කිඹු­ලන්ට ආහාර ලබාදී ආශී­ර්වාද ලබා ගත හැකි මන්ගො­පීර් දේව­ස්ථා­නය

views 2018-05-21 10:14:00 Sinhala_Article_New

කුසගින්නේ සිටින කිඹුලකුගේ කට අසලට කුඩා දරුවකු අල්ලාගෙන සිටීම එතරම් හොඳ දෙයක් ලෙසින් සලකන්නට බෑ. නමුත් දකුණු පාකිස්තානයේ වෙසෙන ‘ශීඩ්‘ නම් කුඩා ජන කොට්ඨාසයක් විශ්වාස කරන්නේ එසේ කිරීමෙන් ඔවුනට ආශිර්වාදය ලැබෙනවා කියායි.

අලියකුගේ බඩ යටින් කුඩා දරුවකු රැගෙන යාම වැනි ක්‍රියා ආශීර්වාදය ලබා ගැනීම සඳහා අපේ රටේත් සිදු කරන නිසා මෙය සමහරුන්ට නම් එතරම් අරුමයක් නොවන්නටත් ඉඩ තිබෙනවා. සෑම වසරකම ශීඩ් ජනයා විසින් මෙම කිඹුල් වන්දනාව සිදු කරනවා.

මෙහිදී ඔවුන් විශාල කිඹුලන් අසලටම ගොස් ඔවුනට ආහාර ලබා දෙන්නේ කිසිදු බියක් හා සැකයකින් තොරවයි. මන්ගොපීර් දේවස්ථානයේ තිබෙන පොකුණෙහි සිටිනා කිඹුලන් ශුද්ධවූ කිඹුලන් බව ශීඩ් ජනයා විශ්වාස කරනවා.

කරච්චි හි උතුරු දෙසට වන්නට තිබෙන පෞරාණික ප්‍රදේශයක් වන ‘Manghopir’ හි තිබෙනා මෙම දේවස්ථානයත් ඉතාමත් පැරැණි ස්ථානයක්. ඉරාකයට මොන්ගෝලියානුවන්ගෙන් 13 වැනි සියවසෙහි එල්ල වූ ආක්‍රමණයක් අතරතුර ඉරාකයේ සිට පලා ආ මන්ගො නම් පුද්ගලයකු විසින් මෙම ප්‍රදේශයේ පදිංචි වී භාවනානුයෝගීව ජීවත් වී තිබෙනවා.

ඔහු මියගිය පසු අවට ජනයා එම ස්ථානයේ කුඩා දේවස්ථානයක් මන්ගො නමින් ඉදිකර තිබෙන අතර ඔහු විසින් කිඹුලන් වෙත ඔහුගේ ආහාර ලබා දී තිබෙන නිසා එම ජනයා මන්ගො මියගිය පසුවත් කිඹුලන් වෙත ආහාර ලබාදී තිබෙනවා. ශීඩ් ජනයා විසින් මන්ගො ශුද්ධවන්තයකු සේ සලකන අතර මෙම කිඹුලන් මන්ගො විසින් ප්‍රාතිහාර්යක් ලෙස කිඹුලන් බවට පත් කරන ලද උකුණන් බව ඔවුන් විශ්වාස කරනවා.

ශීඩ් ජනයා යනු අරාබි වෙළඳුන් හා පෘතුගීසින් විසින් අප්‍රිකාවේ සිට එවකට ඉන්දියාව වෙත රැගෙන ආ වහල් ජනතාවයි. ක්‍රමයෙන් කුඩා වී යන මෙම ජන කොට්ඨාසයත් මුස්ලිම්වරුන් ලෙසින් සැලකෙනවා. දෙවියන්ගේ ආශිර්වාදය කිඹුලන් හරහා ඔවුනට ලැබෙන බව විශ්වාස කරන මොවුන් දින හතරක් පුරාවට එළු මස් හා රස කැවිලි කිඹුලන් වෙත ලබා දෙනවා.

අන්තවාදී මුස්ලිම්වරුන්ගේ ප්‍රහාර නිසා වසර කිහිපයක් මෙම උත්සව සිදු කිරීමට මොවුනට නොහැකි වී තිබුණත් මෙම වසරේදී මෙම උත්සවය මාර්තු මාසයේදී පවත්වනු ලැබුවා.

මෙම ස්ථානයේ පර්යේෂණ හි නිරත වූ විද්‍යාඥයන් ක්‍රි.පූ. 3300-1200 තරම් ඉතා ඉපැරැණි කිඹුල් අස්ථි කැබැලි සොයාගෙන තිබෙන්නේ මෙම කිඹුලන් ශීඩ් ජනයා විශ්වාස කරනවාට වඩා බොහෝ පැරැණි ඉතිහාසයකට උරුමකම් කියන බව පසක් කරමිනි.

මෙම ලෝකඩ යුගයට අයත් අස්ථි සමඟම තඹ වලින් නිමවූ කිඹුල් පිළිමද සොයාගෙන තිබෙන්නේ බොහෝ අනාදිමත් කාලයක පටන් මෙම ප්‍රදේශයේ කිඹුල් වන්දනාව සිදුවූ බවට සාක්ෂි සපයමිනි.

ගංවතුරක් නිසා මෙම ස්ථානයට මෙලෙසින් කිඹුලන් පැමිණෙන්නට ඇතැයි ඔවුන් වැඩි දුරටත් විශ්වාස කරන අතර වර්තමානයේ සිටින කිඹුලන් එම පළමු පරම්පරාවටම අයත් බව ඔවුන් පවසනවා. ජනතාව කොතරම් මෙම කිඹුලන් වෙත ළං වූවත් අද වනතුරු කිසිම කිඹුල් ප්‍රහාරයක් මෙම ස්ථානයෙන් වාර්තා නොවීමද පුදුමයට කරුණක්.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල