අවුරුද්දකට කෝටි 3කට ඇදුම හදන ලොකුම හේතුව

views 2018-11-09 02:55:00 Sinhala_Article_New

විසිඑක්වන සියවස තුළ මිනිසාගේ පැවැත්ම තීරණය කරන ප්‍රධානම සාධකය සංවර්ධනය බව කිව්වත්, සංවර්ධනයත් සමඟ මිනිසා දිනෙන් දින පරිහානියට පත්වෙමින් විනාශය කරා පියමං කරන බව හිතන්නට උත්සාහ ගත්තේ කීයෙන් කීදෙනාද ? සංවර්ධනය යහපත් සංකල්පයක් බව සැබවි. නමුත් ගැටලුව වන්නේ එම යහපත උදාකරන්නට මිනිසා උත්සාහ ගන්නේ තමාගේ පැවැත්ම තහවුරු කරන පෘථිවි තලය වනසමින්, එය ජීවත්වීමට නුසුදුසු තත්ත්වයට ඇද දමමින් වීමයි. පරිසර හා වායු දූෂණය යනු සංවර්ධනය හා අත්වැල් බැඳගත්, එහි නොවැළැක්විය හැකි අනිටු ඵල විපාක ලෙස ලෝකය පිළිගෙන දැන් සෑහෙන කල් ය. සංවර්ධනයේ නාමයෙන් සිදුවන භෞතීය පරිසරයේ දූෂණයටත් වඩා බරපතළ වන්නේ පියවි ඇසට නොපෙනන වායූගෝලීය දූෂණයයි. ඒ බව ඔප්පු කිරීමට සමත් සුවිශේෂී අනාවරණයක් පසුගියදා ප්‍රකාශයට පත්කොට තිබුණේ “ Environmental Health Perspectives” නමැති ජර්නලය විසිනුයි. ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලය විසින් සිදුකර තිබුණු අධ්‍යයනයක් ඇසුරෙන් සිදුකළ මේ අනාවරණය සුවිශේෂී වන්නේ එය වායු දූෂණය මඟින් ඇදුම රෝගය කෙරෙහි ඇති කරන බලපෑම ප්‍රාමාණාත්මකව අධ්‍යයනය කළ පළමු අවස්ථාව වීම නිසයි.

“සෑම වසරකම ලොව පුරා වෙසෙන ජනතාවගෙන් මිලියන ගණනක් රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකකයට දුවන්නේ අපිරිසිදු දූෂිත වායුව හුස්ම ගැනීමෙන් හටගත් ඇදුම රෝගී තත්ත්ව නිසයි. හරියටම කිව්වොත් මිලියන 9 – 33 ත් අතර පිරිසක් මේ කියන තත්ත්වයට වාර්ෂිකව ගොදුරු වෙනවා. “

වායූ දූෂණයේ බරපතළකම ගැන එලෙස අවධාරණය කරන්නේ අධ්‍යයනයට පුරෝගාමිවූ ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ මිල්කන් ආයතනයේ, පරිසර හා වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය ‘සූසන් ඩී. ඇනන්බර්ග්ය‘. නිධන්ගත ශ්වසන රෝග අතරින් වඩාත් ම සුලබ ම තත්ත්වය වන ඇදුම රෝගය නිසා ලෝක ජනගහනයෙන් පීඩා විඳින සංඛ්‍යාව මිලියන තුන්සිය පනස් අට ඉක්මවන බවයි කියැවෙන්නේ. මෙහි දී මූලිකව ම සිදුවන්නේ ශ්වසන මාර්ගය ඉදිමීමට ලක් ව වායු සංසරණයට බාධා පැමිණීමෙන්, පෙනහලුවලට ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් නොලැබී යෑමයි. උත්සන්නවූ ඇදුම රෝගී තත්ත්වයක දී සිදුවන්නේ ශ්වාස නාලිකාවල පේශී වඩාත් තදබදවී වායු ගමනාගමනයට ඇති ඉඩකඩ අඩු කිරීමයි. මෙම ප්‍රදාහ තත්ත්වයේ දී ශ්වාසනාලිකා බිත්ති මඟින් වැඩිපුර ශ්ලේෂ්මල ස්‍රාවයවීමක් සිදුවන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වායු ගමනාගමන මාර්ගය වඩ වඩාත් ඇහිරීමට ලක් ව, පෙනහලුවලට ලැබෙන ඔක්සිජන් සැපයුම තවදුරටත් අඩාළවීම සිදු වේ. එවැනි තත්ත්ව ඇතිවීම උත්තේජනය කිරීමට බලපාන විවිධ හේතු අතර අංක එකට එන්නේ වායු දූෂකයක් වන ඕසෝන් ය.

රථවාහන බහුල නගරවල ඇතැම්විට මීදුමක් ලෙස හාත්පස වසා පැතිරෙන ඕසෝන් වායුව පෙනහලුවල ක්‍රියාකාරීත්වය පවා අඩාළ කිරීමට තරම් ප්‍රබල ය. මීට අමතරව පරාග, මල් රේණු, පුස්, සත්ත්ව ලොම්, හා වාතයේ ඇති වෙනත් ක්ෂුද්‍ර අංශු ද, නාසය හා මුඛය ඔස්සේ පෙනහලු කරා ගමන්කොට ඇදුම රෝගයෙන් පෙළෙන්නකුගේ තත්ත්වය වඩාත් උත්සන්න කිරීමට සමත් දූෂ්‍යකාරකයන් ය. කැස්ස, හතිය, හුස්ම ගැනීමේ අපහසුව, පපුව හිරකිරීම වැනි රෝග ලක්ෂණවලට අමතරව උග්‍ර ඇදුම තත්ත්වයක දී නම් රෝගියාගේ ගත අඩපණවී කතා කිරීමට පවා නොහැකි තත්ත්වයකට ඔහු පත්වීම පවා සිදුවිය හැකිය. වාසනාවකට මෙන් මෙබඳු ජිවිතාවධානම් තත්ත්වයක දී ක්ෂණිකව සහනය සැලසීමට සමත් විශ්මිත ප්‍රතිකාර අද නවීන වෛද්‍ය විද්‍යාව සතු ය. නමුත් ඇදුම යනු ඇතැම් තත්ත්ව යටතේ මාරාන්තික ප්‍රතිඵල වුව ද ළඟා කරවිය හැකි, ‘සුව කළ නොහැකි රෝගයක්‘ බව අමතක නොකරනවා නම් වායුගෝලීය දුෂණය පිටුදැකීම සම්බන්ධයෙන් කවුරුත් මීට වඩා උනන්දුවක් දක්වන්නට පෙලඹෙනු නියතය. එවැනි තත්ත්වයක් යටතේ වායූ දූෂණයෙන් ඇදුම රෝගය කෙරෙහි ඇතිකරන බලපෑම ගෝලීය මට්ටමින් මෙලෙස අධ්‍යයනයට ලක් කෙරුණේ හාපුරා කියා ය. අධ්‍යයනයට කේන්ද්‍ර වූයේ හොං කොං ඇතුළු රටවල් පනස්හතරක පිහිටි රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණි ඇදුම රෝගීන් ය. එහි දී ලබාගත් දත්ත වාර්තා, චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබාගත් ගෝලීය පරිසර දූෂණ මට්ටම් සමඟ සම්බන්ධ කිරීමෙන් ප්‍රතිඵල ලබාගැනීම සිදු කෙරුණේ සංවර්ධනයේ ම දිගුවක් වන නූතන තාක්ෂණයේ ආධාරයෙනුයි. විශේෂයෙන් ම ඇදුම රෝගය කෙරෙහි වායු දූෂණයේ බලපෑම නිර්ණය කිරීමට චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීම සමස්ත අධ්‍යයනයට ම ලබා දුන්නේ වඩාත් පරිණත එමෙන්ම කාලෝචිත මුහුණුවරකි. දුරස්ථ සංවේදක උපකරණවලින් සන්නද්ධ චන්ද්‍රිකාවලට අමතරව පොළව මට්ටමේ වූ අන්වේක්ෂණ, වායුගෝලීය ආකෘති ද අධ්‍යයනයට යොදා ගැනුණේ වායූ දූෂණයේ ගෝලීය මට්ටම පිළිබඳ මිනුම් ලබාගැනීමටයි. වායුගෝලීය තත්ත්වයේ ප්‍රාමාණික මිනුම් ලබාගැනීමට තරම් පහසුකම් නොමැති රටවල පවා ඉන් ඇදුම රෝගයට එල්ල කරන බලපෑම නිර්ණය කිරීමට, චන්ද්‍රිකා තාක්ෂණය නිසාවෙන් ලැබුණේ විශාල පිටිවහලකි. එසේම ලොව පුරා වායුගෝලීය දුෂණයේ සාර්වත්‍ර මිනුමක් ලබාගනු වස් ප්‍රධානම මෙහෙය ඉටු කළේ ද චන්ද්‍රිකා තාක්ෂණය විසින් වීම මේ අධ්‍යයනයේ තවත් විශේෂත්වයකි. වාහනවලින් විමෝචිත දුම් හා වෙනත් අපද්‍රව්‍යවලින් දූෂිත වාතය ආඝ්‍රාණය කිරීමෙන් ඇදුම තත්ත්ව උත්තේජනය විය හැකි බව කාලාන්තරයක සිට දැන සිටියත් එය ප්‍රාමාණාත්මක ව විශ්ලේෂණය කිරීමක් මේ දක්වා සිදුව තිබුණේ නැත. වාර්ෂිකව හදිසි ප්‍රතිකාර ඒකකයට යන ඇදුම රෝගීන්ගෙන් මිලියන 5 – 10 ත් අතර සංඛ්‍යාවකගේ ඒ තත්ත්වයට හේතුව පෙනහළු අභ්‍යන්තරයේ වන ශ්වාසනාලිකා අවහිර කරමින් ඒවායේ ගැඹුරේ තැන්පත්වූ අපවිත්‍රකාරක අංශු බව සොයා ගැනුණේ එම ප්‍රාමාණාත්මක විශ්ලේෂණයේ ප්‍රතිඵලයක් ලෙසයි. එසේම තවත් වැදගත් අනාවරණයක් වූයේ, එලෙස හදිසි ප්‍රතිකාර ලබාගන්නා ඇදුම රෝගීන්ගේන් අඩක්ම චීනය හා ඉන්දියාව ප්‍රමුඛ දකුණු හා නැඟෙනහිර ආසියාතික රටවලින් වාර්තා විමයි. ඊට සාපේක්ෂව ඇමරිකාවේ වායුගෝලීය පවිත්‍රතාව තිබුණේ ඉහළ මට්ටමක ය.

චීනය හා ඉන්දියාව වැනි රටවල් සෙසු රටවලට වඩා ඇදුම රෝගයෙන් වැඩියෙන් පීඩාවට පත්වීමට අධික ජනගහනය එක් හේතුවක් වූවා විය හැකිය. නමුත් මහාචාර්ය ඇනෙන්බර්ග් පෙන්වා දෙන්නේ, එ් තත්ත්වය වඩාත් බරපතළ කිරීමට හේතුව තිබෙන්නේ වායු දූෂණය සම්බන්ධයෙන් ඒ රටවල ක්‍රියාත්මක වන නීති රීතිවල සාපේක්ෂ ලිහිල්භාවයයි.

“ වායු දූෂණය කියන්නේ ගෝලීය සෞඛ්‍යය අවදානමට ලක්කරන අංක එකේ සාධකයක්. අපේ අධ්‍යයනයේ ප්‍රතිඵලවලින් ඔප්පුවෙලා තියෙනවා ඒ නිසා වාර්ෂිකව ඇදුම රෝගය උත්සන්නවීම් මිලියනයකට වඩා ඇතිවෙනවා කියලා. මේක සමස්ත ගෝලීය ප්‍රජාවම මත පැටවිලා තියෙන ලොකු බරක්. වායු දූෂණයේ ලොකුම දායක ප්‍රභව වන නයිට්‍රජන් ඩයොක්සයිඩ්, ඕසෝන්, ක්ෂුද්‍ර අංශු වැනි දූෂක මඬින්න නම් ඒ පිළිබඳ වගකිව යුත්තන් දැඩි නීති රීති ක්‍රියාත්මක කළ යුතුයි.“

මහාචාර්ය ඇනන්බර්ග් අවධාරණය කරන්නේ එවැනි නීතිරීති හඳුන්වාදීම මඟින් ඇදුම රෝගීන්ට පමණක් නොව සාමාන්‍ය ප්‍රජාවටද හුස්ම ගැනීම පහසුවනු ඇති බව පෙන්වා දෙමිනුයි. ඒ අතර ඕස්ට්‍රේලියාවේදි සිදු කළ අධ්‍යයනයකින් මෑත දී හෙළිව තිබුණේ ඕස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් සිය දවසේ කාලයෙන් 90% ක් ම ගෘහස්ථ ව ගෙවා දමන්නේ වායුගෝලීය දූෂණයෙන් ආරක්ෂාවීමට බවයි. නමුත් ඒ එරට පාරිසරික ආරක්ෂක සංගමය වාර්තා කරන ආකාරයට බාහිර වායුගෝලයට වඩා ගෘහස්ථ වාතාශ්‍රය එමෙන් පස්ගුණයකින් දුෂ්‍ය වී ඇති බව නොදැන ය. දුහුවිලි, සුරතල් සතුන්ගේ ලොම්, පුස්වර්ග මෙන්ම ඉවුම පිහුම් කිරිමේ දී පිටවන වායුව මඟිනුත් නිවෙස් තුළ වාතාශ්‍රය දූෂ්‍ය වීමෙන් ඇදුම උග්‍රවිය හැකි බව තවමත් වැඩිදෙනෙකුට රහසකි. ඇතැම් අලුත මිල දී ගත් ගෘහභාණ්ඩ, පලස් හා තීන්ත වර්ගවල අඩංගුවන වාෂ්පශීලී කාබනික සංයෝග ද නිවෙස් තුළ වාතය අපිරිසිදුවීමට බලපාන තවත් සාධක කිහිපයකි. හොඳම විසදුම නම් වාතයේ ඇති එවැනි අපවිත්‍රකාරක සියල්ල පෙරා ඉවත් කළ හැකි ‘හෙපා පෙරණ‘ සහිත වායු පිරිසිදුකරණයක් භාවිත කිරීමයි. ගෘහාශ්‍රිතව තැබිය හැකි ඇතැම් ශාකවර්ග ද ස්වභාවික වායුගෝලීය පිරිසිදුකාරක ලෙස භාවිත කිරීමට කදිම ය. වායුගෝලීය දූෂණයෙන් මිදීමට ගෘහාශ්‍රිතව ගතකරන කාලය වැඩිකිරීම ප්‍රායෝගික නොවුණත්, එවැන්නක් කරන්නේ නම් ඊට පෙර නිවෙස් තුළ පිරිසිදුකරණයක් සවිකිරීමට හෝ අවම වශයෙන් බඳුන්ගත ශාකයක් හෝ තැබීමට සැලකිලිමත් විය යුතුය.

ගෝලීයව ගත් කල යහපත් සෞඛ්‍ය තත්ත්වයට එරෙහිව එල්ලවන ප්‍රධානම අවදානම ගෝලීය වායු දූෂණය බව ඔප්පුව තිබුණේ මීට සෑහෙන කලකට ඉහතදීය. ඒ හේතුවෙන් ඇතිවන බලපෑම හදවත් රෝග, ශ්වසන ආබාධ හා පෙනහළු පිළිකාවලටත් වඩා ඇදුම රෝගය කෙරෙහි බලපවත්වන බවට කෙරෙන මේ නවතම හෙළි කිරීම කිසිසේත් සුළුකොට තැකිය නො හැකිය. මින් හෙළිවූ පරිදි ඇදුම තත්ත්වය උත්තේජනය කිරිමට මුල් වූ ප්‍රධාන ම දූෂ්‍යකාරකය වූයේ වාහන හා බලාගාරවලින් විමෝචනය වන වායු හිරු එළිය සමඟ ප්‍රතික්‍රියාකොට හටගන්නා ‘ඕසෝන් ය‘. නමුත් ඇදුම රෝගයෙන් පෙළෙන ළමයින් සම්බන්ධයෙන් වායු දුෂණය බලපා තිබුණේ බලාපොරොත්තු වූවාට වඩා වෙනස් ආකාරයකට ය.

කොලොම්බියා විශ්වවිද්‍යාලය විසින් සිදු කළ අධ්‍යයනයකින් පෙනී ගිය පරිදි ඇදුම රෝගය එතරම් සුලබ නොවූ ප්‍ර දේශවල ජීවත්වූ ළමයින් වායු දූෂණය නිසා වැඩි වශයෙන් පීඩාවට පත්ව තිබිණි. එසේම ඇදුම රෝගය සුලබ ප්‍ර දේශවල ජීවත්වූ ළමයින් බහුතරයක්, තට්ටු නිවාසවල, ජනගහනය අධික පරිසරවල, එක් දෙමවුපියකු සමඟ පමණක් ජීවත්වූවන් බවත් මින් හෙළිවූ තවත් වැදගත් කරුණු කිහිපයකි. තවද එහි දී පෙනී ගිය තවත් වැදගත් කරුණක් වූයේ ඇදුම රෝගය සුලබ ප්‍ර දේශවල ජීවත්වූ ළමයින් හදිසි ප්‍රතිකාර ලැබිමේ සම්භාවිතාවත්, ව්‍යයාම නිසා හටගන්නා ඇදුම තත්ත්වයෙන් පිඩා විඳීමේ සම්භාවිතාවත් ඉහළ මට්ටමක තිබෙන බවයි. එසේම ඇදුම රෝගය සුලබ ප්‍රදේශවල වායුගෝලීය නයිට්‍රජන් ඩයොක්සයිඩ්, ක්ෂුද්‍ර අංශු හා අණුක කාබන් වැනි දුෂ්‍යකාරකයන්ගේ සාන්ද්‍රණය ද අධික වූ බව ද මේ අධ්‍යයනයේ දී තහවුරු විය. නිව්යෝක් නගරය ආශ්‍රිත ව වෙසෙන ඇදුම රෝගයට ප්‍රතිකාර ලබන වයස අවුරුදු 7ත්– 8ත් අතර ළමයින් එකසිය අනූදෙනකුගේ සහභාගීත්වයෙන් සිදු කළ මේ අධ්‍යයනයේ නියමුවරිය වූයේ ‘ස්ටෙෆ්නි ලොවින්ස්කි-දේසීර්ය‘. ඇය පවසන ආකාරයට සාපේක්ෂව දිළිඳු ප්‍රදේශවල ජීවත්වූ ළමයින්ගේ ඇදුම රෝගය උත්සන්න වී හදිසි ප්‍රතිකාර ලැබීමට වැඩිකොටම බලපා තිබුණේ පරිසර දූෂණය නොව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා මානසික ආතතිය වැනි හේතු ය.

නමුත් දරිද්‍රතාවෙන් එතරම් බලපෑමක් එල්ලව නොතිබූ පවුල්වල ළමයින් පරිසර දූෂණය නිසා උත්සන්න වූ ඇදුම තත්ත්වයන්ට ප්‍රතිකාර ලැබීම සුලබව සිදුව තිබිණි.



​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල