ආහාර රටාව වෙනස් කළ කොවිඩ්

views 2020-07-08 09:52:00 Sinhala_Article_New

දෙමසකට ආසන්න කාලයක් නිවසේ රැඳී සිටීම නිසා සියලු දෙනාගේම ජීවන රටාව වෙනස්කම්වලට භාජනය විය. අප කාලාන්තරයක් තිස්සේ සුපුරුදු පරිදි පවත්වාගෙන ආ චර්යා රටා හා පුරුදු පවා කොවිඩ් වෙනස් කරන්නට සමත් විය. ඒ අතරින් අපගේ ආහාර පුරුදු ද සුවිශේෂී වේ. සාමාන්‍යයෙන් අප ආහාර පරිභෝජනය කරන්නේ ආහාර සකසා ගැනීමෙන් හෝ මිලදී ගැනීමෙනි. එහෙත් ගෙවුණු කාලය තුළ ආහාර මිලදී ගැනීම කෙරෙහි අපේ අවධානයක් නොවිණි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට ගරු කරමින් පිසූ ආහාර අලෙවිය නවතා දමා තිබූ අතර නිවසේ සිටම ආහාර සකස් කර ගැනීමට අපට සිදු විය. සාමාන්‍යයෙන් නිවසක රැකියාවක් කරන කාන්තාවක් සිය කාලය කළමනාකරණය කරගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය.

නිවසේ වැඩ වැඩ කටයුතු මෙන්ම තමන්ගේ රාජකාරී වැඩකටයුතු නිසි ලෙස සමබරව කරගෙන යෑමට ඇගේ කාර්යක්ෂම බව අතිශයින් වැදගත් ය. සාමාන්‍යයෙන් නිවසක ආහාර පිළියෙල කිරීම කාන්තාව අතින් සිදු වේ. රැකියාවක් කරන කාන්තාවක් එසේ ආහාර පිළියෙල කිරීමට මෙන්ම ආහාර මිලදී ගැනීමට ද යොමු වන්නේ පහසුව නිසාය. එහෙත් කොවිඩ් වසංගතය හමු වේ සුපුරුදු පරිදි එසේ පිසූ ආහාර මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වීම පිළිබඳ ඔවුන්ගේ ආකල්ප විවිධය.

අනුරාධපුර ප්‍රදේශයේ වාසය කරන ශානිකා මහත්මිය රජයේ රැකියාවක් කරන ගෘහණියකි. කොවිඩ් වසංගතය හමුවේ වෙළඳසැල් හි පවතින පිසූ ආහාර නැති වීම සම්බන්ධයෙන් ඇය දැක්වූයේ මෙවැනි අදහසකි. ඇත්තටම මං රැකියාව කරලා සමහර දවසට නිවසට එද්දී හවස් වෙනවා. ඒ දවස් වලට ගෙදර රෑට ආහාර පිළියෙල කරනවා ගොඩක් අඩුයි. කඩේකින් පොඩි දෙයක් ගෙනල්ලා කෑම කන එක තමයි කළේ. නමුත් කොවිඩ් වසංගතය නිසා කඩවල් වල පිසූ ආහාර විකිණීම නැවතුණු නිසා අපි කොහොමහරි ගෙදරම ඉඳන් කෑම සකස් කරන්න පුරුදු වුණා. දැන් රැකියාවට ගියත් කාලයක් තිස්සේ නිවසේ ම ආහාර සකස් කරලා පුරුදු වුණ නිසා ඒක ගැටලුවක් නෙමෙයි. ඒ වගේම පිරිසිදුකම ගුණාත්මක බව හා විශ්වසනීයත්වය වැඩියි. වෙනදට කඩෙන් මිලදී ගන්න කෑම අපි ගෙදර හදන්නත් මේ කාලෙදි පුරුදු වුණා. ඒ නිසා වියදම අඩු වෙනවා වගේම ආහාර නිසා ඇති වෙන ලෙඩ රෝග පවා අවම වෙනවා. ඒ නිසා කඩවල් වල වෙළඳාමට තිබෙන පිසූ ආහාර නැති වුණ එක හොඳක් විදිහට මම දකිනවා.

පෞද්ගලික ක්ෂේත්‍රයේ සේවය කරන රත්නපුර ප්‍රදේශයේ කේ. කරුණාවති මහත්මිය පිසූ ආහාර මිල දී ගැනීම සම්බන්ධයෙන් දරන්නේ මෙවැනි අදහසක්. "අපි රැකියාවක් කරන නිසා ගොඩක්ම සලකා බලන්නේ පහසුව. ඒ නිසා බොහෝ දුරට කරන්නේ වෙළෙඳපොළෙන් පිසූ ආහාර මිලදී ගන්න එක. කාර්යබහුලත්වයත් එක්ක ආහාර ආහාරය පිළියෙල කිරීමට දෙන අවධානය අඩුයි, මේ කෝවිඩ් වසංගතය නිසා අපි නැවතත් ආහාර පිළියෙල කරන්න ලොකු අවධානයක් දුන්න කියල මම හිතනවා. මේක හොඳ තත්වයක් විදිහටයි මම දකින්නේ කඩ කෑම අවශ්‍යම නැති බව හොඳින් ඔප්පු වුණා. කාර්යබහුලත්වය එක්ක වුණත් සෞඛ්‍යාරක්ෂිතව ආහාරය ගැන අවධානය යොමු කරන්න ඕනේ කියලා අපි ඉගෙන ගත්තා. වෙළඳපොලේ ආහාරවලට හුරු වුණ අයට මේ තත්ත්වය අපහසුවක් වුණත් එයට හැඩගැසීම සෞඛ්‍යයට ඉතා හිතකරයි කියලා මට හිතෙනවා."

ශ්‍රියානි රණවීර මහත්මිය මීගමුව ප්‍රදේශයේ රජයේ රැකියාවක නියුතු ගෘහණියකි. මේ කාල වකවානුවේ පිසූ ආහාර මිලදී ගැනීමට නොහැකි වීම ඉතා යහපත් තත්ත්වයක් ලෙස ඇය දකියි. මේ ඇතිවුණු තත්ත්වය ගොඩක් හොඳ දෙයක්. ඇත්තටම මම විශේෂයෙන් ආහාර සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන කෙනෙක්. අපිට තියෙන සීමිත බඩු භාණ්ඩ යොදා ගෙන යොදාගෙන විවිධ කෑම වර්ග හදන්න මේ කාලෙදි අපිට පුළුවන් වුණා .වැඩට යන දවස් වල බැහැයි කියල හිතමු කෑම පවා අපි හදන්න ගත්තෙ මේ කාලෙදි. කෑමක් බීමක් හදන්න වෙලාවක් නෑ කියන එක වෙනස් වුණා. කොවිඩ් වසංගතය පැමිණෙන කලින් අපි නිතරම කඩෙන් ආහාර මිලදී ගැනීම පුරුද්දක් කරගෙනයි තිබුණෙ. ඒත් ඒ පුරුද්දෙන් බැහැර වෙලා නිවසෙ හැමදෙනාම සහයෝගයෙන් කෑම හදන්න පුරුදු වුණා. වෙනදට තනියෙන් පිළියෙල කරන කෑම වේලට හැමදෙනාගෙම දායකත්වය ලැබුණා. ඒක හොඳ අත්දැකීමක් වගේම කයට මනසට බෙහෙවින් හිතකර දෙයක්. කොත්තු, රයිස් වගේ කෑමවලට වඩා රසයක් ගුණයක් ඒ කෑමවලින් දැනුණා. මේ විවිධත්වයත් එක්ක කාර්යහුල ජීවිතය නැවත පටන් ගත්තත් ආහාර පුරුදු සමබර කරගන්න හැකිවුණා.

ගෘහණියන් සේම රැකියාවන් කරන තරුණියන් ආහාර සම්බන්ධයෙන් දක්වන අවධානය විවිධ ය. ගාල්ලේ තිළිණි ජයසූරිය රජයේ රැකියාවක නියුතුව තරුණියකි. ඇය මේ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවැනි අදහසකි.

ඇත්තටම මට මේ තත්ත්වය නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි. මම ස්වභාවයෙන්ම වෙළඳසැල්වල අලෙවි කරන පිසූ ආහාර භාවිතයට ගන්නේ නෑ. නිවසින් සකස් කරන ලද ආහාර පමණයි මම භාවිතා කරන්නේ. පිරිසිදු බව තමයි එයට හේතුව. ඇත්තටම රැකියා කටයුතු නිමවා නිවසට පැමිණීමෙන් පසුව මම ආහාර පිළියෙල කරනවා. ඒ නිසා කොවිඩ් වසංගතය නිසාම පමණක් නෙමෙයි අපේ අතින්ම ගුණාත්මක ආහාර සකස් කරගන්න අපට පුළුවන්. සල්ලි දීලා ලෙඩවෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා කෘත්‍රිම ආහාර වෙළදපොළේ නොතිබීම එතරම් ගැටලුවක් නෙවෙයි.

සෞඛ්‍ය ආරක්ෂිත ජීවන රටාවකට යොමු වීමේ දී අපේ ආහාර චර්යාවන් ඉතා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත. වෙළඳපොලේ පවතින පිසූ ආහාර පිළිබඳව හා එම ආහාර භාවිත කිරීමේ තත්ත්වයන් පිළිබඳ විවිධාකාරයේ මත සමාජයේ පවතින සමයක කොවිඩ් වසංගතය අපේ ජීවිත වෙනස් මගකට යොමු කළ ආකාරය හා එය ප්‍රායෝගිකව අත් විඳීමට අවකාශය සැලසු ආකාරය ඉතා වැදගත් කිව යුතුමය.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල