ. සෙනරත්
වැඩිදුර විස්‌තර සදහා වාස්‌තු මැඳුර නො.189/3,
කොළඹ පාර, පොල්ගහමුල. 071-4402574 / 081-2386577

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල