සරුංගල් සමඟ පාවෙන තරුණ ජීවිත
සරුංගල් උඩ ගියත් මුදල් වෙන අතකට

views 2018-02-17 10:17:00 Sinhala_Article_New

කල්පිටිය මුහුදු තීරය උදෑසන දහවලට මෙන්ම රාත්‍රියටද බොහෝ සෙයින් නිහඬය. මේ දැඩි නිහඬතාව රාත්‍රිය ගෙවෙද්දී අමුතු පාළුවකින් වෙළී යන්නේ මහා මූසල බවක්ද රජයමිනි. සුළඟේ ඝෝෂාව හැරෙන්නට කල්පිටි මුහුදු තීරයේ මෙන්ම කල්පිටි අහස් තීරයේද විටෙක රජයනුයේ මහා පාළුවකි. ගොම්මන් අඳුරේ මුහුදු ගිය ධීවරයින් පසුදා උදෑසන ආලෝකය වැටෙද්දී යළිත් වෙරළ තීරය කරා ළඟා වෙන්නේ ගතේ සිතේ වූ මහා වෙහෙස නිවා ගන්නටය. කල්පිටි වෙරළ තීරය කවදත් සුන්දරය. වට පිටාවේ වූ මේ නිහැඬියාව , එහි වූ සුන්දරත්වය වඩාත් තීව්‍ර කරයි. කල්පිටියට හමන්නේ මද සුළඟක් නොවූවද එය ගතට මෙන්ම සිතටද වෙහෙස ගෙන දෙන්නක් නොවේ. කල්පිටියට හමන්නාවූ ඒ සුළඟ පරද්දන්නට රට වටේ පිහිටි කිසිම වෙරළ තීරයකට හැකියාවක් නොවන්නේ ඒ සුළඟින් රටේ ආදායමට මහත් වූ පිටුබලයක්ද ගෙන දෙමිනි.

කල්පිටිය සුන්දර සංචාරක කලාපයකි. මෙහි පැමිණෙන සංචාරකයෝ කල්පිටි වෙරළ තීරයට හමන්නාවූ සුළඟට බොහෝ සෙයින් ප්‍රිය කරති. ඔවුන් එලෙස කල්පිටි වෙරළ තීරයට පෙම් බඳින්නේ අන් කිසිවක් නිසා නොව කල්පිටි පුරවරයට පමණක් ආගන්තුක වූ කයිට්ස් සර්ෆින් සමඟ මුහුදු රළ හා පොර බදන්නටය. මනරම් සුන්දර වෙරළ තීරයක් වන කල්පිටි මුහුදු තීරයට ඉහළින් වලාකුළු සිප ගන්නට මෙන් සරුංගල් උඩු ගුවනේ ලෙළ දෙන්නේ දේදුනු වර්ණයෙන් අහස් කුස හැඩ කරමිනි. එසේ නමුදු ඉරට්ටක් දෙකක් අපූරුවට අමුණමින් එහි දිගු වලිගයක් එල්ලා හුළඟේ පාවි යන අයුරින් බොක්ක ගැසූ අපිට ආවේණික සරුංගල් නම් ඒ අතර නොවේ. ඒ සියලු සරුංගල් අපට තරමක් ආගන්තුකය. උඩු ගුවනේ පාවෙන්නට පමණක් නොව උඩු ගුවනේ පාවෙමින් මුහුදු රළ සමඟ පොර බදන්නට ජීවිතයක් මුහුදු තීරයේ ඇවිද්දවන්නට මේ කයිට්ස් හෙවත් ආගන්තුක සරුංගල් විශේෂයට හැකිය.

එක යායට දිවෙන කල්පිටි පාලවිය සංචාරක හෝටල් මාවත් දිගේ අප ඇවිද ගියේ අප රටට ආවේණික සරුංගලයෙන් මතුවූ මේ අපූරු විනෝදාංශය ගැන යමක් සොයන්නටය. විදේශිකයන් මහත් රුචියක් දක්වන මේ කයිට්ස් සර්ෆින් කල්පිටි මුහුදු තීරයේ සෑම තැනකම දැකිය නොහැකිය. මුහුදු තීරයේ වූ කලපු ආශ්‍රිත වඩා නොගැඹුරු බිම් තීරුවල නොනවත්වාම හමන මුහුදු රළ සමඟ ආරක්ෂාකාරීව තරග කරන්නට හැකි ස්ථාන කිහිපයක පමණක් මේ ක්‍රීඩාව දැකිය හැකි වන්නේ ය. ඒ අතරින් කල්පිටි වෙරළ තීරයේ වු කන්දකුලිය හා කප්පල්ලඩි ප්‍රදේශයේ මුහුදු තීරය කයිට්ස් සර්ෆින් සඳහා ප්‍රසිද්ධය.

කල්පිටි හෝටල් මාවත් ඔස්සේ ඉදිරියට යන අපට ටිකෙන් ටික දිස්වෙන්නට වූයේ අහස් කුස සිසාරා පැතිරුණු මේ වර්ණවත් සරුංගල් ය. මේ අපූරු සරුංගල් විශේෂය වඩාත් ප්‍රචලිත ව ඇත්තේ යුරෝපා, ජර්මන්, ප්‍රංශ යනාදී රටවලින් පැමිණි විදේශිකයන්ටය. එහෙත් ඔවුනට සේවය සලසන්නට අපේම පිරිසක් සැදී පැහැදි සිටිති. කයිට්ස් සර්ෆින් ක්‍රීඩාව සඳහාම ශ්‍රි ලංකාවට පැමිණෙන විදේශිකයින්ගේ දවසෙන් වැඩි කාලයක් ගත වන්නේ මේ කප්පල්ලඩි මුහුදු තීරයේ ය. කයිට්ස් සර්ෆින් ක්‍රීඩාවේ යෙදීමට ස්ත්‍රී පුරුෂ භේදයක් නැත්තේය. කාටත් එකසේ විනෝද විය හැකි මේ කයිට්ස් සර්ෆින් ක්‍රීඩාව වඩාත් ආරක්ෂිතව හා විධිමත්ව කරන්නට ඒ වෙනුවෙන් සෑදී පැහැදී සේවය දෙන්නට සිටින අපේ ඇත්තන් බොහෝ ය.

“අද කල්පිටිය විදේශිකයින් අතර වඩාත් ප්‍රසිද්ධ කයිට්ස් සර්ෆින් ක්‍රීඩාව නිසායි. කල්පිටිය මුහුදු තීරයට හමන සුළඟ රටේ වෙන කිසිම මුහුදු තීරයක හමන්නේ නැහැ. කයිට්ස් සර්ෆිනවලට හොඳම වකවානු දෙකක් තියෙනවා. එයින් එකක් තමයි මැයි සිට ඔක්තෝබර් අග දක්වා වසන්ත කාලය. අනික් කාලය තමයි දෙසැම්බර් අග සිට මාර්තු මුල දක්වා කාලය. මේ කාලවල කයිට්ස් හොඳට උඩ යන්න තරම් හුළඟක් හමනවා. කල්පිටියේ මුහුදු හුළං වැඩි නිසා ගොඩාක් සංචාරකයින් කල්පිටි එනවා මේ ක්‍රිඩාව කරන්න. කයිට්ස් සර්ෆින්වලට ලංකාවේ ප්‍රසිද්ධ කල්පිටිය විතරයි. නමුත් සමහර කාල වලට මන්නාරමේත් මේ ක්‍රීඩාව කරනවා.

කයිට්ස් සර්ෆින් කියන්නේ ඔලිම්පික් තරගාවලිවල පවා යොදා ගැනෙන්නක්. නමුත් අපේ රටේ අය අතර තාමත් මේ ක්‍රීඩාව ව්‍යාප්තව නැහැ. ඒකට හේතුවක් තමයි මේ උපකරණවල ඇති අධික මිල. මේ ක්‍රීඩාව සඳහා මිල අධික උපකරණ කිහිපයක් අවශ්‍යයයි. මේ සරුංගලේ විදේශ රටවල නිපදවුවත් හොඳම වර්ගය නිපදවන්නේ අපේ රටේ කටුනායක ප්‍රදේශයේ. ඒ කොහොම වෙතත් මේ එක් උපකරණ කට්ටලයක් රුපියල් ලක්ෂ 3ක් 4 ක් පමණ වෙනවා. ඒ වගේම පුහුණු නුපුහුණු අයට දවසේ කුලියට මේවා ලබා ගන්න පුළුවන්. ආරම්භයේදි නුපුහුණු කෙනෙකුට පැයකට රුපියල් 9000 ත් පමණ වියදම් වෙනවා මේ සරුංගලයක් පදින්න. එහෙම සරුංගලයක් ගත් අයෙකුට මුදල් තියෙනවා නම් මුළු දවසට පැද පැද ඉන්න පුළුවන්.

මේවට එන විදේශිකයින්ට ඇති වෙන්න මුදල් තියෙනවා. ඒ අය මේ ක්‍රීඩාව කරන්න එන්නේ ඇබ්බැහි වීමක් විදියට. ඒත් මේ හැම දේම අවදානම්. මොකද මේ සරුංගල් පැදිය යුත්තේ මුහුදු ජලයේ. ඒ නිසා අපි නිතරම ඒ අයගේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි. හදිසි අනතුරක් වුවහොත් ඔවුන් බේරා ගැනීමට මොටාර් බෝට්ටු පවා සූදානම් කරමිනුයි අපි මේ කටයුතු කරන්නේ.... “ යනුවෙන් මේ ක්‍රීඩාව ගැන අප හා තොරතුරු පැවැසූයේ කප්පල්ලඩි වෙරළ තීරයේ මේ සඳහා සේවය සපයන සෆ්රීස් ය.

කල්පිටි මුහුදු තීරයේ හෝටල් අතරින් ඇවිද යද්දී මේ ක්‍රීඩාව සඳහා සේවා සපයන ස්ථාන බොහෝ ලෙස දැකිය හැක්කේය. වෙරළ තීරයේ තැනින් තැන පොල් අතු පිදුරුවලින් අලංකාර වූ කුඩා අවන්හල් මේ සේවා සපයන්නන් සඳහා ඉදිවී ඇත්තේය. ඒ සෑම එකකම හිමිකරුවෝ මෙන්ම පුහුණුකරුවන්ට සේවා සපයන්ද වෙති. විදේශිකයන් සමඟ එකතු වී ඔවුන්ට සරුංගල් අහසේ පා කර යැවීමට උදවු දෙන්නෝද ඔවුන් අතර වෙති. තවත් තැනක විදේශිකයින් ඉහිලූ සරුංගල් ගොඩට ගෙන ඒමට උදවු කරන්නෝද වෙති. තවත් තැනක විදේශිකයින්ට ආහාර පානාදියෙන් අත් උදවු දෙන්නෝ වෙති. මේ සියල්ල කෙරෙන්නේ මුදලටය. ඒ එසේ මෙසේ මුදලකට නොවූවද මේ සියල්ලේ ම ආදායම් ගලා යන්නේ ගමේ ඇත්තන්ට නොවේ. කයිට්ස් සර්ෆින් හිමිකරුවන් අතටය. ඒ හිමිකරුවන් අතමිට ඇත්තන් වන අතර හෝටල් හිමියෝද වෙති. කල්පිටි ගැමියන්ට මෙය අපූරු සන්දර්ශනයක් වුවත් එයින් ඔවුන්ගේ අතමිට සරුවන්නේ නැත.

අවසානයේ ඔවුන්ට ඉතිරිව ඇත්තේ මේ හේතුවෙන් පාසල් ගමන අතරමඟ නැවතුණු දරු පිරිසක් පමණි. මේ පළාතේ බොහොමයක් දරුවන් මේ අපූරු සුරංගනා ක්‍රීඩාවට ඇලුම් කරන්නට වන්නේ විදේශිකයන් සමඟ සමීපව ගනුදෙනු කළ හැකි නිසාය. ඔවුන් පාසල් නොගොස් විදේශිකයින්ට සරුංගල් ඔසවන්නට ගොස් අවසානයේ නතර වන්නේ බීච් බෝයි කෙනෙකු හෝ අත් උදව්කරුවකු වශයෙනි.

රුවන් අපට මුණ ගැසුණේ කල්පිටිය වෙරළේදීය. තවමත් වයස අවුරුදු 16 නොඉක්මවූ ඔහු මේ වනවිට කයිට්ස් සර්ෆින් සේවය ජයටම කරන්නෙකි.

“මම ඉගෙන ගත්තේ සිංහල පාසලේ. පාසල් යන දවස්වල පාසල් ඇරී හෝ නැතිනම් පාසල් වෙලාවේ හෝ අපි එනවා මේවා බලන්න. දැක්කහම ආස හිතුණා. පස්සේ මෙවා අයිති හෝටල් මැනේජර් කෙනෙකුට කතා කළා. දැන් මාසයකට රුපියල් 20,000 ක් විතර ගන්නවා. මං වගේ ගොඩාක් අය මෙතැන ඉන්නවා. මම උදේම හෝටලයට ගිහින් සරුංගල් ටික වාහනයට දාලා මෙතැනට ගෙනත් මේවා සරසනවා. ලස්සනට සැරසුවහම තමයි සුද්දෝ සුද්දියෝ ගොඩාක් එන්නේ. සරුංගලයට හුළං ගහන්න වගේ ම මේ අයට කෑම බීම සප්ලයි කරන්නත් උදවු කරනවා. මම ඉගෙන ගන්න ආස නැහැ. මේ රැකියාවෙන් ගොඩාක් ආදායමක් ලැබෙන්නේ හෝටල් අයිති අයට. ගමේ අයට එහෙමට ආදායමක් නැහැ. මේ නිසා මුලින්ම මේ පළාතේ අය මේකට විරුද්ධ වුණා. නමුත් දැන් ඒ අයගේ ප්‍රශ්නයක් නැහැ. සමහර අය මේ කූඩාරම් ඉදිකරගන්න ඉඩදීලා ආදායමක් ගන්නවා. ඒත් තවමත් ගමේ අය මේ සංචාරකයින්ට අවශ්‍ය දේ ගන්න මේ හරියේ රෙස්ටුරන්ට් එකක්වත් හදන්න දෙන්නේ නැහැ. මේ නිසා මේ අයට අවශ්‍ය කෑම බීම සියල්ල අපි ගේන්නේ හෝටලයෙන්“ රුවන් පැවසීය.

රුවන් මෙන්ම මේ ප්‍රදේශයේ සම වයසේ බොහෝ දරුවන්ගේ අනාගතය තීන්දු වී ඇත්තේ අපට ආගන්තුක මේ ක්‍රීඩාව හරහාය. සරුංගල්වලට ළමා හදවත් සංවේදීවන්නා සේම පැරෂුට්වන් මේ ක්‍රීඩාවද අපට ආගන්තුක වුවත් විනෝදයක් ගෙන දෙන්නේය. අපේ දරුවන්ටද මේවා පදින්නට හැකි වුවත් ඒ සඳහා වැයවන මිල අධිකය. ඒ හේතුවෙන් ඔවුන්ට සිදුවී ඇත්තේ සරුංගල් දෙස බලමින් හූල්ලමින් මේවා පදිමින් විනෝදවන පිටරට ඇත්තන්ගේ අඩුපාඩු සපුරාලන්නටය.

“මේ රස්සාව අපිට පාඩු නැහැ. විදේශිකයින් නැති වෙලාවට අපිත් මේවා අරගෙන පදින්න පුරුදු වෙනවා. එහෙම පුරුදු වුණු අපි දැන් මේවායේ පුහුණුකරුවන් ලෙසත් කටයුතු කරනවා. මේක හොඳ ආදායම් මාර්ගයක්. ගමේ මාළු රස්සාව කළ අයත් අද මේ රස්සාවට එකතු වෙලා ආදායමක් ගන්නවා. සමහර සීසන්වල සංචාරකයින් වැහි වැහැලා. ඉල්ලුමට සරිලන පරිදි අපට දෙන්නත් බැරිව යනවා. කල්පිටිය කියන්නේ මේ ක්‍රීඩාවෙන්ම රටට හොඳ ආදායමක් ගන්න පුළුවන් පළාතක්. මේ නිසා අපි මේ කල්පිටි වෙරළ තීරයම ආරක්ෂා කළ යුතුයි. නොනවතින තද සුළං නැතුව මේ ක්‍රීඩාව කරන්න අමාරුයි.

ඒත් කල්පිටියේ ඉදිකර ඇති ටර්බයින් වැනි කෘත්‍රිම හුළං පෙති නිසා ඉදිරියේදි මේ සුළං නැතිවී යන්නත් පුළුවන්. විදේශිකන්ට කල්පිටි ඇවිත් කරන්න වෙන දෙයක් නැහැ. ඒ නිසා මේ ක්‍රීඩාව අපි රැකගත යුතුයි. කයිට්ස් සර්ෆින් වලින් පසුව මේ විදේශිකයින්ට සවස් කාලයේ දේශීය සංගීතයෙන් විනෝදය ලබා දෙනවා. ඒ වගේම අන්තර්ජාලය හරහා අපි මේ සඳහා විවිධ පැකේජ හඳුන්වා දී ඔවුන් මෙහි අද්දවා ගන්නට කටයුතු කරනවා....“ කයිට්ස් සර්ෆින් ව්‍යාපාරයක් ලෙස කරන දිනේෂ් පැවසීය.

කල්පිටි මුහුදු සීමාවේ අහස වර්ණවත් කරමින් දවස පුරා අහසේ කරක් ගැසූ සරුංගල් ඉර බැස යද්දී වෙරළට ගොඩ බාන්නේ පසුදා උදෑසන නැවතත් ඉහළට එසවීමේ අරමුණෙනි. ක්‍රීඩාවට හිතැති අයට කයිට්ස් සර්ෆින් එපා වන්නේ නැත. එය අමුතුම ආකාරයේ විනෝදයෙන් පිරි ක්‍රීඩාවකි. එහෙත් මේ සියලු දෙයෙහිම හොඳ හා නරක ඇත්තේය. වැඩිහිටියන් හරි හම්බ කර ගනිමින් රටට ආදායමක් ගෙනාවද මේ හරහා අපේ ගමේ දරුවන්ට අනාගතයක් උරුම වන්නේ නැත. ළමා දිවියේ සුරංගනා ලෝකයට එකතුවූ මෙවැනි දෑවලින් දරුවන්ගේ අනිවාර්ය අධ්‍යාපන අයිතීන් උල්ලංඝණය නොවිය යුත්තේය. දරුවන්ගේ ලෝකය සරුංගලයක් මෙන් නිදහසේ පාවී යන්නට ඉඩ දිය යුතු වුවද ඒ ජීවිත මහා මේඝයකට හසුව පාවී විනාශව යෑමට නම් ඉඩ නොදිය යුත්තේය.




​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල