මදුනාගල ඉදි කළ ධර්ම බළකොටුව

views 2018-07-09 12:29:00 Sinhala_Article_New

වනයේ සතා සිවුපාවුන්ට, ගහකොළට නල වැලට සතුරු වී ගොදුරු සොයමින් ඉව අල්ලන දෙපා නිරි සතුන් විසින් මදු ගසා, ඒ මල පුඬු මතින් අවසන් ගමන් යන සතුන්ගේ කෙම්බිම ඝාතකාගාරයක් බවට පත් කරනු ලැබිණි. සහජීවනයෙන් විසූ ලෙන් කුටි තුළ මැසි බැඳිණි. ඒ මැසි මත මළ සිරුරු වියැළිණි. මස් වැද්දන් මේ විදියට මදු ඇටවූ ගල මදුනාගල විය.

ක්‍රි.පූර්ව යුගයේ සිට පැවතගෙන එන පින් බිමක් වන මෙතන පෙරදා පැවතියේ ඝාතකාගාරයක් නොව සුවය සැනසීම, සංහිඳියාවෙන් සිරි වන සෙනසුනකි. එසේ නම් මදු නාගල වූයේ මදු ඇටවූ දා සිට විය හැකි ය.

ඉන්ද්‍රිය සංවර ශීලයෙන් අග තැන්පත් චිත්ත ගුත්ත මහ රහතන් වහන්සේ වැඩ සිටි ස්ථානය සොයා 1945 වසරේ දී කරඹගල වන සෙනසුනට පැමිණි වසර 35 ක් පමණ වූ තරුණ යෝගාවචරයාණන් වහන්සේ නමක් මෙතනට වැඩියේ ය. හෝඩුවාව ලැබුණේ කිරි බණ්ඩා උපාසක මහතා ගෙනි.

එදා සිත් පිත් නැති ආයුධ සන්නද්ධ දඩයක්කාර හමුදාව හමුවට නිරායුධව පැමිණි මේ භික්ෂූන් වහන්සේ සතුව පැවැති ආයුධය වූයේ අභීත බව ය. මෛත්‍රිය, කරුණාවෙන් සපිරි හදවත රැගෙන පැමිණි උන් වහන්සේ නමින් වතුරුවිල ඥානානන්ද නම් විය. මේ යෝගාවචරයාණන් මදුනාගල හද්දා වනයට ඇතුළු වූයේ මහණ දම් පිරීමට සුදුසුම මාර්ගය සැකසී ඇත්තේ ඇතැම් විට අඩි පාරක්වත් නොපෙනෙන වන අරණ තුළ බව ඇදහූ නිසා ය.

ඉතිහාසය පිරික්සීමේදී පැහැදිලි වන්නේ අද වෙන්ව ඇති එහෙත් ආසන්නයේ පවතින මදුනාගල හා කරඹගල පූජනීය සෙනසුන් දෙකම එක්ව පැවතුණු බව ය.

එසේම අද මදුනාගල කොටසෙහි කටාරම් සහිත ලෙන් 26 ක් පමණ සොයාගෙන ඇතත් බොහෝ ලෙන් අභාවයට ගොස් ඇත්තේ ඒවායේ වැඩ වසන්නට භික්ෂූන් වහන්සේ නොමැති වීම නිසා ය.

මදුනාගල ඇති පුවරුවකට අනුව ක්‍රි.පූ. 2 වැනි සියවසෙහි වසර 44 ක් රෝහණ ජනපදයෙහි රාජ්‍ය කළ කාවන්තිස්ස මහ රජතුමා විසින් චිත්තගුත්ත මහ රහතන් වහන්සේ ඇතුළු වන වාසී මහා සංඝරත්නයට පූජා කළ විහාරාරාම ගල්ලෙන් පරිශ්‍රය මෙය බව කියැවෙයි. තවදුරටත් පැවසෙන්නේ ක්‍රි.ව. 3 වැනි සියවසෙහි වසර 27 ක් අනුරාධපුරයේ රාජ්‍ය කළ මහසෙන් රජතුමා ද වසර 28 ක් රාජ්‍ය කළ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා ද ගල්ලෙන් විහාර අංගෝපාංග සකසා සුසිල්වත් වනවාසී මහා සංඝරත්නයට පූජා කළ බව ය.

ඒ මදුනාගල පළමු පරිච්ඡේදයයි.

දෙවැනි පරිච්ඡේදය ඉතිහාසයට එක් වන්නේ ය. වතුරුවිල ශ්‍රී ඤාණානන්ද මාහිමිපාණන් වහන්සේ නිසා ය. ඒ 1946 වස‍ෙර් සිට ය.

මදුනාගල වන සෙනසුන පවතින්නේ අභයභූමියක් වශයෙන් රජය විසින් නම් කර ඇති වන ගහනය තුළ ය. මෙහි භූමි වපසරිය අක්කර 2700 කට සීමා වී ඇති බව අසන්නට ලැබිණි.

එදා නා හිමිපාණන් මෙතනට පැමිණෙන විට කටාරම් කොටන ලද ලෙන් සමූහයක් පැවතියේ පස් කඳින් වැස‍ී ගොසිනි. මේවා වාසයට සුදුසු ලෙස සැකසීම යෝධ කාර්යයක් විය. කෙසේ හෝ වසර කීපයක් තුළ මෙය පරිපූර්ණ ආරණ්‍ය සේනාසනයක් බවට පරිවර්තනය ව‍ූයේ ස්වාභාවික පරිසරය ව්‍යාකූල නොකරමින් ඊට අනුගතව වීම විශේෂයකි.

අද අප දකින්නේ එහි වර්ධනයේ තවත් දිගුවකි. හෙට මෙය තවත් වෙනස් විය හැක. කෙසේ හෝ ඓතිහාසික ස්ථානයක් සංවර්ධනය කිරීමේදී එහි පෞරාණික මූලික ලක්ෂණ එලෙසම පවත්වාගෙන යා යුතු බව හැ‍ෙඟයි.

සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හබරත්තවල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මදුනාගල අරණ්‍ය සේනාසනය වෙතට ළඟාවිය හැකි මං පෙත් කීපයකි. අම්බලන්තොට, රිදියගම, හබරත්තවල මඟ ඔස්සේ ද සූරියවැව මිරිජ්ජවිල මාර්ගය ඔස්සේ ද ඇඹිලිපිටිය පදනංගලින් විහිදෙන අඩි 100 මාර්ගයෙන් ද සෙනසුන වෙත ළං විය හැකි ය.

සෙනසුනට දානය සකස් කරන සහ වන්දනාකරුවන්ට නවාතැන් සපයන ශාලා සහිත භූමියේ සිට කි.මී. 1.7ක පමණ දුරක් ගන වනය මැදින් ගමන්කර සෙනසුන වෙතට පිවිසිය හැකි ය.

මෙම මාර්ගයේ විශාල බසයකට වුව ද ගමන් කළ හැකි වීම පහසුවකි. අපගේ පහසුව වර්ධනය වන තරමටම වනසතුන් ගේ පහසුව ද ක්‍රමයෙන් හීන වී යෑමට ඇති ඉඩ ප්‍රස්තාව ද වැඩි වෙයි.

වනය මිරිකී තල්ලු වී අද ඉතිරිව ඇත්තේ කුඩා වන රොදකි. සතුන්ට යන්තමින් ඉතිරිවී ඇති එළිමහන් සිරකඳවුරක් වන් මදුනාගල අභය භූමියේ වන සතුන්ගේ සිත් තුළට බය ඇති කිරීමට අභයභූමිය ඇතුළත මෙවන් දේ සිදුවීම සුදුසු නොවෙතැයි සිතේ.

ඒ දසුන් පෙළ පසු කරමින් යනවිට තවමත් රූස්ස ගහ කොළ උකටලීව - උපේක්ෂාවෙන් හිඳිමින් වනයක සිරිය විඳින්නට ආරාධනා කරනා සෙයකි. එතැන් සිට පාළුව ද, සැකය ද භීතිය ද සමඟ මම ඉදිරියට ඇදෙමි. ඇතැම් විහඟ ගී තනු සිත ආලෝලනය කරවන අතර අතරින් පතර ඈතින් ඇසෙනා ගුප්ත ස්වරයන් සියුම් සයිරන් හඬක් වැනිය. වනයේ දී ලබාදෙන මෙවැනි අනතුරු සංඥා හඟවන්නේ සීරුවෙන් - විමසිල්ලෙන් වනයේ දී ගමන් කළ යුතු බව ය. වනයේ අප‍ූර්වත්වයෙන් පිරි චමත්කාරය රැඳී ඇත්තේ එවන් සම්මිශ්‍රණයන් තුළ ය.

වනගහනය මැදින් අරණ්‍ය සේනාසනයට ආසන්නේ වම් පසට ඇති පෙත් ම‍ඟෙහි ගමන් කළ විට ඇතා ලෙන නම් ලෙන් සමුච්චය හමු වෙයි. එක පෙළකට වූ උස් වූ ද දික් වූ ද ගල් කුළු පාදමේ ලෙන් කුටි 07 ක් පමණ සෑදී තිබෙයි. මේවා වනවාසී භික්ෂූන් වෙනුවෙන් බිත්ති බැඳ සකසා තිබේ. පෙර රජ දවස මැටියෙන් බැඳී බිත්ති කොටස් අදත් එහිදී දැක ගැනීමට ලැබෙයි. සෙල් පියස මුඳුනේ බඹරුන් වද බැඳ තිබේ. ඇතැම් දිනක මුඳුන් තලයට පනින රිලවුන් ගේ දඟකාරකම් නිසා බඹරුන් ඇවිස්සී භික්ෂූන් වහන්සේලාට වූ අනතුරුදායක අත්දැකීමක් පිළිබඳ පුවතක් අසන්නට ලැබුණි. මෙතනදී මා සිත ව්‍යාකූල වේ. අප සිතන්නේ බඹරුන් ආක්‍රමණිකයන් කියාය. බඹරුන් සිතන්නේ අප ආක්‍රමණිකයන් කියා ය.

නැවතත් මඟට පිවිසී ගමන් කළ විට මදුනාගල වන සෙනසුනේ අබිමුවට පිවිසිය හැකි ය‍.

එතනින් නැ‍ඟෙන ශෛලතලාව තල කීපයක් මත සැකසී ඇත. ඒ ස්තරයන් මත වලාකුළු බැමි බැඳ තිබේ. එතැනට පිවිසෙන්නට සිමෙන්තියෙන් පඩි බැඳ ඇත. රාත්‍රියේ සිට අලුයම දක්වා ලන්තෑරුම් පත්තු කර නැ‍ඟෙන පඩි මත තබා තිබෙන්නේ වන අලින් එතැනින් ඇතුල්වීම වළකාලන උපා වශයෙනි. පියගැට පෙළ නැඟ දකුණු පස ඇති චූලනාග ලෙන සහ මහා නාග ලෙන වෙත පිවිසිය හැක. මහානාග ලෙන තුළ දාන ශාලාව සැකසී තිබේ. ඉදිරියේ ඇත්තේ අරණේ බුදු මැදුර ය. වම් පසින් ඇති සෙල් තලාව මත ධාතු මන්දිරය කොන්ක්‍රීට් කණු මතින් සිමෙන්තියෙන් ඉදිවෙමින් පවතී.

මා මෙහි පළමු වරට ආ ගමනේදී එතැන වූයේ නිරාවරිත ගල් තලාවකි‍. ඒ ගල්තලාවේ ස්වාභාවික පොකුණක් සෑදී තිබිණි. වනයේ දිය සිඳුණු විට එතැනට වන අලි එන බවත් ඉතා කලාතුරකින් කොටියා ද පැමිණෙන බවත් - එදා මට අසන්නට ලැබිණි. අදත් ඒ ශෛලමය දිය පොකුණු මදක් ආවරණය එලෙසම පවතී. හෙට දිනයේදී වන සතුන් එතැනට පැමිණේ දැයි සැකසහිතය. නමුත් එදා මෙතනට පැමිණි වනසතුන් හා ඤාණානන්ද මා හිමියන් අතර බැඳුණු රසවත් කථා රැසකි.

මෙම ගල්තලාවෙන් ඉදිරියට යනවිට ඤාණානන්ද හිමියන් සහ වගවලසුන් අතර සිදුවූ හිත් සසල කර වන, නමුත් සොඳුරු සිතුවම් මවන කතාවකට පසුබිම් කථනයක් සපයන ලෙනක් හමුවෙයි. එම ලෙන නම්කර ඇත්තේ පළමු ලෙන වශයෙනි. එය දිගු ය. පටන් ගැන්ම පුළුල් ය. අවසන් වන්නේ ඉතා සිහින් ව ය. හරියට එතන කැපුම් කට්ටක් වැනි කුඩා විවරයකි. පිහිටි පොළොවේ සිට එතනට උස අඩි 25 ක් පමණ විය. මාහිමියන් මෙතනට වැඩිය මුල් දවස්වල නිරාවරිත ගන වනන්තරයේ ආරක්ෂිත ස්ථානයක් නොවී ය. වන සතුන් ද අධික බැවින් රාත්‍රිය ද වඩාත් බියකරු විය. මා හිමියන් ඒ නිසා අලියකුටවත් හොඬ පොවන්නට නොහැකි - වනයේ භයානකම වලසාටවත් අත පොවන්නට නො හැකි මෙම අපහසු කැපුම් කට්ටය තුළ රාත්‍රිය ගෙවී ය. එතනට නැග ගත්තේ ඉනි මඟක මාර්ගයෙනි‍. දිනක් රාත්‍රියකදී ඇඟ කිලිපොළා යන හූ හඬක් ඇසී මාහිමියෝ සැණෙන් අවදි වූහ. කළුවර රාත්‍රියේදී වුව, මාහිමියන් යන්තමින් දුටුවේ වලසුන් කීප දෙනකු පහත් තලයේ සිට උඩට දෑස් යොමාගෙන කෙළ හලමින් සිටින බිය කරු දසුන ය. මා හිමියෝ මොහොතක් සසල වූ සිත නිසල කරගනිමින් මෙසේ පැවසූහ.

“මේ... ‍ඔය ශබ්ද අහන්න මා කැමැති නෑ. ඒ නිසා හිටියට කමක් නෑ කරුණා කරලා කෑ ගහන්න එපා.” එහෙම කියල ‘සබ්බ පාපස්ස අකරණං’ ගාථාව තුන් වරක් කියල ඉවර වුණා විතරයි. මහ හඬක් දුන්න. ඊළඟට විනාඩි 4 – 5 ක් ගියාම බොහෝම ඈතින් කෑගහන ශබ්දය ඇහුණා‍. ඊට පස්සේ කිසි දවසක වලසුන්ගේ කෑගසන ශබ්දයක් මදුනාගලින් ඇසුණේ නෑ.”

ඒ වාගේ ම මඟ ඇහිරූව මෙන් ම ඉදිරියට පැමිණි වන අලින්ට ආදරයෙන් අමතමින් කීකරු කර ගත් අවස්ථාවන් බොහොමයක් අසන්නට ලැබිණි. මේ සියලු සිදුවීම් වලින් හැ‍ඟෙන්නේ සෙනේවන්ත පියතුමකුගේ ආදරණීය විදානයන් ය. එදා ඒ සතුන් කීකරු වූයේ පඬු පැහැ චීවරයටම නොව ආත්මය පුරාම කා වැදී තිබූ උන්වහන්සේගේ සිල් ගුණයට ය. මෙත් කරුණා ඉතිරුණු හදවතේ බලයට ය. එය පිවිතුරු බුදු දහම අනුව පැවතුණු උතුම් භික්ෂුවක‍ෙග් සත්‍ය ක්‍රියාවක අසීමිත බලයකි.

ඒ වාගේ ම මා හිමියන් ගල් තලාවේ සිට බණ කියන විට ඉතා සමීපයට වී බණ අසන හාවකු පිළිබඳ කතා පුවත ද පුදුම එළවන සුලු ය. එය සිහි ගන්වන මාහිමියන්ගේ පිළිරුවක් සහ හාවා හිටි තැන ලකුණු කළ කවයක් ද අදත් සෙනසුන තුළ දැක ගැනීමට ලැ‍ෙබ්.

වලසුන්ගේ සිද්ධිය ස්මරණය කිරීමට කැපුම් කට්ටය තුළ මා හිමියන්ගේ පිළිරුවක් ද පහත් මාලයේ සිට ඉහළ බලා සිටිනා වලසුන්ගේ රූප පෙළක් ද අඹා තිබේ. අද ඒ කැපුම් කට්ටය තිබෙන තැන බැමි බැඳ වැලි මළුවක්. සදා ඇති නිසා භූමියේ සිට උස පිළිබඳ හැඟීම ඇති කර ගැනීම අපහසු ය.

මදුනාගල උස්ම කඳු මුඳුනෙහි බුදු මැඳුරක් ද ඒ මත කුඩා චෛත්‍යයක් ද ඉදිකර තිබේ. මෙය සෙනසුනෙහි හිස මත පැලඳූ මිනි ඔටුන්නක් සේ මදුනාගල වන සෙනසුනෙහි අගය පොහොසත් කරන ගෞරවනීය සිහිවටනයකි. මේ සියල්ල දැක පැහැ ද එනවිට තවත් පුවරුවක ඇති සටහනක් දිස්වේ. එයින් කියැවෙන්නේ පිරිහී‍ගෙන එන භික්ෂු ප්‍රතිපත්ති සුරකිනු පිණිස වන සෙනසුන් රැසක් පිහිටුවූ ශ්‍යාමෝපාලී වනවාස නිකායේ ප්‍රථම වනවාස මහා නායක වතුරුවිල ශ්‍රී ඤාණානන්ද මා හිමි පාණන් වහන්සේ ‍636කට වැඩි වනවාසී සිසු පිරිසක් පැවිදි කළ බව ය. ඒ වාගේ ම වනවාසී භික්ෂු කථිකාවත බිහි කළ ශාසන බළකොටුවක් වන මේ පුණ්‍ය භූමිය රැක ගැනීම ඔබ සතු යුතුකම බව ය.

පස් කම් සැප මැද තැනෙනා බළකොටු ඉදි නොවන තාක් කල් මෙවන් ධර්ම බළකොටු ආරක්ෂා වනු ඇත. සැදැහැති බොදු ජන පැතුමද මතුවටත් ආරක්ෂා වේවා යන්නය.


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල