සොබා දහම සිර කළේ මිනිසා ද?

views 2018-02-07 11:01:00 Sinhala_Article_New

පරිසරය නිදහස් වන්නේ කෙසේද යනු සැබැවින්ම නූතනයේ විද්‍යාත්මකව සිතිය යුතු කරුණක් බවට පත්ව තිබේ. එය අතීතයේ මිනිසුන්ගේ ජානගත වූ සංකල්පයක් ලෙස පැවතියද අද අප පරිසරයෙන් වෙන් වූ සත්ත්ව කොටසක් ලෙස ඒ දෙස අමුතුවෙන් බලන තත්ත්වයට පත් වී තිබෙන බැවිනි. සැබැවින්ම පරිසරය නිදහස් වන්නේ හෝ නිදහස් කළ හැක්කේ කෙසේදැයි අප මහවැලි හා පරිසර අමාත්‍යාංශයේත්, ජාතික විද්‍යා පදනමේත්, විද්‍යා හා තාක්ෂණ කොමිසමේත්, තිරසර සංවර්ධනය පිළිබඳ විද්වත් කමිටුවේත් අධ්‍යක්ෂධුර දරන මහාචාර්ය ඩබ්ලිව් එල් සුමතිපාල මහතාගෙන් විමසුවෙමු.

“අපි දන්නවා පරිසරය හැදෙන්නේ අපි සියල්ලන්ගේ එකතුවෙන් කියලා. පරිසරය තමන්ගේ කොටසක් සහ තමන් පරිසරයේ කොටසක් ලෙස සිතන්න අවශ්‍ය බව පාරිසරික විද්වතුන්, දාර්ශනිකයන් පවසා තිබෙනවා. අපි දකිනවා සතා සීපාවා, ගහකොළ වනාන්තර කිසි කරදරයකින් තොරව සහජීවනයෙන් ජීවත් වන ආකාරය. ආහාර සඳහා සතුන් දඩයම් කර ගැනීම වැනි ඉතාම ස්වාභාවික සිදුවීම් හැර කිසිදු ප්‍රශ්නයක් සතුන් සහ ගහ කොළ අතර නෑ. පරිසර දූෂණය අවමයි. නිදහසට බාධා නෑ.

ඒත් මිනිසා කියන සත්ත්ව සාධකය මේ අතරට ආ විට ඔහු බොහෝ සෙයින් උත්සාහ කරන්නේ පරිසරය වෙනස් කරන්නයි. කෘත්‍රිමව තැනු පරිසර පද්ධති තනන්නේ මිනිසුන්. පරිසරය දූෂණය වන්නේ මේ ආකාරයෙන් වෙනස්කම්වලට භාජනය කරන්න උත්සාහ දරන විටයි. ඒ කියන්නේ මිනිස් සාධකය නැත්නම් පරිසරය නිදහස්.

වායු දූෂණය කරන්නේ සතා සීපාවා හෝ ගහ කොළ නොවේ මිනිසායි. පස දූෂණය කරන්නේ මිනිසායි. ජල දූෂණය කරන්නේත් මිනිසාමයි. මිනිසාගේ බලපෑම හැරුණු කොට වෙන කිසිම සත්ත්ව කොට්ඨාසයකින් මේ වැනි දූෂණයකට පරිසරය ලක් වන්නේ නෑ. ඒ සඳහා හේතු වන්නේ මිනිසාගේ උගත්කමයි. විද්‍යාවෙන් දියුණු වන මිනිසා නව නිපැයුම් සොයා ගන්නවා. කර්මාන්ත ශාලා හදනවා. යන්ත්‍රෝපකරණ නිපදවනවා. තමන්ගේ සුඛ විහරණය සඳහා විවිධ පහසුකම් තනා ගන්න පරිසරයෙන් සම්පත් උකහා ගන්නවා. එයින් කරන අලුත් නිෂ්පාදන නිසා අතුරු ඵල විදිහට මෙන්ම අවශේෂ හැටියට සොබා දහමට ආපසු දෙන්නේ කෘත්‍රිම දේවල්.

කෘෂිකර්මය වැනි විෂයයක් ගත්තත් මේ වන විට අපි වල් නාශක, කෘමි නාශක වැනි දේ පසට ජලයට වගේම අපේ ආහාරයට එකතු කරනවා. එයින් අප නිර්මාණය කර ගන්නේ වෙනස්ම පරිසර තත්ත්වයක්. මෙසේ සෑම ක්ෂේත්‍රයක් සමඟම සිතා බලන විට අපි කාලයත් සමඟ ගෙන බැලුවොත් පරිසරයේ නිදහස ගැන නොහිතා මිනිසා ගොස් ඇති දුර වැඩියි.

එහි ප්‍රතිඵලය තමයි හරිත සංකල්පයට මිනිසාට සංවේදී වීමට සිදුව තිබීම. විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහනයක් පදින්න, සූර්ය ශක්තියෙන්, සුළං බලයෙන්, මුහුදු රළෙන් පුනර්ජනනීය බලශක්ති නිපදවා ගන්න හැකියාවක් ඇති බව සිතන්න මිනිසුන් පෙළඹෙන්නේ පරිසරය පෙරළා මිනිසාගේ නිදහසට බාධා කරන බව දැනෙන්න ගත්තාට පසුවයි. ඒ නිසා දැන් ආපසු මිනිසා සිතනවා වහලට සූර්ය පැනලයක් යොදා විදුලි බුබුලු දල්වන අතර එයින්ම වාහනයේ බැටරිය ආරෝපනය කරගෙන යන්න පුරුදු විය යුතුයි කියා. ඒ සිතිවිල්ලත් පරිසරයට යළි ළං වන්නට මිනිසාට අත්වැලක් වෙනවා.

අතීතයේ මිනිසුන් දියුණු වුණේ පරිසරයට අවම බලපෑමක් ඇති වන පරිදියි. ඒත් කාර්මීකරණය සමඟ අපට වැරදුණු බව ලෝකයම දැන් පිළිගෙන තිබෙනවා. ඒ අවබෝධයත් ලොකු දෙයක්. එතැනට එද්දී මිනිසා දියුණුව නිසා ලෙඩ වෙලා, දේශ ගුණික- කාලගුණික විපර්යාසයන්ට ගොදුරු වෙලා බොහෝ දුක් විඳලා අවසන්. අපේ රටම ගෙන බැලුවොත් කොටසක නියඟය පවතිද්දී තවත් කොටසක ජල ගැලීම්. කොටසක වකුගඩු රෝග. මේ සියල්ල වෙන සතුන් හෝ ගහකොළ හෝ අපට ඇති කළ ප්‍රශ්න නොවේ. ඒ සතා සීපාවා සහ ගහකොළවලටත් ප්‍රශ්න ඇති කළේ අපිමයි.

අපේ ආර්ත්මාර්ථකාමී සිතිවිලි, අසීමිත ආශාවන්, තරගකාරී හැසිරීම් ඇති කරන තණ්හාව, ඇලීම, මමත්වය අඩු කරගන්නවා නම් තරමක් දුරට හෝ මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් වේවි. එහෙත් නූතනයේ ජනමාධ්‍ය ඔස්සේ පවා සිදු කරන්නේ මිනිසුන්ගේ ආශාවන් තවතවත් කුළුගැන්වීමයි. ඒ සියල්ල වෙනස් වුණොත් අපට පාරිසරික වශයෙන් ධනාත්මක පැත්තට ගමන් කිරීමට හැකි වේවි යැයි සිතනවා. ඒ වෙනස සිදු කළ හැක්කේ සංකීර්ණත්වයේ සිට සරල ජීවන රටාවකට ගමන් කිරීමට සමස්ත මානව සංහතියම අරමුණු කළොත් පමණයි.



​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල