වංගු නැතිව අපාය පෙන්වන දෙවියන්ගේ අඩවියේපව්කාරයෝ

views 2019-11-22 11:42:00 Sinhala_Article_New

සමහර අය ගංජා ටිකක් නැද්ද අහනවා. සමහරුන් දඩ මස් ඉල්ලනවා. සමහර අය අරක්කු ගන්න තැනක් අහනවා. පිටින් එන අය මේවා තියෙන තැන් දන්නේ නෑ. අපි තමයි ඒ අයට මේවා සප්ලයි කරන්නේ. අපිට අත යට ගානක් ලැබෙනවා මේවා නිසා. ඒකයි මේකේ රහස. කතරගම වන්දනාවේ එන සමහර තරුණයෝ දේවාලෙට ගිහින් වැඳලා පුදලා ඉවර වෙලා රෑට හෝටල් කාමරයට ආවම අපෙන් අහනවා මල්ලි නැද්ද රෑට එළිවෙනකම් තනියට කෙනෙක් හොයා ගන්න කියලා. ”

කතරගම කේන්ද්‍ර කරගත් හෙරොයින් මත් කුඩු ජාවාරමත්, ගණිකා ජාවාරමත් කලින් කලට උඩ එමින් යට යමින් පවතින මාතෘකාවක් බවට පත්ව තිබේ. ඉකුත් දින කිහිපය තුළ අප ගත කළේ පුජනීය වූ කතරගම දෙවිහාමුදුරුවන්ගේ අඩවියේ ය. සිදුවන කුජීත අලජ්ජීකම් එළිපිටම ය. ඇස් ඇත්තෝ ඇස් නැත්තන් මෙන් සිටිති. නීතිය වංගු ගසමින් නැමී ගොස්ය. කතරගම දෙවිහාමුදුරුවන් වැඩ සිටින මේ උතුම් පුජනීය භූමිය දැන් සල්ලාල අඩවියක් බවට පත් වෙමින් පවතියි. නිදහසේ බියක් සැකයක් නැතිව හෙරොයින්, මත් කුඩු, ගංජා ටිකක් බොන්නට වගේම දඩමස් කෑල්ලක රස බලන්නත් රෑ කුමාරිකාවගේ පහස ලබන්නටත් යනවා නම් යන්න ඕනේ කතරගම තමයි කියන තැනට අද කතරගම පත්ව තිබීම කණගාටුදායක පුවතකි.

ලැයිම් වැනි ගම්මාන තුළ සමාජ විරෝධි කටයුතු

කතරගම අවට ඇති කුඩා ලැයිම් වැනි ගම්මාන තුළ සිටින බහුතරයක් වු තරුණ තරුණියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ හෙරොයින් මත් කුඩු ජාවාරම, ගංජා ජාවාරම, තැරැවුකාර ජාවාරම මෙන්ම ගණිකා ජාවාරමයි. පුදුමයට කරුණ නම් වයස අවුරුදු 15 පටන් වු තරුණයින් පවා අද වන විට පළපුරුදු පරිනත මිනිසුන් මෙන් මෙම ජාවාරම් වල නියැළී සිටිති. කතරගම වන්දනාවේ යන එන බැතිමතුන්ට තැරැව්කාර සේවා සපයන මෙම පිරිස් වන්දනාවේ පැමිණෙන බොහොමයක් වු තරුණයන්ගේ හා වෙනත් වන්දනා කරුවන්ගේ සිතැඟි පරිදි ඔවුන්ගේ මනදොල සපුරාලන්නට සමතුන් බවට පත්ව තිබේ. වන්දනාවේ පැමිණෙන පිරිස් කෙසේ හෝ සිය වසඟයට ගන්නා මෙම තැරැව්කාර සේවයේ නිරත තරුණයන් ආරක්ෂක අංශවල ඇස් වලටද වැලි ගසා සිය ජාවාරම් කරගෙන යන්නේ කිසිදු බයක් සැකක් නැතිවම ය.

කතරගම දේවාලයේ සිට කිරිවෙහෙර දාගැබ් වහන්සේ වෙත යන මාර්ගය දෙපස විවිධ තරුණයන් සේම කාන්තාවන්ද බිම රෙද්දක් එලාගෙන වන්දනාවේ පැමිණෙන අයවෙත මාල වළලු වගේම පොඩි පොඩි ටොයිස් බඩු විකුණන්නේ ජිවත් වෙන්නට වෙන රැකියාවක් නොමැති බව පවසමිණි. එහෙත් එහි අභ්‍යන්තරය ඔවුන් කියනවාට වඩා හාත්පසින්ම වෙනස් වු එකකි. මෙම මාර්ගය දෙපස මාල වළලු විකුණන අය වෙත වෙනත් හොඳ රැකියාවක් ලබා දුන්නද ඔවුන්ට ඒවා මෙම රැකියාව තරම් හරියන්නේ නැත. ඒ මෙම රස්සාවේ තියෙන රස මේ අය අද වන විට හොඳින්ම අවබෝධ කරගෙන සිටින නිසාවෙනි. කතරගම සිටින බොහෝ තරුණ පිරිසක් මේ වන විට හෙරොයින් මත් කුඩු වලට, ගංජා වලට ඇබ්බැහි වී හමාරය. ඔවුන් බොහොමයක් දෙනා සිය දවස ආරම්භ කරන්නේම කුඩු ටිකක්, මත් වතුර ටිකක් තොල ගාගෙනමය. ඒ නිසාම ඔවුන් කරන්නේ කුමක්ද කියන්නේ මොකද්දවත් දන්නේ නැත.

මතුරපු නූල් බිස්නස්

කතරගම කිරිවෙහෙර දක්වා ඇවිද යන විට අප එක් ස්ථානයක සුළු මොහොතකට නතර වීමු. ඒ අත් පළඳනා විකුණන තැනකි.

“කීයද මේ නූල්..?”

අප ඇසු පැනයට එහි සිටි තරුණයා එක හුස්මට පිළිතුරු දීගෙන ගියේ අපේ අතේ විවිධ වර්ගයේ නූල් මිටි දෙක තුනක්ද තබමිණි. “සර් කතරගම ආවා කියලා මතක හිටින්න නුලක් අරගෙන යන්න. කතරගම දෙවිහාමුදුවන්ගේ ආශිර්වාදය තමයි මේ නුල් වල තියෙන්නේ යැයි “ ඔහු අපට චතුර ලෙස විස්තර කරන්නට විය. කොට කලිසමක් හා කර කපපු ටී ෂර්ට් එකක් ඇඳ අතේ පච්චයක්ද ඇඳ සිටි මෙම තරුණයා බැලූ බැල්මට වයස අවුරුදු 25ක පමණ වුවෙකි. මොහුගෙන් නූල් කීපයක්ද මිළදි ගත් අපි සුළු වේලාවක් ඔහු සමඟ කතරගම ආගිය තොරතුරු කතා කරන්නට වීමු.

මද වෙලාවකින් ඔහුද අපත් සමග හිතවත් විය. කතාව පටන්ගත්තේ එතැන් සිටය.

“මල්ලි... මේ නුල් විකුණලා පවුලක් නඩත්තු කරන්න පුළුවන්ද?. දවසට කීයක් විතර මේකෙන් හොයා ගන්න පුළුවන්ද?.” අපි ඔහුගෙන් විමසුවෙමු.

අප ඇසු පැනයට සමච්චලයට මෙන් සිනාසුනු තරණයා ඊට දුන්නේ අපුරු පිළිතුරකි.“පිස්සුද මහත්තයෝ... මේ නුලක් විකුණලා පවුලක් තියා මට තනියමවත් ජීවත් වෙන්න බෑ. මේ රස්සාව කරන ගමන් අපි තව රස්සා කීපයක් කරනවා. අපි මේ කතරගම ඉඳලා දැන් මේ වෙනකොට අපිට හිතවත් වෙච්ච ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ අය කතරගම එනකොට අපිට තමයි කියන්නේ. ඉතින් අපි තමයි ඒ අය වෙනුවෙන් ඕන කාමර හෝ හෝටල් බුක් කරන්නේ. දේවාලෙට ගෙනියන්න පුජා වට්ටි ගෙනත් දෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අය අපිට සලකනවා. ඊට අමතරව පුජා වට්ටි කඩවලින් හා හෝටල් වලිනුත් අපිට සපෝර්ට් එකක් ලැබෙනවා. ඒ විතරක් නෙමේ කතරගම වන්දනාවේ එන ගොඩක් දෙනෙක් දේවාලේ ගිහින් වැඳලා පුදලා ඉවර වෙලා හෝටලේට ඇවිත් රෑ කෑමට කලින් පොඩි ජොලියක් දමන්න හොයනවා. ඉතින් ඒ අය ඒක අපිට තමයි කියන්නේ.”

වන්දනාකරුවන්ගේ සප්ලයර්ස්ලා

තරුණයා කතා කරන්නේ සමච්චල් සිනාවක් ද සමගය. අප විනෝදකාමී සංචාරකයන් කණ්ඩායමක් යැයි උපකල්පනයකින් යුතුව කතා කරන මේ තරුණයාගේ ඉලක්කය ලෙස පෙනෙන්නේ අප ද සිය ව්‍යාපාරයේ පාරිභෝගිකයන් කර ගැනීම ය.

“සමහර අය ගංජා ටිකක් නැද්ද අහනවා. සමහරුන් දඩ මස් ඉල්ලනවා. සමහර අය අරක්කු ගන්න තැනක් අහනවා. පිටින් එන අය මේවා තියෙන තැන් දන්නේ නෑ. අපි තමයි ඒ අයට මේවා සප්ලයි කරන්නේ. අපිට අත යට ගානක් ලැබෙනවා මේවා නිසා. ඒකයි මේකේ රහස. කතරගම වන්දනාවේ එන සමහර තරුණයෝ දේවාලෙට ගිහින් වැඳලා පුදලා ඉවර වෙලා රෑට හෝටල් කාමරයට ආවම අපෙන් අහනවා මල්ලි නැද්ද රෑට එළිවෙනකම් තනියට කෙනෙක් හොයා ගන්න කියලා. ” ඔහු ඉඟි මරයි.

“ඔයාලා ඉතින් සප්ලයි

කරනව ද?.” මම අසමි.

“ නැතිව ඉතින්... අපි ඒ අය ඉල්ලනකොටම බඩු ලඟට ගෙනත් දෙනවා. එහෙම එන සමහර කාන්තාවන්ට එළිවෙනකොට පිරිමි හත් අට දෙනා එක්ක නිදියාගන්න වෙනවා. කාන්තාවන්ට හොඳ ගානක් එක ලැබෙනවා වගේම අපිටත් අපේ සාක්කු වලට කියක් හරි එනවා.” කිසිදු හිරිකිතයක් නොමැතිව තරුණයා අප සමග කියයි. ඒ අතර ගංජා අතකට හෝ අපව පොළඹවා ගන්නට ඔහු දරන උත්සාහය යටපත් කරන්නට වෙර නොදරයි. අපායට පාර කියන්නට යන තරුණයාගෙන් අප වෙන් වන්නේ ඔහු තුළ බලාපොරොත්තුවක් ඇති කරවමිනි.

“ඔයා වගේ වැඩ කරන අය කතරගම තව ඉන්නව ද?”

“ඕන තරම් ඉන්නවා... ඒත් මම වැඩේ කරන්නෙ බොක්කෙං... වංගු නෑ... කාටවත් ලීක් වෙන්නෙත් නෑ. බඩුත් ෂුවර්... මේකෙ එවුන් අපි වගේ නෑ...”

බොක්කෙන් වැඩ දෙන්නෝ

“අනිවාර්යයෙන්ම ඔයාව කන්ටැක්ට් කරනවා. ඔයා සම්පතක් වගේ කෙනෙක් නෙ. හම්බවෙමු.” දැලේ පැටලුණු මාලුවෙක් දෙස බලන ධීවරයෙක් සේ ඔහු අප දෙස බලන සිනාමුසු දෑස් දෙස අනුකම්පාවෙන් බලාගෙන සිටියෙමි.

මේ තරුණයාගේ කතාවෙන් විසිවුණු කෑලි ඔස්සේ අපි තවත් තරුණයෙක් සොයාගෙන ගියෙමු. හෙතෙම හෙරොයින් වලට ඇබ්බැහි වූවෙකි. ඔහුව අපට සම්බන්ධ කරන්නේ කතරගම සිටින අපේ සමීපතම මිත්‍රයෙකි. ඔහුව දකින්නට පෙර අප මිතුරා ඔහු ගැන කියන්නේ මෙසේය. “කුඩ්ඩෙක් තමයි. ඒත් හිත හොඳ එකෙක්. ඇත්තම කතා කරන ඒ හින්දා පරිප්පු කන එකෙක්. පරිස්සමෙන් කතා කරලා ඌවත් විනාශ නොකර වැඩේ කරපන්...”

අපි මේ තරුණයා සොයාගෙන ගියෙමු. ඔහු ටික වෙලාවකින් පසු විශ්වාසයකින් යුතුව අපට කතා කරන්නට වූයේය.

“ මහත්තයෝ අපිට වෙන කරන්න රස්සාවක් නෑ. මම රස්සාවක් කරන්න අවස්ථා කිහිපයක්ම උත්සාහ කළා. නමුත් ඒවා ඔක්කොම අසාර්ථක වුණා. සමාජය විසින්ම අපි මේ තැනට ඇද දමලා ඉවරයි. මං හෙරොයින් බොන්න පුරුදු වෙනකොට මට වයස අවුරුදු 15යි. එදා ඉඳන් අද වෙනකොට මම හෙරොයින් වලට ඇබ්බැහි වෙලා ඉවරයි. අද මට කුඩු ගහන්න දවට ඕන ගාන හොයාගන්න මං ඕනෙම දෙයක් කරන්න පෙළඹිලා තියෙනවා. කුඩු මිලි ග්‍රෑම් 310ක් එක්ක ඉස්සර වෙලාම පොලිසියට අහුවුණා. උසාවි ගිහින් ආව පළමු දවසෙම මං හිතුවා ආයේ නම් මේක කරන්නේ නෑ කියලා. මොකක් හෝ වෙන රස්සාවක් කරගෙන ඉන්නවා කියලා. නමුත් ඒකට අවස්ථාව හිමි වුනේ නෑ. කවුරුවත් අපිට රස්සා දෙන්න කැමති වුනේ නෑ. අවසානයේදී මට සිද්ධ වුණා අකමැත්තෙන් හරි මේ රස්සාව කරන්න.” බලාගෙන යනවිට ඔහු දවසේ කුඩු වියදම හොයා ගන්න කතරගම කුඩු විකුණන්නෙකි.

කුඩු ඊෂි කෑෂ් ක්‍රමයට

”ඔයාලට කොහොමද කුඩු ලැබෙන්නේ”

අපි සුපුරුදු ගොං ප්‍රශ්නය ඇසුවෙමු. ඔහු සිටියේ අපේ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා ද නැද්ද යන්න පිළිබඳ දෙගිඩියාවෙනි.

අපි කුඩු ගෙන්න ගන්නෙ ඊෂි කෑෂ් ක්‍රමයට. අපිට කුඩු දෙන්නේ කවුද ? කොහේ ඉඳන් අරගෙන එනවද කියලා අපි දන්නේ නෑ. ඊෂි කෑෂ් වලින් සල්ලි දැම්ම එයාලා ට අපේ ඇණවුමට අදාල හෙරොයින් ටික ලයිට් කණුවක් ලඟ, බෝක්කුවක් ලඟ නැත්නම් එයාලාට විශ්වාස තැනක දමලා අපිට කියනවා බඩු ටික අහවල් තැන තියෙනවා ගන්න කියලා. ඉතින් අපි ඒක අරගෙන අපිත් බොනවා. බීලා තව ටිකක් වන්දනාවේ එන අයට තව කියක් හරි වැඩි මුදලකට විකුණනවා. මම මේ වෙනකොට කුඩුත් එක්ක, ගංජා එක්ක අල්ලලා, හොර අරක්කු විකුණමින් ඉඳලා අහුවෙලා 15 වතාවක් විතර පොලිසියෙන් අල්ලගෙන ගිහින් තියනවා. තව කොච්චර අල්ලගෙන ගියත් ඒ ඇවිල්ලත් අපි ආයෙත් කරන්නේ මේකම තමයි. ඒක පොලිසියේ මහත්වරුත් දන්නවා. අපි ගැන පොලිස්සියේ ලොකු මහත්තයෙකුට කම්ප්ලේන් එකක් ගියොත් නම් එදාට ඉතින් අපි ඉවරයි.” ඔහු පැවසීය.

කතරගම දෙවිහාමුදුරුවන් වැඩ සිටින, බුදුරාජනන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ පවා වැඩ සිටින ඓතිහාසික පුජා භූමියක් වන කතරගම පුදබිමේ ඇති පුජනීයත්වය කෙළෙසෙන්නට ගත්තේ දේවාල කපුවන්ගේ සිට චීවරධාරී සමහර සල්ලාලයන්ගේ හැසිරීම රටේ මිනිස්සුන් ඉදිරියේ ලජ්ජාවකින් තොරව හෙළිදරව් වීමත් සමගය. පක්ෂ විපක්ෂ දේශපාලඥයින් සේම මැති ඇමති වරුන්ද බුරුතු පිටින් කතරගම වන්දනාවේ ආවත් කතරගම පුජනීය නගරයට අත්වෙමින් යන මෙම අවාසනාවන්ත ඉරණම ඔවුන්ට නොපෙනීම පුදුම සහගතය.

හොරොයින් ජාවාරමේ කාන්තා භූමිකාව

තවදුරටත් අප සිදුකළ සොයා බැලීමේදී අනාවරණය කරගත හැකි වුයේ කාලාන්තරයක් තිස්සේ සිදුවෙන මෙම හෙරොයින් හා ගංජා ජාවාරමට කාන්තාවන්ගේ සක්‍රිය දායකත්වයක් ලැබී ඇති අයුරුය.

“මහත්තයෝ මෙහේ කුඩු අම්මන්ඩිලා තමයි වැඩි. කුඩු රැජිනියෝ කියලා නම් දැරූ ගෑනුත් මේ දේව අඩවියේ ඉන්නවා. ඒ අය නිරුපද්‍රිතව මේක කරගෙන යන්නේ ආරක්ෂක අංශ වල ඇස් වලටත් වැලි ගසමිණුයි. මේ අයට විරුද්ධව කතා කරන්න බයයි. මේ අයට කාගේ උදව් තියෙනවද අපි දන්නේ නෑ. බලන්නකෝ පෙරහැර කාලෙට මේ කතරගම සිදුවෙන අපචාර කොච්චරක්ද කියලා. පෙරහැර කාලෙට විතරක් කතරගමට සිය ගණනක් ගණිකාවෝ එනවා. මේ එන ගණිකාවෝ ලෙස එන අයගෙන් පිරිසක් ඇත්තටම මිල මුදල් අතින් නැතිබැරි කම් තියෙන අය. බොහෝ අය පවුල් ඇරිච්ච කාන්තාවන්. කතරගම ගණිකා සේවයට එන සමහර අය විවිධ ආයතනවල ෂිෆ්ට් එකට වැඩ කරන අය. මීට අමතරව සිකුයුරිටි රස්සාව කරන සමහර කාන්තාවන් පාට් ටයිම් එකක් විදියට හෝටල් කාමර වලට එනවා. ඇත්තටම ඒ එන කාන්තාවන්ට ලැබෙන්නේ සොච්චම් මුදලක්. ගාල්ල, මාතර, නුවර, වැල්ලවාය, තණමල්විල, මොණරාගල, අම්පාර, ඇතිමලේ වැනි ප්‍රදේශවල තරුණියන් තමයි වැඩි හරියක් හෝටල් වලට එන්නේ. ඒ තරුණියන් හෝටල් අල්ලගෙනමයි ඉන්නේ. මේ අය වැඩි කාලයක් එක තැනක ඉන්නේ නෑ. ලංකාව වටේම කලින් කලට ඇවිද ඇවිද තමයි මේ අය ඉන්නේ. මේවත් එක්ක බලද්දී කතරගම පුජනීය නගරය අද ජාවාරම් කරුවන්ගේ පාරාදීසයක් බවට පත්වෙලා. වෙලාවකට අපිටම පුදුමයි මේ මිනිස්සු දෙයියන් බදුන්වත් විශ්වාස කරන්නේ නැද්ද කියලා. මම නම් කියන්නේ මේ ප්‍රදේශවල ඉන්න මේ තරුණ තරුණියන් එකතු කරලා මේ අය යම් විශෝධනයකට ලක් කරන්න ඔනේ. මේ අයගේ ආකල්ප සිතුම් පැතුම් වෙනස් කරගන්න පුළුවන් ධනාත්මක සිතුවිලි මේ අයගේ සිතුවලට කාවද්දන්න ඕනේ. එහෙම නැතිව නම් කතරගම මේ ඉන්න පරපුර ගොඩ ගන්න පුළුවන් කමක් නෑ...” යැයි සෙල්ලකතරගමදි හමු වු වැඩිහිටියෙකු අපත් සමඟ පැවසුවේය.

ගංජා වැසිකිළි

කතරගම ඇති පොදු වැසිකිළි ආශ්‍රිතව බහුල වශයෙන් ගංජා හා හෙරොයින් ජාවාරම සිදුවේ. වැසිකිළියට යන එන තරුණයින් ඉලක්ක කර පිටු පසින් යන මෙම ජාවාරම් කරුවන් මල්ලි ගංජා ටිකක් ඕනෙද කියා අහන තැනට ජාවාරම් කරුවන් පත්ව තිබේ. තරුණයින් බොහෝ දෙනෙකු පුජා වට්ටියක් අරගෙන කතරගම වන්දනාවේ ආවට එන වාහනයේ පිටු පස අරක්කු බියර් ඕනැ තරම්ය. බයිට් එකට අවශ්‍ය දඩමස් ටික කතරගමින් ලබා ගන්නේ කුඩු ටික කතරගමින් ලබා ගන්නේ ජාවාරම්කරුවන්ගේ පිහිටෙනි. කතරගමට තලප රැගෙන එන කාන්තාවක් පිළිබඳව තොරතුරක්ද අපට ලැබුණි. ඇතැම් දිනවල සතියකට වරකුත්, ඇතැම් දිනවල සතියකට දෙතුන් දිනකුත් ලෙස සිය ස්කූටර් වර්ගයේ යතුරු පැදියෙන්‍ හෝ ත්‍රි රෝද රථයකින් කතරගමට තලප රැගෙන එන මෙම කාන්තාවගේද ප්‍රධාන රස්සාව වී ඇත්තේ ගංජා හා හෙරොයින් මත් කුඩු ජාවාරමයි. තලප විකුණන මුවාවෙන් තලප වල බහා මෙම කාන්තාව හෙරොයින් හා ගංජා ජාවාරම ජයටම කරගෙන යන බව දන්නෝ සිටින්නේ මුණිවත රකිමිනි. කතරගම ඇත්තන්ට ඇය තලපා අක්කාය. තලපා අක්කා පොලිස් නිළධාරීන් සමග හරිම හුරතල්ය. නෙත් කොන් බැල්මෙන් පවා ඒ ඇත්තන් වශී වන බව කියන්නේ ගමේ අය තලපා අක්කාට එරෙහිව කතා කරන්නට යන්නේ නැත.

පසුගිය 10 වන දින සෙල්ලකතරගම බෝගහ හන්දියේද වෙඩි තැබීමක් හා පිහි ඇණුමක් සිදුවිය. පිහි ඇණුමින් 26 හැවිරිද තරුණයෙකු ජිවිතක්ෂයට පත් වු අතර 42 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් තවමත් ජිවිතයත් මරණයක් අතර සටන් කරමින් සිටී. එක බත්පත කාගෙන එකට සිටියවුන් කා කොටාගෙන මරාගත්තේද හෙරොයින් මත් කුඩු ජාවාරමක ප්‍රථිපලයක් ලෙස බව ඇසෙමින් තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රබල ප්‍රකාශනයක් පසුගිය කාලයේම සමාජය කළඹන්නට සමත් විය. ඒ මත්කුඩු ජාවාරම් කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා යැයි කිමත් සමඟය. මේ හේතුව නිසාම බන්ධනාගාරයේ සිටින ඇතැම් පිරිසකට මරණ බිය හොඳටම දැනී තිබිණි. මොන මරණ බිය දැනුණත් කතරගම වැනි දුගී මිනිසුන් වෙසෙන කුඩා සමාජ දකුණේ හෙරොයින් ජාවාරම් කරුවන්ගේ පහසු ගොදුරු බිම්ය. දකුණේ මේ මහා අපරාධකාරයන් රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ බලවතුන් අත සුරතල් වනවිට කතරගම ගැන අහවල් කතාවක් දැයි සිතේ. ආර්ථිකව අසරණ කළ දුගී මිනිසුන්ගෙන් බේරා ගන්නට කළ යුතු සමාජ ශෝධන කටයුතු රාශියකි. ඊට පෙර මේ පුදබිම පුදබිමක් ලෙස ගෞරවණීයව පුනරුත්ථාපනය විය යුතුය. අප පසුගිය දා ඇසුවේ කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබුවේ කිරිවෙහෙර මහසෙන් දේවාලය හසුරුවන පාර්ශවය බවය. නිමිත්ත දේවාලයේ ආදායම් පිලිබඳ ප්‍රශ්නයකි.

ප්‍රේත කුම්භාණ්ඩයන් අරක්ගත් භූමියකට දෙවියන් පය නොගසන බව පැරැන්ණෝ කියති. දෙවියන්ගේ නාමයෙන් නැවත දෙවියන්ගේ භූමියට දෙවියන් වැඩම කරගැනීමේ වගකීම සමාජයක් ලෙස අප සතුව තිබේ.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල