වහළයේ දැව තැබීමේදී
අනුගමනය කළ යුතු සුබ මුහුර්ති

views 2017-03-19 10:10:00 hplans_New

ඔබගේ ගෘහයේ ඉතාමත් වැදගත්ම ගෘහ අංගය වන්නේ වහළයයි. වහළය ගෘහයක විශ්ව ශක්‌තිය උරා ගන්නා සහ රඳවා ගන්නා ප්‍රධානතම ගෘහ අංගය බව මහා වාස්‌තු ශිල්පය තුළ පෙන්වාදී තිබෙනවා. මේ නිසා ඔබගේ ගෘහයේ වහළය සකස්‌ කර ගැනීමේදී මූලික වාස්‌තු සිද්ධාන්ත නිසි පරිදි එකඟ කරගැනීම කළ යුතු වෙනවා. මෙහිදී වහළයේ හැඩය, වහළයේ පල සංඛ්‍යාව, වහළයේ වතුර බැස්‌ම, වහළයේ පරාල, බාල්ක, කුරුපා සංඛ්‍යාව මෙන්ම වඩිම්බු යෙදිය යුතු ආකාරය සහ වැහි පිsහිලි සවිකිරීම යන සියලු කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතු වෙනවා. ගෘහයේ වහළය සකස්‌ කිරීමේ දී ඒ සඳහා විශේෂ සුබ මුහුර්ති ලබාගත යුතු අතර මහා වාස්‌තු ශිල්පයට අනුව වහළයේ දැව තැබීම විශේෂ අවස්‌ථාවක්‌ ලෙස සැළකෙනවා. නූතනයේදී සමාජයෙන් ඈත්වී ඇති ප්‍රධාන ගෘහ චාරිත්‍රයක්‌ වන වහළයේ මංගල දැව තැබීම සුබ මුහුර්තිය මහා වාස්‌තු ශිල්පයට අනුව ඉටුකරනු ලබන ආකාරය සහ වහළයේ බලවත් වන්නා වූ විශේෂ දෝෂ පිළිබඳව ඔබව දැනුවත් කිරීම මෙම ලිපියේ මූලික අරමුණ වේ.

මුලින් සඳහන් කළ පරිදි ගෘහයක වැදගත්ම ගෘහ අංගය වන්නේ එම ගෘහයේ වහළයයි. මේ නිසා ඔබගේ ගෘහයේ වහළය මහා වාස්‌තු ශිල්පීය උපක්‍රම පරිදිම සකස්‌ කර ගැනීමට උනන්දු වන්න. ගෘහයක වහළයේ දෝෂ බලවත් වූ විට පහත සඳහන් අයහපත් ප්‍රතිඵල ඔබට දැනෙනු ඇත.

1. ගෘහය සෑදීම ප්‍රමාද වේ.

2. ගෘහයේ පදිංචි වුවද කෙටි කලකින් ගෘහයෙන් ඉවත් වේ.

3. ලෙඩ රෝග සහ කායික මානසික පීඩනය බහුල වේ.

4. මූල්‍ය ශක්‌තිය දුර්වල වේ.

ගෘහයේ වහළයේ දෝෂ බලවත් වීම නිසා ඉහත අයහපත් ප්‍රතිඵල ඔබට දැනෙන තරමට බලවත් වනු ඇත. මේ නිසා ඔබ ඔබගේ ගෘහයේ වහළය මහා වාස්‌තු සිද්ධාන්තවලට අනුගතව සකස්‌ කර ගැනීමට සිතට ගන්න.

වහළය සඳහා ස්‌ලැබ් එකක්‌ දැමීම සුදුසු ක්‍රමයක්‌ නොවේ.

නූතනයේ නිවාස ඉදිකිරීමේදී වහළය සඳහා ස්‌ලැබ් එකක්‌ පමණක්‌ යෙදීමට බොහෝ පිරිස්‌ පෙළඹී සිටිනවා. මෙය වාස්‌තු සිද්ධාන්ත අනුව නිවැරැදි නොවන බව පෙන්වා දෙමි. ගෘහයක්‌ නම් එහි වහළයක්‌ තිබිය යුතුයි. වහළය තුළින් ගෘහයට ලැබෙන විශ්ව ශක්‌තිය බලවත් වීම හෝ දුර්වල වීම සිදු වේ. ස්‌ලැබ් එකක්‌ යෙදීමෙන් එම ගෘහයට විශ්ව ශක්‌ති ලැබීම දුර්වල වන බව මතක තබා ගන්න. මැද පෙරදිග රටවල ගෘහයන් ආශ්‍රිතව වහළ යෙදීම නොකරන බව පෙනේ. එහි ප්‍රතිඵල අපට මනාව පැහැදිලි වෙනවා. යුද්ධය, මානසික පීඩනය, අස්‌ථාවර භාවය, මනුෂ්‍ය ගති පිරිහීම වැනි තත්ත්වයන් එම කලාපයේ බහුලව නිතර දක්‌නට ලැබෙනවා. එම රටවල පවතින දේශගුණය සහ සම්පත් අනුව එම තත්ත්වයට පත් වී තිබුණද ශ්‍රී ලංකාව වැනි රටවලට එවැනි තත්ත්වයක්‌ කිසිසේත්ම නොගැලපෙන බව පෙන්වා දෙන අතර ඔබගේ ගෘහයට වහළය නිසි පරිදි එකතු කර ගැනීමට බුද්ධිමත් වන්න.

අභිනව ගෘහයේ වහළයට දැව තැබීම

ඔබගේ අභිනව ගාහයේ වහළයට දැව තැබීම නිසි පරිදි ඉටු කිරීම කළ යුතුයි. මෙහිදී ඔබ විසින් නිසි චාරිත්‍ර හා සුබ මුහුර්ති මෙන්ම දිශාව පිළිබඳවද දැනුවත්ව සිටිය යුතු වෙනවා. වහළයක දැව තැබීමේ දී සෑම විටම ගෘහ මූලිකයා විසින් මුල්ම දැවය තැබීම සිදුකළ යුතු අතර ගෘහ මූලිකයා නොමැති විටකදී වැඩිමහල් පිරිමි දරුවකු හෝ එසේ නැතිනම් පවුලේ ළඟම ඥාති පුරුෂයකු විසින් එම කටයුත්ත ඉටු කිරීම මැනවි.

මුලින්ම තබන දැවය සීහුම් කොට තබන්න.

ඔබගේ ගෘහයට තබන මුල්ම දැවය ගෘහ මූලිකයාගේ ජන්ම නැකතට ගැළපෙන දැව වර්ගය තෝරා (කොහොඹ, මී, සඳුන්) එම දැවයෙන් ලී ඇණ තුනක්‌ මුල්ම දැවයට එකතුකොට සීහුම් කොට තැබීම කළ යුතු වෙනවා. මේ තුළින් ගෘහයේ වහළයේ දැව ඝන බලවත් කර ගැනීමේ හැකියාව ලැබෙන අතර වහළයේ ජීව ගුණය වැඩි වී දෝෂ බලවත් නොවනු ඇත.

මුල්ම දැවය තබන දිශාව දැන ගන්න.

ගෘහයේ වහළය දැව තැබීමේදී කිසිම විටක ප්‍රධාන දිශාවක මුල්ම දැවය නොතැබිය යුතුයි. ඒ සඳහා වඩාත් උචිත වන්නේ

* ඊශාන

* ගිණිකොණ

* නිරිත දිශා වේ.

මුලින්ම තබන දැවය කිසිසේත්ම අඩි 06 කට වඩා අඩු දිගකින් නොවිය යුතු අතර වහළයේ යට ලී සඳහා අඩි 06 කට වඩා අඩු මූට්‌ටු නොයෙදිය යුතුයි.

වහළයේ මුදුන් යටලීයේ නිවැරැදි යෙදීම.

ගෘහයක මුදුන් යට ලීය ඉතාමත් වැදගත් වෙනවා. එම මුදුන් යට ලීය යෙදීමේ දී කිසිම විටක මී / කොහොඹ දැවයක්‌ යොදා ගන්න එපා. එවැනි දැව යොදාගනු ලබන්නේ ආගමික ස්‌ථාන සඳහා පමණි. එසේම මුදුන් යටලීය කිසිම විටක නැකතට තබන මුල්ම දැවය නොවිය යුතු බවද මහා වාස්‌තු ශිල්පයේ දක්‌වා තිබෙනවා. (එසේ වුවද යම් වහළයක මුදුන් යටලීය පමණක්‌ නම් තැබීමට ඇත්තේ එම යටලීය විශේෂ වාස්‌තු සීහුම් කිරීමක්‌ මත තැබීමක්‌ කළ හැක. මෙය නූතන වහළ ක්‍රමයේ දී යෙදීමට සිදු වේ.) ඔබගේ ගෘහයේ මුදුන් යටලීය අඩි 06 කට වඩා කෙටි නොවීමටද වගබලා ගන්න. මීට අමතරව ගෘහයක මුදුන් යටලීයේ දිශානුගත කරණයද නිවැරැදි විය යුතුයි. මහා වාස්‌තු ශිල්පයට අනුව වහළයක මුදුන් යටලීයක්‌ නොයෙදිය යුතු එකම දිශාව වන්නේ ඊශාන - නිරිත පමණි. පූර්ණ වශයෙන් ඊශාන - නිරිත විශ්ව ශක්‌ති රේඛාවට ලම්භක නොවන පරිදි ගෘහයේ මුදුන් යටලීය යෙදීමට වගබලා ගන්න.

වහළයේ දැව තැබීමේදී

අනුගමනය කළ යුතු සුබ මුහුර්ති

වහළයක මංගල දැවය තැබීම සඳහා සෑම විටම කෝණ මාසවල නොපැවැත්වෙන සුබ මුහුර්තියක්‌ ලබා ගත යුතු වෙනවා. යොදාගත් සුබ හෝරාවේ බලවත් දිශාව, බලවත් වර්ණය, බලවත් දෙවියන් නිසි පරිදි හඳුනාගෙන මංගල දැවය තැබීම කළ යුතුයි.

ගෘහයක වහළයට දැව තැබීම උදෙසා සුබ මුහුර්ති සකස්‌ කිරීමේ දී සෑම විටම ඔත්තේ සංඛ්‍යාවක්‌ සහිත සුබ මුහුර්ති ලබා ගැනීම කළ යුතු වෙනවා. නිදසුනක්‌ ලෙස ඔබගේ නැකැත්කරුවා විසින් ලබාදෙන සුබ මුහුර්තිය 07.31 නම් එය සුබ ඔත්තේ මුහුර්තියක්‌ වන අතර 06.24 සුබ මුහුර්තිය ඔත්තේ සුබ මුහුර්තියක්‌ නොවන බව ඔබ දැනුවත් වන්න.

මුල්ම දැවය තැබීමේදී එය

ගිලිහී බිම වැටෙන්නේ ඇයි?

ඔබගේ ගෘහයේ වහළය සඳහා මුල්ම දැවය තැබීමේ දී සමහර අවස්‌ථාවල එම දැවය ගිලිහී බිම පතිත වීමේ හැකියාව පවතිනවා. මෙවැනි තත්ත්වයන් ප්‍රායෝගිකව සිදුවන අතර එවැනි තත්ත්වයන් සඳහා මුහුණ දීමට ඔබට අවශ්‍ය දැනුම ලබා දෙන්නම්. බොහෝ විට ඔබගේ වහළය සඳහා දැව තැබීම ප්‍රමාද වූ අවස්‌ථාවන්වල මෙන්ම වහළයේ කොටස්‌ ඉදිකොට කාලයක්‌ ගිය පසු ඉතිරි කොටස සඳහා දැව තැබීමේදී මෙම ගිලිහීම බලවත්ව සිදුවිය හැකියි. එසේම පැරණි වහළයක්‌ ගළවා නැවත වහළය සකස්‌ කිරීමේ දී මෙසේ දැව ගිලිහීම සිදුවිය හැකියි. මෙවැනි අවස්‌ථාවකදී ඔබ කලබල නොවිය යුතු අතර එම තත්ත්වයට සාර්ථකව මුහුණ දෙන්න. ඔබගේ වහළය සඳහා නැකතට තැබූ දැවය ගිලිහී වැටුන විට ඔබ බිය වන්න එපා. එම නැකතේ තිබූ දෝෂය ඉවත් වීම ඒ තුළින් සිදුවන අතර ඔබ කළ යුත්තේ මීළඟට එළඹෙන ඔත්තේ මිනිත්තුවේ දී නැවත එම දැවය තැබීමයි. එහිදී ඊශාන දිශාව බලා විෂ්ණු දෙවියන් සිහිකොට එම දැවය නැවත තබන්න. මෙහිදී වහළයේ මංගල දැවය තැබීමේදී ඊට යටින් කිsසිවෙකුටත් සිටීමට ඉඩ නොදීමටද වගබලා ගන්න.

දැව තැබීමේ වාස්‌තු පිළිවෙත්

ඔබගේ අභිනව ගෘහය සඳහා වහළයට මංගල දැවය තැබීමේදී ඊට පූර්ව වශයෙන් ගෘහයේ හතර කොණ ආසන 04 ක්‌ භූමියේ සකසා පිළිවෙත් සිදුකළ යුතු අතර නිවස මධ්‍යයේද එම ආසන සකස්‌කොට ගිතෙල් පහනක්‌ දැල්වීම කළ යුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,

1. ගිතෙල් පහන් 05 ක්‌

2. සුවඳ දුම් / කපුරු

3. වර්ණ පහකින් යුතු මල්

4. බුලත් කොළ 40 ක්‌

5. කහ දියර

6. පොල් ගෙඩියක්‌

ඉහත දෑ ඔබගේ නිවසේ භූමිය මත හතර කොණ සහ ගෘහයේ බ්‍රහ්ම පාදය ආශ්‍රිතව සකස්‌කොට ගෙන ගිතෙල් පහන් දැල්වීම සිදුකළ යුතු අතර නිවසේ බ්‍රහ්ම පාදයේ පහන ඊශාන දිශාවට හරවා දැල්වීම කළ යුතු වෙනවා. ඔබ විසින් සකස්‌ කරගත් පොල් ගෙඩිය මත කපුරු පෙත්තක්‌ දල්වා වාස්‌තු ශිල්පියා විසින් බ්‍රහ්ම පාදයේ සිට බලගන්වා සීහුම් කළ පසුව පොල් ගෙඩිය බිඳීම නැකැත් වේලාවට පූර්ව සිදුකළ යුතු අතර ඉන් පසුව සුබ මුහුර්තියෙන් මංගල දැවය ගෘහ හිමියා විසින් වහළයේ තැබීම කළ යුතු වෙනවා. එසේම විෂ්ණු දෙවියන් හා ගම්භාර දෙවියන් උදෙසා පඬුරක්‌ අස්‌ කිරීමද කළ යුතු අතර එම පඬුර වහළයේ ගැට ගැසීම නොකළ යුතු අතර අදාළ දේවාලයේ ගැට ගැසීම කළ යුතුයි. වහළ ඉදිකොට දින 07 ක්‌ ඉක්‌ම යැමට ප්‍රථම එම භාරය ඔප්පු කිරීම චාරිත්‍රය වේ.

මහා වාස්‌තු ශිල්පයට අනුව ඔබගේ අභිනව ගෘහයේ වහළය සකස්‌ කර ගැනීමේදී එම වහළයේ මංගල දැවය තැබීම උදෙසා වූ වැදගත් වාස්‌තු ශිල්පීය කරුණු ඔබ වෙත කියා දුන්නේ ගෘහයක වහළය ඉතාමත් වැදගත් ගෘහ ඒකකයක්‌ ලෙස බලවත් වන බැවිනි. විශ්වයේ විශ්ව ශක්‌තිය ගෘහයට ඇදගනු ලබන ගෘහයේ සිරස වන්නේ වහළයයි. එබැවින් ඔබගේ ගෘහයේ වහළය මහා වාස්‌තු සිද්ධාන්තවලට අනුගතව ඉදිකර ගැනීමටත් ඒ සඳහා අවශ්‍ය වන වාස්‌තු වත්පිළිවෙත් සහ මුහුර්ති අනුගමනය කළ යුතු පිළිවෙළ පිළිබඳවත් ඔබව දැනුවත් කළේ ඒ තුළින් ඔබගේ ගෘහයට විශ්ව තලවල ඇති මහානුභාව සම්පන්න විශ්ව ශක්‌තීන් නිසි පරිදි කාන්දු කර ගැනීමට අවශ්‍ය දේව ගුණ බලවත් කිරීමේ ප්‍රසාදයෙන් බව කිව යුතුයි. ඔබගේ ගෘහයේ සිරස නිසි පරිදි බලවත් කොට ගෙන මහා විෂ්ණු දෙවියන්ගේ ප්‍රසාදය ලබා ගැනීමට කුසල් සිත් පහළ වේවා·


ශාස්‌ත්‍රවේදී වාස්‌තුවිද්‍යා විශාරද පේරාදෙණියේ, ඩී.යූ. සෙනරත්
වැඩිදුර විස්‌තර සදහා වාස්‌තු මැඳුර නො.189/3, කොළඹ පාර,
පොල්ගහමුල. 071-4402574 / 081-2386577

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල